ජනපති අනුරගේ නත්තල් දින පණිවිඩය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග ජය ගෙන රටක් ලෙස එක්ව නැගී සිටිමු’යි සියලු දෙනාට ආරාධනා කරමින් ලැබුවා වූ අසිරිමත් නත්තල සාමය, සතුට පිරුණු සහ දයාව පෙරදැරිව මනුසත් බව පැහැබර කරන්නා වූ සුබ නත්තලක් වේවා’යි ප්‍රාර්ථනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා විසින් නිකුත් කර ඇති නත්තල් දින පණිවිඩය පහතින් දැක්වේ.


ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත බැතියෙන් සමරන අසිරිමත් නත්තල අදට (25) යෙදී තිබේ.

ශ්‍රී ලංකාවාසී අප මෙවර නත්තල සමරන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණදීමෙන් පසු අධිෂ්ඨානයෙන් යළි ගොඩනැඟෙමින් සිටින තීරණාත්මක අවස්ථාවක බව අපි දනිමු.

නත්තලේ සැබෑ අරුත වන්නේ, ප්‍රේමය, සාමය, සතුට, බෙදා ගැනීම සහ පරිත්‍යාගයයි. පීඩාවට පත් වූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප්‍රමුඛ වේ.

කිතුනු දහමේ මෙන්ම සියලු ආගම්වල ඉගැන්වීම වන අසල්වැසියා විපතට පත් වූ අවස්ථාවේදී අත්නොහැර සහෝදරත්වයෙන් වැලඳ ගැනීමේ උතුම් මනුසත් ගුණාංගය සහ නොසැලෙන අධිෂ්ඨානය පසුගිය ව්‍යසනය හමුවේ මෙරට ජනතාව නැවත නැවතත් පසක් කර තිබේ. කිසිදා යාමට අපේක්ෂා නොකළ මංමාවත්වල සිය සහෝදර ජනතාව වෙනුවෙන් ඇවැසි දෑ රැගෙන ඔවුන් ඇවිද ගියේ අසල්වැසියාට ප්‍රේම කරන, සාමය, සමගිය රජයන, පරිත්‍යාගයෙන් සහ සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැඟීමට ආරාධනා කෙරෙන උතුම් නත්තලේ අරුත සැබෑ ලෙසම අර්ථ ගන්වමින් බව මම විශ්වාස කරමි.

අන්ධකාරය පලවා හරින්නට ඇවැසි නම් ආලෝකයේ දීප්තිය පතුරුවාලිය යුතුය. බෙත්ලෙහෙමේ දිළිඳු ගවලෙනක ඉපදී කල්වාරි කඳු මුදුනේදී මිනිස් සමාජය පාපයෙන් මුදවා ගනු වස් කුරුසයට කැප වූ ජේසුස් වහන්සේ දැඩි අධිෂ්ඨානය, විශ්වාසය සහ ප්‍රඥාවේ මහිමයෙන් මරණය ජයගෙන උත්ථානය ලැබූ බව ක්‍රිස්තු ධර්මයේ සඳහන් වෙයි.

යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග ජය ගෙන රටක් ලෙස එක්ව නැගී සිටිමු’යි සියලු දෙනාට ආරාධනා කරමින් ලැබුවා වූ අසිරිමත් නත්තල සාමය, සතුට පිරුණු සහ දයාව පෙරදැරිව මනුසත් බව පැහැබර කරන්නා වූ සුබ නත්තලක් වේවා’යි ප්‍රාර්ථනා කරමි.

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 දෙසැම්බර් 25

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිට වෙනස් වන සුරාබදු දෙපාර්තමේන්තුව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : අද (24) ...

වෙන කවරදාටත් වඩා පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය අද දේශපාලනීකරණය වෙලා – ආචාර්යවරුන්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඉවත්කිරීමේ...

අද (25) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 25) දිනයේදී ඌව පළාතෙත්...