සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 31 ,(LNW)කොළඹ :
ශ්‍රී ලංකාව 2025 වසරට එළැඹෙන්නේ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල ගැන බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩක සම්පත් පොකුරක් සමඟය.දැනට හඳුනාගෙන ඇති පරිදි මලල ක්‍රීඩා,බොක්සිං,බැඩිමින්ටන්,මල්ලව පොර වැනි ක්‍රීඩාවල සෘජුව සුදුසුකම් ලැබිය හැකි අය වෙති.එසේම ඒ සමහර දෙනෙක් ලොස් ඇන්ජලීස් ගොස් හිස් අතින් එනු ඇතැයි ද සිතිය නොහැකිය.එසේම පළමු වරට එම ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ඇතුළත්වන බැවින් එයින් ද පදක්කමක් දිනා ගැනීමේ ඉඩ පවතියි.
අලුත්ම තත්ත්වය අනුව බලාපොරොත්තු…?
එහෙත් මේ සියල්ල මැක්ස්වෙල් ද සිල්වා ට තනතුරෙන් ඉවත්ව සාධාරණ පරීක්ෂණයකට මුහුණ දෙන්නට ආචාර ධාර්මික කමිටුව විසින් කළ පරීක්ෂණයකින් පසුව ගෙන එන යෝජනාව සිල්වා විසින් ප්‍රතික්ෂේප කිරිම නිසා දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇත.ඒ තත්ත්වය මත දැනටමත් ජාත්‍යන්තර ආධාර නැවතී ඇත.ජාත්‍යන්තරය බැස යන්න කියද්දිත්,සිල්වා එම පුටුවේ සිටීම භයානක තත්ත්වයකි.
චෝදනාවකදි සිඳුවන්නේ සැකයට භාජනය වීමය.එහිදී ඔහු වරදකරුවෙකු නොවන්නේය.චෝදනාවලට අදාළ කරුණුවලින් ඔහු නිවැරදිකරුනම් තිබුණාට වඩා බලසම්පන්න පුද්ගලයෙකු ලෙස නැවත පැමිණිය හැකිය.එහෙත් සිඳු විය යුතු දේ නොකර ඔහු සහ විධායක සභාවේ පිරිසක් උත්සාහ කරන්නේ සිල්වාට හිතවාදි වූ නිලවරණයකට පිවිස ඔහු සම්බන්ධයෙන් වන වාර්තා සහ චෝදනා ප්‍රතික්ෂේප කිරීමටය.වඩාත්ම සුදුසු වචනය ඒවා විභාගයට නොගෙන අත හැරීමය.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් වාර්තා වන තොරතුරු මත සිල්වා වෙනුවෙන් නිලවරණය පෙරට ගන්නට උත්සාහ දරණ පිරිවර නිලවරණයෙන් පසුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි බව පෙන්වි දී ඇත.ඒ සියල්ලම දැනටත් ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ නියෝජිතයෝය.ඒ අයට මේ මොහොතේ ජාත්‍යන්තරය සමඟ ඇති සබඳතාවල ශක්තිය පෙන්වීමට හොඳම දේ දැනට නවත්වා ඇති ආධාර මුදල් තහනම ඉවත් කර පෙන්වීමටය.එසේ නොවී චෝදනා ගැන පරීක්ෂණයක් නොකර පුද්ගලයෙකු රැක ගැනීම කියන අභිලාෂය ප්රමුඛව තබාගෙන නිලවරණයෙන් බලය ලබා ගත් විට ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව හානි කළ පුද්ගලයෙකු ලෙස චෝදනාවට පත් වූ පුද්ගලයා ගැන ගත යුතු තීරණය සහ පරීක්ෂණය සම්බන්ධ අපේක්ෂාව ඉවත් කර ගන්නේ නැත.
රුසියාව වැනි අති දැවන්ත රටත්,ලෝක බොක්සිං සම්මේලනයේ ප්‍රධානියා වන ව්පැඩිමිර් පුටින්ගේ දකුණු අත වන් ජෙනාඩි ග්ලෝව්කින් වැන්නන් ද තඹයකට මායිම් නොකර තම ස්ථාවරයේ වසර ගණනක් රැදී සිටින ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තව දුරටත් ආසියාවේ ප්‍රබල සහ සමීපව ජාත්‍යන්තරය සමඟ සිටි කුවේටයේ පිරිස ගැන සැළකූ ආකාරයත් මීට උදාහරණ ලෙස දැක්විය හැකිය.
මේ තත්ත්වය තුළ ක්‍රීඩා සංගම්
මේ වාතාවරණය මත සාධාරණයට ගමන් නොකර සිල්වා එක රට දෙක ප්‍රතිපත්තියේ ඉන්න පිරිස මේ රටේ කීඩා සංගම් හරහා ඔලිම්පික් නියෝජිතයෝ වූ අයය.ඒ අය සම්බන්ධයෙන් නිලවරණයට පෙර සිය ක්‍රීඩා සංගම් කැඳවා රටේ 2028 ඔලිම්පික් බලාපොරොත්තුවලට වැට බැඳෙන හැටියට සිඳුවන ක්‍රියාකාරකම්වලට පක්ෂ වීමට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගැනීමට හැකිය.එසේම මේ වන විටත් පැහැදිළිව 2028 ඔලිම්පික් සිහින යථාර්තයක් කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩකාවන් සිටින සංගම්වලට ද එක් වී සිය ක්‍රීඩකයින් රැක දෙන ලෙස අමාත්‍යංශයෙන් ඉල්ලීම් කළ හැකිය.සිය ක්‍රීඩාව වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව කරගෙන යන මේ ව්‍යාපාරයට එරෙහිව විරෝධය දැක්විය හැකිය.මේ මොහොතේත් දකුණු කොරියාවේ සිඳුවෙමින් තිබෙන දේ ඊට උදාහරණ ලෙස ගත හැකිය.
අමාත්‍යංශයට කළ හැකි දේ…
සැබවින්ම අමාත්‍යංශයට හෝ අමාත්‍යවරයාට මේ සිඳුවිමට සෘජුව මැදිහත්ව සිල්වා ඔයා යන්න කියන්න නොහැකිය.නියෝජිතයෝ අමාත්‍යවරයා හමුවෙමින් අමාත්‍යවරයාට ගෞරව කරමින් හැසිරෙන කාරණාව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ අමාත්‍යවරයාට නිවැරදිව සම්බන්ධ විය හැකි මාවත වසා දැමීමය.
ක්‍රීඩා අමාත්‍යවරයාට ආණ්ඩුවේ ඇමති මණ්ඩලය නැතිනම් කැබිනට් මණ්ඩලය සමඟ එකඟතාවයකට පිවිස මේ සිඳුවීම සම්බන්ධයෙන් දැනට අඩපනව නැතිනම් ලෙඩ ගති පෙන්වමින් සෝමාරීව සෙමින් ගලා යන රහස් පොලීසිය සතුව ඇති පරීක්ෂණ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව සතුව ඇති පරීක්ෂණ කඩිනම් කරන්නට හැකිය.එය දේශපාලන බලපෑමක් නොවේය.රටේ බොහෝ ක්‍රීඩාවල ජාත්‍යන්තර පාලම මැද වැටී තිබෙන අසූචි කන්දක් ඉවත් කිරීමක් වැනි ජාතික සුවතාව සම්බන්ධ වගකීමක් ඉටු කිරීමට මැදිහත්වීමය.එවැනි පරීක්ෂණයක් හරහා ලැබෙන ප්‍රතිපලය මැක්ස්වෙල්ට එරෙහි එකක්නම් එය ජාත්‍යන්තර ඔලිම්පික් වෙත දැණුම් දීමට හැකියාවක් අමාත්‍යංශයට ඇත.
එසේම දැනට ආචාරධාර්මික කමිටුව සම්බන්ධයෙන් ගෙන ඇති තීරණ ගැන ද නීතිපතිවරයා හරහා අධිකරණයට කරුණු ඉදිරිපත් කර රටේ පවතින නීතිය අනුව එම කමිටුවේ නිර්දේශමත මැක්ස්වෙල් ද සිල්වා ඉවත් විය යුතුද යන්නත් තීරණය කළ හැකිය.එම තීරණ රටේ පවතින නීතිය අනුව ගන්නා තීරණ බැවින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට එරට නීතියෙන් ගනු ලබන තීරණ අනුව නිලධාරියා සම්බන්ධයෙන් තීරණයකට ඒමට හැකියාව ඇත.
මැක්ස්වෙල් කළ යුතු දේ….
ඔහු දැන් බොහෝ කාලයක් තිස්සේ මෙරට ජාතික ඔලිමිපික් කමිටුවේ සිටියි.පහු පහු වෙනකොට කොහු කොහු වෙන අන්දමේ හැඩයකට දැන් ඔහුගේ නියෝජනය හැරී ඇත.මේ වන විට ඔහුට එල්ල වන චෝදනා සමඟ ඉතිහාසයේ ඔහුගේ චරිතයද මතු වෙමින් ඒවා ද වැරදිකරුවෙකු ලෙස හංවඩු ගසන්නට යොදා ගෙන ඇත.
එහෙත් ඇත්ත කරුණනම් ඒ කිසිවකට ඔහුට නීතියෙන් දඬුවම් කළ බවට සාධක නැත.එසේ වුවානම් ආචාර ධාර්මික කමිටුව නැතුව වුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සිල්වා ගැන ගත යුතු තීරණය ගන්නවා නිසැකය.
එහෙත් දැන් තියෙන ගැටළුව ඔහු තනතුරෙන් ඉවත්වී පරීක්ෂණවලට මුහුණ දීම වෙනුවට ඔහුද ඇතුළුව හෝ ඔහුට පක්ෂපාති කණ්ඩායමක් බලයට පැමිණ ආචාරධාර්මික කමිටුවේ නිර්දේශ නොසළකා,නොතකා සිටීමට දරණ වෑයමය. ඒ කාරණා ආචාරශීලී වැදගත් මනුස්සෙකුගේ ස්වභාවයට අදාළ නොවන නරක හැසිරීමක්ය. අප යෝජනා කරන්නේ කීඩා පරිපාලනයේ වසර ගණනක පළපුරුද්ද සමග ඔහුට වැදගත් විදිහට තමන්ගේම හෘද සාක්ෂියට එකග විය හැකි අන්දමට තීරණ ගැනීමටනම් කළ යුත්තේ පරීක්ෂණ නිර්දේශවලට අනුව කටයුතු කර ඉක්මණින් තනතුරෙන් ඉවත් වී තමන්ගේ නිර්දෝශීභාවය සනාත කිරීමය.තනතුරුවලට වඩා සමාජය ඉදිරියේ අවමන් සහගතව පරීක්ෂණවලින් සැඟ වී සිටින්නට උත්සාහ කිරීම බියගුළු පෙණුමක් ඇති කරන්නේය.මේ ගැන අවධානය යොමු කර අප පවසන්නේ මැක්ස්වෙල් සිල්වා ට ඉවත්ව ගොස් නිවැරදි වී පැමිණ මහත්මයෙක් බව පෙන්වන ලෙසය.
එසේ නොවී මැක්ස්වෙල් කියන සියලු කාරණාවල තාලය මැක්ස්වෙල් රොද්‍රිගෝ ගේ ගායනා ශෛලියට සමාන වන්නේය.