ඕවින්දි විෂ්මිකා
දෙසැම්බර් 22, කොළඹ (LNW): හොංකොං හී වයස අවුරුදු 19 වයස් කාණ්ඩයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රාහුල් ශර්මා ළමා පිළිකා පර්යේෂණ සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් දින හතක් ඇතුළත ශ්‍රී ලංකාව පුරා දිව යාමේ අභියෝගයක් භාර ගැනීමට සූදානම් වෙමින් සිටියි.
වයස අවුරුදු 24ක් වන ශර්මා මේ වනවිට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ කායික ව්‍යායාම විද්‍යාඥයෙකු ලෙස සේවය කරයි. දෙසැම්බර් 24 වැනිදා ඔහු සිය ධාවන පථය ශ්‍රී ලංකාවේ උතුරු අග්‍ර නගරයක් වන පේදුරු තුඩුවෙන් (Point Pedro)ආරම්භ කරන අතර දෙසැම්බර් 30 වැනිදා දකුණු අග්‍රයේ දෙවුන්දර තුඩුව(Dondra Head) වෙත ළඟා වීමට නියමිතය. මෙම ගමන් මාර්ගය කිලෝමීටර් 574ක් පමණ දිගු වන අතර දිනකට කිලෝමීටර් 100කට ආසන්න දුරක් දිව යාමට ඔහුට සිදු වේ.
ඉන්දියාවේ ඉපදී හොංකොං හි හැදී වැඩුණු ශර්මා කුඩා වියේ සිටම ක්‍රීඩාවට දැඩි ආසාවක් දැක්වුවේය. වයස අවුරුදු 10 දී හොංකොං ක්‍රිකට් සමාජය සමඟ එක් වූ ඔහු 2018 සිට 2019 දක්වා කාලය තුළ හොංකොං හී 19 වයස් කාණ්ඩය නියෝජනය කළේය.ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව ඔහු දිවීම සහ රග්බි ක්‍රීඩාවටද කැමැත්තක් දැක්වූ අතර ඔහුගේ ක්‍රීඩා ජීවිතය හැඩගැස්වීමට උපකාරී වූයේද ඒවායෙහි අත්දැකීම් විය.
නිරන්තර ඇති වූ ආබාධයන් හේතුවෙන් ඔහුගේ ක්‍රිකට් වෘත්තියට නොයෙකුත් බාධා ඇතිවූ අතර පසුව 2023 වසරේදී ශර්මා ක්‍රීඩා හා ව්‍යායාම විද්‍යාව පිළිබඳ උපාධියක් සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් ඇත. එහිදීද මුහුණ දීමට සිදුවූ ආබාධයන්ගෙන් පසු ඔහු සම්පූර්ණයෙන්ම දිවීම කෙරෙහි තම අවධානය යොමු කළ අතර ඔහු සැමවිටම පැවසුවේ හොංකොං හි හැදී වැඩුණු ඔහුට ධාවනය යනු ඔහුගේ ජීවිතයේ වැදගත් කොටසක් බවයි.
“මේ වසරේ මැරතන් තරග තුනකට සහභාගි වූ මට වෙනස් දෙයක් කිරීමට අවශ්‍ය වූ අතර මට අවශ්‍ය වූයේ රාමුවෙන් ටිකක් ඔබ්බට ගොස් කිසියම් දෙයක් කිරීමටයි.” ශර්මා පැවසීය. මේ ආකාරයේ ශ්‍රී ලංකාවේ දිගු දුර දිවීමක් මීට පෙර උත්සාහ කර නොමැති බවත් අභියෝගයේ අවිනිශ්චිතතාවය ඔහුව වඩාත් උද්දීපනය කළ බවත් ඔහු තවදුරටත් පැවසීය.
එහි අරමුණ වන්නේ ළමා පිළිකා සුව කිරීම සහ ප්‍රතිකාර ක්‍රම සොයා ගැනීමට කටයුතු කරන ප්‍රමුඛ පර්යේෂණ සංවිධානයක් වන සිඩ්නි නගරයේ පිහිටි Children’s Cancer Institute සඳහා අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 20,000ක් රැස් කිරීමයි. මෙම උත්සාහයට සහයෝගය දක්වමින් හොංකොං හි Erase Poverty නැමැති පුණ්‍යායතනයක් විසින් ශර්මා අභියෝගය සාර්ථකව අවසන් කළහොත් හොංකොං ඩොලර් 10,000ක් පරිත්‍යාග කිරීමට පොරොන්දු වී ඇත.
දෙසැම්බර් 18 වැනිදා මුම්බායි හරහා ශ්‍රී ලංකාවට පැමිණි ශර්මා මෙම ධාවනය සඳහා පුද්ගලයින් හතර දෙනෙකුට අඩු නොවන සහාය කණ්ඩායමක් සමඟ ගමන් කරයි. එම කණ්ඩායමට මාර්ගෝපදේශකයෙකු, ආරක්ෂක නිලධාරියෙකු,සහාය වාහනයේ රියදුරෙකු සහ වීඩියෝ ශිල්පියෙකු ඇතුළත් වේ. ඔහු විසින් සම-ආරම්භ කළ ධාවන සමාජයක සාමාජිකයින්ද සමහර දිනවල ඔහු සමඟ මෙයට එක් වීමට නියමිතය.
මෙම මාර්ගයේ ඇති එක් සුවිශේෂී අභියෝගයක් වන්නේ ගමන් මාර්ගයේ කොටස් කිහිපයක් වනජීවී අඩවි හරහා වැටි තිබීමයි.ඒ හේතුවෙන් වල් අලින්ට මුහුණ දීමේ අවදානමක්ද පවතින බව ඔහුගේ කණ්ඩායම සඳහන් කරයි. එවැනි අවස්ථාවලදී ආරක්ෂාව තහවුරු කරමින් දිවීම තාවකාලිකව නවතා අලි ඉවත් වන තුරු රැඳී සිටීමට සැලසුම් කර ඇත.
කෙතරම් දැඩි ශාරීරික හා මානසික අභියෝගයන් තිබුණද ශර්මා සිය සාර්ථකත්වය පිළිබඳ විශ්වාසයෙන් පසුවෙයි. ඔහුට මෙම අභියෝගය තම ක්‍රීඩා පසුබිම සහ මානව ක්‍රියාකාරීත්වය පිළිබඳ වෘත්තීය දැනුම තම හදවතට සමීප කාරණාවක් සමඟ ඒකාබද්ධ කිරීමට ලැබෙන අර්ථවත් අවස්ථාවක් ලෙස ඔහු පවසයි.
ඉදිරියට හොංකොං වෙත ආපසු ගොස් Standard Chartered Marathon සහ Grand Sam වැනි අල්ට්‍රා ධාවන අභියෝගවලට සහභාගී වීමටත් අද ඔහු සිටින තැනට තම ජීවිතය හැඩගැස්වීම සම්බන්ධයෙන් ඔහුට ගෞරවයක් ඇති එම නගරයේ අරමුදල් රැස් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමටත් බලාපොරොත්තු වන බව ඔහු තවදුරටත් පැවසුවේය.
“මාව අද මෙතැනට ගෙනා නගරය හොංකොං වේ.ඒ නිසා ඒ නගරයට නැවත මම යම් දෙයක් ලබා දීම කළ යුත්තක් වේ.”ශර්මා පැවසුවේ එසේය.



