උතුරු මුහුදෙන් හමන හුලඟ කොහොමත් සීතලයි මේ දෙසැම්බර් මාසෙ. වෙස්ටර්ශෙල් ගඟ අයිනෙ ඇවිදන් යන්න බැරිතරමට සීතලයි.
ඇන්ට්වෙර්ප් නගරය කලකට ඉහතදී දියමන්ති… අධික මිළක් ඇති කලා කෘති .. චොකලට් සඳහා බොහොම ප්‍රසිද්ධ නගරයක්. ඒත් එක්කම යුරෝපයේ නිර්මාණයවුනු ප්‍රභලම ධනවත්ම වෙළඳ නගරයක්. උතුරු මුහුදෙ ඉඳන් ඇන්ට්වෙර්ප් නගරයට දිවෙන වෙස්ටර්ශෙල් ගඟ නිසා නගරය ප්‍රසිද්ධ වෙළඳ තිප්පලක්වෙන්නෙ ඉතාම කෙටි කාලයකින්.
මේ තරම් ධනවත් නගරයක මේ තරම් සීතලේ .. ආවරණයක් හෙවනක් නැතිව නිදාගන්න පුළුවන් කාටද.?
ආවරණයක් නැහැ කීවට නැත්තෙත්ම නැහැ. සීතලම සීතල පාවේ ගල්වලින් සැකසුනු ආවරණයකින් මේ දරුවාටත් බැලූ බැල්මට එයාගෙ මිත්‍ර සුනඛයාටත් පොඩි උණුසුමක් දෙනබව කියන්න පුළුවන්.
“කවුද නොදන්නෙ නෙලෝ ගැන… මේ ඉන්නෙ නෙලෝ එයාගෙ මිත්‍රයා පැට්රාශ් එක්ක. කවුරු නැතත් නෙලෝට පැට්රාශ්ගෙ රස්නෙත් පැට්රාශ්ට නෙලෝගෙ උණුසුමත් ලැබෙනකල් ඒ දෙන්නා සැපෙන් නිදාගනීවි. හිම කුණාටුවලට පුළුවන්ද මිත්රයන්ව වෙන් කරන්න.” ඇන්ට්වර්ප් නගර වැසියෙක් කියනවා.
ඒ 1870 අවුරුද්ද. නෙලෝ ජීවත්වෙන්නෙ එයාගෙ දුප්පත් සීයාත් එක්ක. සීත කාලෙ දවසක පාර අයිනෙ කෙඳිරිගාන කෙසඟ බළු පැටියෙක් හමුවෙනවා නෙලෝට. ඇඟ පුරාම තුවාල තියන… කෑම නැතිකමින් කෙට්ටුවෙලා ඇටපෑදුනු මේ කුඩා බළු පැටියා තව පැය දෙකතුනකින් මිය යාවි. නෙලෝ හිතනවා.
වීදිය අයිනෙ කුඩා පැලපතක ජීවත්වෙන නෙලෝටත් සීයාටත් ඇතිවෙන්න කෑම බීම නැතිබව ඇත්ත. ඒත් බළුපැටියාව ගෙදර අරන් ඇවිත් සාත්තු සප්පායම් කරන්න නෙලෝ තීරණය කරද්දි එයාගෙ සීයා ඒකට විරුද්ධවෙන්නෙ නැහැ. “අපි මෙයාට නම තියපු පැට්රාශ් කියලා ” නෙලෝ යෝජනාකරනවා.
ටික කාලයක් ගතවෙද්දි පැට්රාශ් බලන්න ලස්සන මිත්‍රශීලී බල්ලෙක් විදිහට උස්මහත් වෙන්නෙ නෙලෝගෙ හොඳම මිත්‍රයා විදිහට. ඇන්ට්වෙප් නගරයේ වීදී හරහා ඇවිදින නෙලෝත් පැට්රාශුත් හැමෝගෙම අවධානය දිනාගන්නවා. මේ දෙන්නා තවදුරත් පෝසත් නගරයට අමුත්තන් නෙවෙයි. කොහේ ගියත් මේ දෙන්නා යන්නෙ එන්නෙ එකටමයි.
තරුණවියට පාතබන නෙලෝ බලන්න ලස්සන කුඩා තරුණයෙක්. නගරයේ ඉන්න ධනවත්ම වෙළෙන්දෙක්ගෙ දුව ඇලොයීස් නෙලෝ එක්ක ආදරෙන් බැඳෙන්නෙ නගරයේ ඉන්න ලස්සනම තරුණයා නෙලෝ නිසා වියයුතුයි.
ඇලොයිස්ගෙ පියා නිකොලාස් කෝජෙස් කොහෙත්ම කැමතිවෙන්නෙ නෑ මේ සම්භන්ධයට. දුප්පත් හිඟන්නෙක්ට කොහොමද මගේ දුව දෙන්නෙ නිකොලාස් කෑගහනවා.
දුප්පත්වුනත් නෙලෝ දක්ශ චිත්‍ර ශිල්පියෙක්. ඇන්ට්වෙර්ප් නගරයේ පැවැත්වුනු චිත්‍ර තරඟයකින් නෙලෝ ජයගත්තත් නිකොලාස්ගෙ මැදිහත්වීමෙන් නෙලෝගෙ ජයග්‍රහණයත් තෑගි මුදලත් අහිමිකෙරෙනව විතරක් නෙවේ නෙලෝට චෝදනා ලැබෙනවා වංචාකරපු විදිහට.
අන්තිමේදී තමන්ගෙ ව්‍යාපාර ස්ථානයකට ගිණිතැබූ බවටත් නෙලෝට නිකොලාස්ගෙන් චෝදනා එල්ලවෙනවා. මේ සතියෙමයි නෙලෝගෙ සීයා මිය යන්නෙ හදිසියේම. අන්තිමේදී තමන්ගෙ කුඩා නවාතැනත් අහිමිවෙන නෙලෝ තරුණයා මහමගට වැටෙන්නෙ කාත් කවුරුත් නැතුව. කාත් කවුරුත් නැතුව කීවට නෙලෝට ඉන්නවා තමන්ගෙ මිත්‍රයා පැට්රාශ්. නෙලෝ කෙහේගියත් මොනවාකරත් පැට්රාශ් නෙලෝ එක්කමයි.
දෙසැම්බරය කොහොමත් සීතලයි. සීතලම සීතල හිමකුණාටු හූ කියාගෙන ඉගිලෙද්දි කාටවත් පුළුවන් කමක් නෑ එලියෙ පහලියෙ ජීවත්වෙන්න. ඒක හරියට මරණ සහතිකය ලියාගැනීමක් වගේ.
“තරුණයා උඹ මෙහෙම මහමග රස්තියාදුවුනොත් උඹට පුළුවන්කමක් නෑ හෙට උදේ වෙනකල් ජීවත්වෙන්න. නගරවැසියෙක් නෙලෝට කියනවා. උඹ අහලා නැද්ද ඇන්ට්වෙර්ප් බැසිලිකාවෙ චිත්‍ර ප්‍රදර්ශණය ගැන. රූබෙන්ස්ගෙ චිත්‍ර දෙකකුත් ප්‍රදර්ශණයට තියනවා.
ගිහින් බලාපන්.. ජේසුස් අහසට නැගීමේ චිත්‍රය දැකපු ගොඩාක් දෙනෙක්ට වාසනව උදාවෙලා තියනවා.
සමහරවිට ඒ සිතුවම උඹටත් ප්‍රාථිහාරයක් ගෙනත්දේවි.
ඇන්ට්වෙර්ප් කැතේඩ්‍රාල් එකේ කොහොමත් හාස්කම් තියනවා”
නෙලෝ පැට්රාශ් එක්කම හිම කුණාටු මැද්දෙ ඇන්ට්වෙර්ප් පල්ලියට යන්නෙ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන. මේ නත්තල් මාසෙ දෙවියන් මට උදව්කරාවි නෙලෝ හිතනවා.
“මේ දුප්පත් හිඟන්නො මොකට එනවද චිත්‍ර ප්‍රදර්ශණ බලන්න.. උඹ හිතනවද රූබෙන්ස්ගෙ සිතුවම් නොමිළේ ප්රදර්ශණයකරනවා කියලා.
ටිකට් ගත්තෙ නැත්තං කාටවත් බෑ මේ ගේට්ටුවෙන් ඇතුලට යන්න.. ඊටත් මේ දඩෝරි බල්ලෙක් එක්ක.. ” බැසිලිකාවෙ මුරකාරයා කෑගහනවා.
වලස් හම්වලින් කරපු හිමකබා පොරවාගත් මහත්තුරුත්… රතුවෙල්වට් ගවුම් ඇඳගෙන ලේණ හමෙන් කරපු තොප්පි පැලඳගත් නෝනාවරුත් උස් හඬින් හිනාවෙමින් පල්ලිය ඇතුලට යද්දි නෙලෝ බලාගෙන ඉන්නවා අඳුරේම පැට්රාශ් එක්ක ..බසිලිකාවෙ එලියෙ.. පාවේ ගල් අතුරපු වීදියේ.
රැය බොහොම හීතලයි දිගයි… හිම කුණාටු බොහොම දරුණුයි.
පහුවදා උදේ නගර වැසියන් දකිනවා බසිලිකාව කිට්ටුව පාවේ ගල් අතුරපු වීදියේ ගල් ගැහිලා නිදාගෙන ඉන්න නෙලෝත් .. නෙලෝට තුරුල්වෙලා ඒ ලඟම නිදාගෙන ඉන්න පැට්රාශ්වත්. සීතලට මුන් දෙන්නම ගල් ගැහිලා… අසරණ ජීවිත… අඩුම තරමෙ පැය හය හතක්වත් ඇති මේ දෙන්නා යන්න ගිහින්. ඒ කිට්ටුව වෙළඳාම්කරන වෙලෙන්දෙක් කියනවා.
ඇත්ත … සීතලට මේ දෙන්නම ගල් ගැහිලා.. ඒත් බලාපන් නෙලෝගෙ මූණෙ තියන හිනාව… බලාපන් පැට්රාශ්ගෙ මූණෙ තියන සතුට.
මැරෙණ මොහොතෙත් මුන්දෙන්නා කොහොමද මේ වගේ සතුටෙන් ඉන්නෙ.
සුප් විකුණන වෙළෙන්දියක් කියනවා.
A Dog of Flanders නවකතාව ලියවෙන්නෙ 1872 වර්ශයේ. ඒ කතාව ලියන්නෙ මාරී ලුයිස් රාමේ. ( Marie Louise de la Rameé)
ළමාකථාවක් විදිහටත් නවකථාවක් විදිහටත් මාරී ලුයිස්ගෙ කතාංදරය බෙල්ජියම පුරාම ප්රසිද්ධවෙනවා.
බෙල්ජියමෙ විතරක් නෙවෙයි.. ප්‍රංශය … බ්‍රිතාන්‍ය හරහා ජපානයටත් නෙලෝගෙ කතාව පරිවර්තනය වෙනවා.
ජපානය පුරාම වේදිකා නාට්‍ය ලමා නාට්‍ය නිර්මාණය වෙනවා නෙලෝ හා පැට්රාශ් නමින්.
දුක්බර මරණයකින් කෙළවරවෙන කථාවක් කොහොමද ළමා නවකථාවක් වෙන්නෙ. කෙනෙක්ට ප්‍රශ්ණකරන්න පුළුවන්.
අන්න ඒ ප්‍රශ්ණයත් එක්ක තමයි හිතීම මොටවුණු සුරංගනා ලෝකයක් දරුවන්ට නිර්මාණය කෙරෙන්නෙ.
එකමත් එක කාලෙක කියන වචන කීපයෙන් පටන් අරන් ඉක්බිති සියල්ලෝම සතුටෙන් ජීවත්වූහ වාක්‍යයෙන් අවසන්වන ළමාකථා විතරක් නෙවෙයි අපේ ලෝකයේ ඇහෙන්නෙ. සමාජයේ තියන අසාධාරනය.. දුක… අවනීතිය ගැන ඇයි දරුවන්ට කියලා නොදෙන්නෙ … මාරි ලුයිස් ප්‍රශ්න කරන්නෙ ඒ ගැන වෙන්න බැරිද.?
ප්රාථිහාර්ය පාන බැසිලිකාව… නත්තල් මාසෙ දොරවල් වැහුනු දේවස්ථානය… සීතලේ මහමග තණිවුනු පැට්රාශ් හා නෙලෝ… ඒ විතරක් නෙවෙයි ධනවත් වෙළෙන්දාගෙ නමත් නිකොලාස්. මේ පුංචි කතාංදරය හරහා මාරි ලුයිස් කුඩා දරුවන්ට විතරක් නෙවේ වැඩිහිටියන්ටත් මහා ලොකු කතංදරයක් සරලව කියල දෙනවා.
ඇන්ට්වෙර්ප් නගර මධ්‍යයේ හැන්ඩ්ශොන්මාර්ක් වීදිය කෙලවරේ ඇවිදගෙන යද්දි නෙලෝගෙ පිළිරුව ඇස් ඇදගන්නවා ඉබේටම.
බාර්ටිස් වර්මියුලන්ගේ මේ නිර්මාණය මාරි ලුවීස්ගෙ කතාංදරය සංචාරකයන්ට කියනව නිහඬවම.
බැලූ බැල්මට නෙලෝටවත් පැට්රාශ්ටවත් සීතලක්.. තනිකමක් නැතිගානයි.
~ Malcolm Sung
RN