සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW): ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය 2024 වසරේ පැවත්වෙන ආසියානු කුසලානය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නෙට්බෝල් පුහුණුකාරීත්වය පී.ඩී.එන්.ප්‍රසාදිටම පැවරීමට තීරණය කර තිබෙනවා.හිටපු පුහුණුකාරිය ඉවත් කර ප්‍රසාදි,සිංගප්පූරුවේ පැවත්වෙන සය සාමාජික තරගාවලයේ පුහුණුකරු ධූරයට කැඳවූ අතර එය ඒ මොහොතේ නොකළ යුතුව තිබුණු දෙයක් බව අපේ අදහස වුණා.නමුත් නෙට්බෝල් සංගමයේ ඇතැම් විධායක සභා සාමාජිකාවන් නෙට්බෝල් නිලධාරි ගන්නා තීරණ මාධ්‍යය විසින් පෙන්වා දෙන කරුණු අනුව වෙනස් නොකළ යුතු බව පවසමින් එම තීරණයේම රැදී සිටිය යුතු බවට කළ බලපෑම මත පුහුණුකාරිය හැටියට ප්‍රසාදිවම එම තරගාවලියට යොදා ගනු ලැබුවා.එහි ප්‍රතිපලය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරු ඒ කණ්ඩායමෙන් ද පරාජය ලබමින් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙමින් තරගාවලිය පරාජිතව අවසන් කළා.
දැන් නැවතත් ප්‍රසාදිව රැඟෙන ඇවිත් තිබෙන්නේ ඇයගේ පුහුණුකාරීත්වය තුළ සිඳු වූ අඩු පාඩු සැළකිල්ලට ගෙන ඒවා පියවා ගැනීමට අවශ්‍යය සෛද්ධාන්තික සහ ප්‍රායෝගික දැණුම ඇයට ලබා දීමෙන අනතුරුවද යන්න සැක සහිතයි.මෙවැනි ක්‍රිඩාවන් ඉතා අපහසුවෙන් නිලධාරියෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ උනන්දුව මත අපහසුවෙන් අනුග්‍රහයන් සොයා ගනිමින් සහ අමාත්‍යංශයට අත පාමින් නඩත්තු වන ක්‍රිඩා නිසා ඒ තුළ සිඳුවන කිසිඳු දෙයක් සඳහා රටේ පාර්ලිමේන්තුව වැනි ආයතන එක්වන්නේ නැහැ.ඒ සම්බන්ධයෙන් කිරි උනන මාතෘ ප්‍රේමි හිතවතුන් ද අඩු වන්නේ මෙවැනි සංගම්වලින් කිරි සේ මුදල් ඉපැයීමක් සිඳු නොවන ලෙසයි.
එහෙත් මෙහි ව්‍යහුය මූල්‍යමය තත්ත්වය ඉහළ දැමිය හැකි මට්ටමට උපයා ගැනීම් සහිත වටපිටාවක් සකසා ගැනීම අපහසු නැහැ.පසුගිය ආසන්න කාලයේ සය සාමාජික තරගාවලියේදී අත් කර ගත් දැවන්ත සහ නොසිතූ විරූ පරාජයන් සමඟ යම් දියවීමක් සිඳු වුව ද,ශ්‍රී ලංකා නෙට්බෝල් යනු ආසියාවේ ප්‍රබලතම නෙට්බෝල් සංඛේතය යි.ඒ නිසා අනුග්‍රාහකයන් හරහා ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියකට යාමට හැකිනම් ඊට අවශ්‍යය මුදල් උපයනවා මෙන්ම එයින් නෙට්බෝල් අරමුදල ශක්තිමත් කිරීමක් ද කළ හැකි වෙනවා.එහෙත් ඉපැයීම වෙනුවට ලංකාවේ බොහෝ ක්‍රිඩා සංගම් මෙන්ම ශ්‍රී ලංකා නෙට්බෝල් ද කැටයේ තැට අමාත්‍යංශයට පැත්තට හරවා හොලවමින් සිටිනු විනා අලුත් සංස්කෘතියක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවක් පෙනෙන්නේ නැහැ.
ආසියානු සභාපතිණිය ද වන ශ්‍රී ලංකා නෙට්බෝල් සභාපතිණියට ආසියානු නෙට්බෝල් මෙන්ම විශේෂයෙන් සිංගප්පූරු සහ මැලේසියා නෙට්බෝල් ජාත්‍යන්තර වශයෙන් වානිජමය ඉලක්ක කරා සමීප වන ආකාරයද අවධානයට ගැනීමට හැකියාව තිබෙනවා.නමුත් ආසියානු නෙට්බෝල් කවුනිසිලය සහ ඒ රටවල නියෝජිතයන් නෙට්බෝල් සම්බන්ධයෙන් දරණ ආකල්ප අනුව බලය කේන්ද්‍රවන නෙට්බෝලය වෙනුවට ශ්‍රී ලංකාවේදී බලය ආරක්ෂා වන්නේ පුද්ගල අවශ්‍යයතාවයන් මත නිසා සමහර විට සභාපතිණියට ආසියාව සමඟ වැඩ කිරීමේදී බලපාන චින්තනය ශ්‍රී ලංකාව සමඟ වැඩ කිරීමේදී සුරක්ෂිත කර ගැනීම අපහසු වන්නට ද හැකියි.
ක්‍රිකට් හැරුණු විට ජාත්‍යන්තර වශයෙන් ඉහළම තැනක පවතින නෙට්බෝල් ක්‍රිඩාව එම ශක්‍යතාවය වානිජමය වශයෙන් පොහොසත් කර ගැනීමේ ඉලක්ක කරා යොමු වීම 2024 ආසියානු නෙට්බෝල් කිරිටම රැක ගැනීමේ මුල් පියවර හැටියට දෙසැම්බර් 21 වන දා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ කාර්යයයේ සිට ආරම්භ කළ හැකිනම් වැදගත් වෙනවා.අඩි 5.8 ක් සහිත ක්‍රීඩිකාවන් කෙරෙහි වැඩි අවධානයක් සහිතව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවත්වෙන මෙම තේරීමේ සිට ප්‍රසාදිගේ ප්‍රසාදය ආරක්ෂා කිරීමට සහ ඉහළ නැංවීමට ඇය අතින් තරගයේ රිද්මයානුකූල වෙනස් වීම්වලට සාපේක්ෂව කණ්ඩායමේ රිද්මය රැක ගැනීමේ අපොහොසත්කම ආදී කරුණු අවධාරණය කර ශ්‍රී ලංකාවේ සිටින විශේෂඥ පුහුණුකාරියන්ගෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් කැපී පෙණෙන පුහුණු සැළසුම් ප්‍රවීනයන්ගෙන් මුල් මාස කිහිපය තුළ ඇයව පෝෂණය කිරීමද වැදගත් වෙනවා.
එසේ නොවුණහොත් ප්‍රසාදිට ප්‍රසාදය පළ කිරීමේ හේතුවක් හැටියට ශ්‍රී ලංකා නෙට්බෝල් පරිපාලන බලයට ලැබෙන හයිය රැකෙනු ඇති නමුත් ආසියාවේ ශ්‍රී ලංකාව පැළද ඇති නෙට්බෝල් රැජිණගේ කිරීටය සසල විය හැකියි.එසේම ක්‍රීඩා අමාත්‍යංශය ද එහි අමාත්‍යවරයාගේ සිට සියලු ඉහළ නිලධාරීන්ද නෙට්බෝල් සම්බන්ධයෙන් සම්බන්ධ වීමේදී පුද්ගල චරිත ආකර්ශණය වැනි පෞද්ගලික කාරණා පසෙකට දමා කටයුතු කිරීම වැදගත්.එසේම තව දුරටත් ලෝකයේ නෙට්බෝල් සමඟ සමපාත වෙමින් අනවශ්‍ය ලෙස ක්‍රීඩක හැසිරීම් සම්බන්ධයෙන් දරදඬුවීම ගැන ද කල්පනාවට ගත යුතු වෙනවා.වැදගත් අවසාන ප්‍රතිපලයේ දී ජයග්‍රහණය වන අතර ඒ සඳහා කණ්ඩායම සමඟියෙන් සහ ශක්තියෙන් එකට බඳවා තබා ගනිමින් දක්ෂතා වැඩි දියුණු කිරීම කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම වටිනවා.
ක්‍රිඩා අමාත්‍යංශය ද ලංකාවේ ක්‍රකිට් හැරුණු විට රටට කීර්තිය ගෙනවිත් ඇති ප්‍රධානම කණ්ඩායම් ක්‍රීඩාව වන නෙට්බෝල් සම්බන්ධයෙන් කළ යුතු මැදිහත්වීම් අතර ඔවුන්ටම කියා ක්‍රිඩා බිමක් ලබා දීමත් අතිශයින් වැදගත් වෙනවා.ක්‍රීඩාවක් හැටියට තනිව අනන්‍යතාවයක් සහිතව සිය තරග සැළසුම් අවශ්‍යය මොහොතකදී ක්‍රියාත්මක කිරීමට හැකි අවස්ථාව මෙන්ම භූමිය අලෙවි කර යම් උපයා ගැනීමකට ද ඉඩ ඒ අනුව ශ්‍රී ලංකා නෙට්බෝල් වෙත ලැබෙනවා.හැමදාම මාළු සැපයීමට වඩා බිලී පිත්තක් ලබා දෙමින් මාළු අල්ලාගෙන කෑමට අවස්ථාව නෙට්බෝල් වෙක පවරා ඔවුන්ගේ ස්වාධීනත්වය අගය කරමින් ක්‍රීඩා අමාත්‍යංශයට කටයුතු කළ හැකි පදනමක් ඇති කරන්නේ කෙසේද යන්න හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා හරහා හෝ සාකච්ඡාවට ගන්නේනම් 2024 ආසියානු කුසලානය ඉක්මවූ ජයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නෙට්බෝලයට ශක්තිමක් පදනමක් වැටෙනු ඇති බව අපේ විශ්වාසය වෙනවා.
අවසාන වශයෙන් ද ප්‍රසාදිට පළ කළ ප්‍රසාදය ආසියාවේ අප්‍රසාදයෙන් මෙපිට රඳවා ගැනීමට අවශ්‍යය මූලික සැළසුම් සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් ප්‍රසාදිට මෙන්ම ශ්‍රී ලංකා නෙට්බෝල්වලට ඉහළ ප්‍රසාදයක් අත් කර දිය හැකි බව අප විශ්වාස කරනවා.
