නදීක දයා බණ්ඩාර – මහනුවර
කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ ආපදා නිසා මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 241ක් මරණයට පත්ව 68දෙනෙකු අතුරුදහන් වී ඇතැයි ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
පුද්ගලයන් 114 දෙනෙකු ආපදා හේතුවෙන් තුවාල ලබා ඇති බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කරයි.
ආපදා තත්ත්වය නිසා නිවාස 1959ක් පූර්ණ හානියට ලක් වූ අතර නිවාස 16 565ක් අර්ධ වශයෙන් හානි වී තිබේ. මේ නිසා පවුල් 55 804ක සාමාජික සාමාජිකාවන් එක්ලක්ෂ අසූදහදහස් තුන්සිය තිස් පස් දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (23) පැවැති ආපදා කළමණාකරණ කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ආපදාවට පත්වූ පුද්ගලයන් සිය ඥාතී නිවාසවල සහ සුරක්ෂිතතා මධ්‍යස්ථානවල රඳවා ඇතැයි කී රණවීර මහතා පවුල් 23 244ක් ඥාතී නිවාසවල ද තවත් පවුල් 2089ක් මහනුවර දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 95ක් තුළ රඳවා ඇතැයි සඳහන් කළේය.
ආපදා නිසා ගැබිණි මව්වරුන් 323කු බලපෑමට ලක්වී ඇති බවත් අවුරුදු 05ට අඩු දරුවන් 1791ක් ආපදා නිසා පීඩාවට පත්වූ බව ද ඒ මහතා මෙම කමිටු රැස්වීමේදී පැවසුවේය. එමෙන්ම ස්වාභාවික ව්‍යසනය නිසා මව අහිමි වූ දරුවන් 07ක් පිය අහිමිවූ දරුවන් 32ක් සහ මව සහ පියා යන දෙදෙනාම අහිමිවූ දරුවන් 03කු මහනුවර දිස්ත්‍රික්යේ සිටින බවත් ඒ මහතා කීවේය.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ මහත්මිය එහිදී අදහස් දක්වමින් නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රජයෙන් ලබාදුන් රුපියල් 25 000 මුදල ගෙවීම අවසන් අදියරේ පසුවන බවත් පීඩාවට පත් සෑම පවුල් සඳහාම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් වියළි සලාක ලබා දෙන බව ද එහිදී පැවසුවාය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකොන්, ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන් සහ මහජන නියෝජිතයන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ, මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ මහේන්ද්‍ර විජේපාල යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරී පිරිසක් සහභාගීවූහ.


