රන්වල සිදුවීම මේ වන විට ආණ්ඩුවේ සුජාතභාවය ප්‍රශ්ණ කරනා ප්‍රධාන සාධකයක් බවට පත් වෙමින් තිබේ. මෙය මෙතරම් දුරකට වර්ධනය වෙන තුරු නිහඬව සිටීම ගැන ආණ්ඩුව වගකිව යුතුය.
මෙහි ඇති තවත් විසුළුකාර පාර්ශවයක්ද තීබේ. ඒ රන්වල දඬුකඳේ ගසන්නට සැරසෙන දේශපාලන කූඩැල්ලන් ය. ජනතා අප්‍රසාදයේ දෙහි ඉස්මෙන් කුල්ල කුජීත වී සිටි ඔවුන්ට දැන් රන්වල වතුර හේතුවෙන් මයික් ටයිසන්ලා වීමට ඉඩ ලැබී තිබේ. එහෙයින් එවන් පරිසරයකට මග පෑදීම ගැනද ආණ්ඩුව තමන් කෙරේ විශ්වාසය තැබූ ජනතාවට පිළිතුරු සැපයිය යුතුය. එසේම මේ දේශපාලන කූඩැල්ලන්ටද උත්තර දිය යුතුය.
උගතුන්ගෙන් පිරි පාර්ලිමේන්තුවක් යන සටන් පාඨය ගෙන ආවේ ජාජබයම ය. එහිදී ආචාර්ය මහාචාර්ය පදවි පූජා වට්ටි සේ පෙන්නුවෝද ඔවුන්මය. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමට අධ්‍යාපන සහතික යනු එක් සාධකයක් පමණක් බවත් අපට අවශ්‍ය වෘත්තීය දේශපාලකයන් බවත් මහාචාර්ය දායකත්වයන් ගැන ගැන ජී එල් වැනි චරිත සපයන උදාහරණ ඇති බවත් ලියූවද ඒ එවන් අදහස් පිළිගත් කාලයක් නොවී. දැන් වතුර නහයටද උඩින් ය.
මේ ආණ්ඩුව පත්වූ විගස ජත්‍යන්තරයේ පැතිර ගිය මතයක් වූවේ ලංකාවේ වමේ රජයක් පත්වූ බවයි. ධනවාදී කඳවුර මේ මතය උස්සා ගත්තේ බිල්ලකු මැවීමේ අරමුණින් වුවද ලොව බොහෝ රටවල් ලංකාව දෙස ප්‍රසාදයෙන් බලන්නට පටන් ගත්තෝය. ඒ නව ආණ්ඩුව තැබූ අවංකභාවයේ මුද්‍රාව නිසාවෙනි. රන්වල මඩ තැවරුනේ ඒ මුද්‍රාවටය. ජාත්‍යන්තරයේ ඇති පිළිගැනීම මේ වැනි කරුණු වලින් අහෝසි කරගතයුතු නැත.
නව ආණ්ඩුවට පලමු මොහොතේ පටන් ප්‍රතිවිරුද්ධ කඳවුරුවලින් ප්‍රහාර එල්ල වන බව අපි දැන සිටියෙමු. උන් බලා සිටියේම ආණ්ඩුවේ වැඩපිලිවෙලෙහි ඇතිවෙන අඩුවක් අල්ලාගෙන ප්‍රහාරය ආරම්භ කරන්නටය. ඔවුන් හාල් සහ පොල් වලුවල එල්ලුනේ එහෙයිනි. එහෙත් ආණ්ඩුව ඉතාම අමනෝඥ ලෙස මේ පාරාජිකාවූ දේශාපාලුවන්ට ඩෑෂ් පහරකට බෝලය උස්සා දුන්නේ මෙතෙක් තමන් පවත්වාගෙන ආ අවංකභාවයේ මුද්‍රාවටද කෙලවමිනි. දීර්ඝ කාලයක් දේශපාලකයන්ගේ අපහරණයට ලක්වූ මිනිසුන් හාල් පොල් මිල දරා ගනු ඇතිවුවද, අවසානයේ තමන් ඉහළින්ම පත්කරගත් ආණ්ඩුවක නියෝජිතයන් වංචාකරුවන් වීම ඉවසනු නැත්තේමය.
මේ රන්වල සිදුවීම යනු ආණ්ඩුවේ යහපැවැත්ම අපේක්ෂා කරන්නවුන් ගේ පවා පිලිකුලට හේතුවන්නකි. එවන් තත්වයක් වටහා නොගැනීම සම්බන්ධයෙන් සමස්ත ආණ්ඩුවම වගකිව යුතුය.
මේ සිදුවීම ගැන කතා බහකදී විදෙස්ගත මගේ මිතුරෙකු දුන් උදාහරණයක් මෙහි සටහන් කල යුතුය. ඒ ඔස්ට්‍රේලියානු විනිසුරෙකු සම්බන්ධයෙනි. ඔහු රටේ සම්මානනීය පුරවැසියෙකු ලෙස ඇගයුමට පාත්‍ර වූවෙකි.
එහෙත් මේ විනිසුරු අවස්ථා කිහිපයකම අධිවේගී ධාවනය සම්බන්ධයෙන් කොටුවෙයි. ඒ සාම විටම ඔහු රිය පැදවූවේ වෙනතයෙකුබව කියා ඔහු වෙත දඩය විතැන් කර ගැලවෙයි. ඊට හේතුව සී සී ටී වී දර්ශනවල දිස්වන්නේ රථය පමණක් හෙයිනි. එක් අවස්ථාවක ඔහු කොටුවෙයි. ඒ ඔහු රියදුරු ලෙස ඉදිරිපත් කරනා කාන්තාව ඒ වනවිට විදෙස් රටකට සංක්‍රමණය වී එහිදීම මියගොස් ඇති බව හෙලිවීමෙනි. මගේ මිතුරා කියූ ආකාරයට සාමාන්‍ය පුරවැසියෙකු හටනම් මෙවන් අවස්ථාවක දඩයක් නියම කර හමාරවෙයි. එහෙත් මෙහිදී විනිසුරු මේ වරදකාරී විනිසුරුට සිර දඬුවම් නියම කරයි. ඒ මෙසේ කියමිනි. You are a pillar of this society.
මේ මිත්‍රයා තවත් අත්දැකීමක් මට කීවේය. ඒ තම මිතුරකු දෙමවුපියන් හට වීසා ගන්නට ගිය විටක වූ දෙයකි. අදාල පුද්ගලයා ඉදිරිපත් කල ලේඛන අතර එකක් අඩුය. නිලධාරියා ඔහුට වහාගොස් එය ගෙනත් දෙන්නේ නම් වීසා ගත හැකි බව කියයි. එහෙත් ඔහු තම සේවා මුරයට යාමට ඇති හෙයින් එය අපහසු බව කියයි. ඔහුගේ රැකියාව කුමක්දැයි විමසනු ලදුව වෛද්‍ය වරයෙකු බව කී අවස්ථාවේ ඔහුට තමන් පසුව ලේඛනය ගෙනත් දෙන බවට ප්‍රකාශයක් කර වීසා ගත හැකි බව දැනුම් දෙනු ලබයි. අර පුද්ගලයා එවිට අසන්නේ වෛද්‍ය වෘත්තිය ගැන කියූ පමණින් එසේ සැලකුම් ලැබෙන්නේ ඇයි කියාය. එවිට නිලධාරියා ඔහුට විස්තර කරන්නේ එම වෘත්තියේ යෙදෙන්නෙකුට ඇති පිළිගැනීම සහ වරප්‍රසාදයන් ගැනය. මගේ මිතුරා කී ආකාරයට එවන් වෘත්තිකයෙකුගේ ප්‍රකාශයක් දෙවෙනි වන්නේ රැජිණගේ ප්‍රකාශයට පමණි.
මෙහි ඇති වැදගත්ම දෙය වනුයේ පිළිගැනීම මෙන්ම ඊට නොගැලපෙන ලෙස කටයුතු කල විට ලැබෙන දඬුවමද එලෙසම වන ලෙසට ප්‍රතිපාදන ඇත්තේය යන්නයි.
රන්වල සිදුවීම දෙස අප බැලිය යුත්තේ ඒ කෝණයෙනි. මිරිස් කුඩුවලින් නාවන ලද අසුනක්, වසර ගණනාවක් නුසුදුස්සන්ගේ අපහරණයට ලක්වූ තනතුරක් යලි ගෞරවණීය තත්වයට ගෙන ඒමේ වගකීම භාර දුන් පුද්ගලයා එහි පහරන්නේ නම් වහා ඒ ගැන පියවර ගත යුතුය.
රන්වල ජවිපේ වෙනුවෙන් කල කැපවීම්හී ගෞරවය ඔහුට දෙන්න. එලෙසම ඔහු සමස්ත ජන මතයටම කල නිගාවට එලෙසම ඔහුට එරෙහිව පියවර ගන්න. පමාවීම පසුතැවිල්ලට හේතුවන්නේ වුවද පමාවී හෝ මේ වලෙන් ගොඩ ආ හැක්කේ එලෙසින්ම පමණි.
දැන් තමන් විසින්ම ස්ථාපිත කර ඇති නිර්ණායක මත පිහිටා ආණ්ඩුව තවත් පියවරක් ගත යුතුය. ඒ තමන්ගේ මහජන නියෝජිතයන් ප්‍රකාශකර ඇති, මැතිවරණයේදී සුදුසුකම් ලෙස භාවිතා කර ඇති සුදුසුකම් යලි පරීක්ෂා කර පිරිපහදු කරගනිමිනි. අප තවත් දෙයක් වටහාගත යුතුය, යම් පුද්ගලයෙකුට පක්ෂයේ පූර්ණකාලීන දේශපාලනය හේතුවෙන් උපාධිය අහිමිවී නම් අප එවැන්නෙකුට ඉහළම ගෞරවය දිය යුතු බවයි. ඒ දේශපාලනයේදී කල හැකි ජීවිත පර්ත්‍යාගයෙන් මෙපිට ඇති ඉහළම කැපවීම එය හෙයිනි. ඒ දේශපාලනයේ අබිනික්මනයි. එහෙත් එහිදී ඔහු හෝ ඇය බොරු උපාධි ඇඟවුම් වලින් තොරව එය පිළිගන්නේ නම් පමණි. සිය ජීවිතයම දේශපාලනයට පූර්ණකාලීනව කැප කරන්නෙකු හට ගරහන්නට අප කෙසේවත් ඉඩ දියයුතු නැත.
ආණ්ඩුවේ බහුතරයක් පාර්ලිමේන්තුවට ආධුනික වීමෙහි ප්‍රශ්නයක් නැත. එහෙත් ඔවුන් වහා එහි පරිණත බව අත්කරගත යුතුය. එසේම අප එහිදී ඔවුනට අවශ්‍ය සහය මෙන්ම ආරක්ෂාවද දියයුතුය. මේ ආණ්ඩුව වට්ටන්නට මෙතෙක් රට විනාශය කරා ගෙන ගිය කිසිවකුට හෝ ඉඩ නොදිය යුතුය.
සහය එක කොන්දේසියකට යටත්වය. ඒ තමන් විසින් ප්‍රකාශ කල, ජනතාව අනුමත කල ප්‍රතිපත්ති දිවිහිමියෙන් රැකිය යුතුය යන්නයි. ආණ්ඩුව එලෙස කටයුතු කරන්නේ නම් සහ ජනතාවට රටෙහි සැබෑ තත්වය හෙලිකරමින්, අපට යාමට ඇති මගෙහි අසීරුතා මෙන්ම එහිදී ආණ්ඩුවේ සහ ජනතාවගේ කාර්යභාරය නිසිලෙස ජනතාවට ඒත්තුගන්වන්නේ නම් පරාජිත සහ දූෂිත දේශපාලකයන්ගේ සිත් තුල ඇති දෙවන ගෝල්ෆේස් අරගල ස්වප්නය ඉක්මනින්ම ස්වප්න මෝචනයක හිරියෙන් නිමා කල හැකිවනු ඇත.
~ චූලානන්ද සමරනායක
RN
