ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයට පත්ව අදට (දෙසැම්බර් 23) මාස තුනක් සපිරේ.
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවති අතර ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රාහකයා වශයෙන් ප්‍රකාශයට පත්කෙරුණේ සැප්තැම්බර් 22 වනදා රාත්‍රියේ ය. සැප්තැම්බර් 23 වනදා පෙරවරුවේ ඒ මහතා මෙරට නවවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.
ඉතාම සරල චාම් උත්සවයක් පවත්වමින් ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක මහතා ඒ මොහොතේ පටන්ම රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට කටයුතු කළේය. ගිනිඅවි රැගත් ආරක්ෂකයින් පිරිවරා වාහන පෙරහැරවල් වලින් දේශපාලන ප්‍රබලයින් ගමන් බිමන් ගිය යුගය දැන් අවසන් කර තිබේ. ජනාධිපතිවරයා පවා නිල බලයෙන්ම තමන්ට හිමි වරප්‍රසාද රැසක් භාවිතා කරන්නේ නැත. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයද ඒ ආදර්ශය අනුවම කටයුතු කරති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ද කප්පාදු කිරීමට කටයුතු කෙරෙමින් ඇත. මහජන මුදල් අවභාවිතා කරමින් දේශපාලනඥයින් සුඛ විහරණයේ යෙදුණ සංස්කෘතියට තිත තබා ඇත.
එසේම රාජ්‍ය අංශයේ නාස්තිය, දූෂණය සහ වංචාව සහමුලින්ම පිටුදැකීමට ද කටයුතු කර තිබේ. නව රජය බලයට පැමිණීමෙන් අනතුරුව මේ දක්වාම කිසිදු බරපතළ වංචා, දූෂණ, අක්‍රමිකතා සිද්ධියක් වාර්තා වී නැත. ඒ අනුව රටේ ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා මහජන මුදල් ඉතිරි කෙරෙන මාර්ගයක් සහතික කර තිබේ.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පසුගිය ආණ්ඩුව ආරම්භ කළ වැඩසටහන අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ද ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනගිය අතර මේ වනවිට ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක ලෙස අවසානයක් කරා පැමිණෙමින් ඇත. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය යටතේ බැඳුම්කර හුවමාරුවක් ද පසුගිය සතියේ සිදු කෙරුණු අතර ෆිච් රේටිංස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමමින් නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මිදීම සනිටුහන් කර තිබේ.
මේ සියල්ල අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව රටට ලැබුණු ජයග්රහණයන් ය.
අනෙක් අතට අලුත් ආණ්ඩුව බලයට පැමිණ ගත වූ මාස තුනක කාලය තුළ රටේ ආර්ථිකය සීඝ්‍ර සංවර්ධනයකට යොමු කෙරෙන කිසිදු ව්‍යාපෘතියක් හෝ වැඩපිළිවෙලක් ආරම්භ කර නැත. නාස්තිය දූෂණය වංචාව පිටුදකින බව පෙනෙන මුත් අලුතින් කිසිදු වැඩක් ආරම්භ කෙරෙන ආකාරයක් නම් නොපෙනන බව කණගාටුවෙන් වුවත් කිවයුතුව ඇත. සාමාන්‍යයෙන් අලුත් ආණ්ඩුවක් බලයට පැමිණි විට ජනතාවට අලුත් බලාපොරොත්තුවක් ඇතිවන ආකාරයෙන් යම් පරිවර්තනීය වෙනසකට මුල් අවස්ථාවේදී පියවර තබනු දක්නට ලැබේ. ඒවා කොහු කොහු වෙන්නේ පහු පහු වෙන විටය. මේ ආණ්ඩුව ගතවූ මාස තුන තුළ මහමැතිවරණයක් පවත්වා තමන්ගේ බලය දැවැන්ත ලෙස වැඩිකරගැනීම හැර ආර්ථික සංවර්ධනය පැත්තෙන් කිසිදු පරිවර්තනීය වෙනසකට යොමු වීමට වැඩපිළිවෙලක් හෝ තවමත් ඉදිරිපත් කර නැත.
එසේම එදිනෙදා ජනතාව මුහුණ දෙන ගැටලුවලට පිළිතුරු දීමේදී පවා අලුත් ආණ්ඩුව මෙතෙක් විශේෂ සාර්ථකත්වයක් පෙන්වා නොමැති බවත් කියන්නට සිදුව තිබේ. සහල් ප්‍රශ්නයට විසඳුම් සෙවීමේදී ආණ්ඩුව සිය ආධුනික ස්වරූපය මනාව පෙන්නුම් කළ අතර ගැටලුව තවදුරටත් පවතින්නේ ආණ්ඩුව එය අනාගන්නා ආකාරයක් දිස්වෙන පරිද්දෙනි. ඇමතිවරුන් සහ ඇතැම් මන්ත්‍රීවරුන් ද ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්වීම වෙනුවෙන් විවිධ ප්‍රකාශ සිදුකරනවා විනා ඇතැම් ගැටලු බැරෑරුම් ලෙස පිළිගන්නා බවක්වත් පෙන්වන්නේ නැත.
මීට පෙර සිටි ප්‍රභූ පාලකයින් වෙනුවට නිර්ප්‍රභූ ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ සතුට හැර නිර්ප්‍රභූ පාලකයින් විසින් සාමාන්‍ය ජනතාවට ඇඟට දැනෙන මට්ටමේ සහනයක් ලබාදීමට ද මෙතෙක් කටයුතු කර නැත. ඉන්ධන මිල, විදුලි ගාස්තු, ජල ගාස්තු, ආහාර ද්‍රව්‍ය මිල ගණන් යනාදී කිසිවක් විශාල අගයකින් පහළ දමා නැත.
කෙසේවෙතත් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වන්නේ මෙරට ජනතාව ඉල්ලා සිටි පුනරුදයක බලාපොරොත්තුව සමගිනි. ඔහුට ලැබුණු ජනවරමෙන් පළමු මාස තුන ගතවී අවසන් ය. ඒ ජනවරමෙන් තවත් වසර හතරකුත් මාස හතකට ආසන්න කාලයක් එහෙමම ඉතිරිව තිබේ. ඒ අනුව මෙතෙක් හඳුන්වා දීමට නොහැකි වුණු අලුත් “වැඩ සංස්කෘතියක්” ඔහුට ලබන වසරේදී හඳුන්වාදීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.
ජනතාවට අවශ්‍ය වී ඇත්තේ අර්බුදවලින් තොරව සංවර්ධනය කරා යන, ජීවත් වීමට පහසුදායක රටකි. ඒ රට නිර්මාණය කිරීම සඳහා නායකත්වය දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ශක්තිය, ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.