පසුගිය (2023) වසරේ ජනවාරි 2 දින අප විසින් ලියා පළ කළ, “කවුද ගන්නේ ශ්‍රීලංකන්?” ලිපිය මා නැවත මෙහි උපුටා දක්වන්නම්.
වැඩි කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය සතුව තිබියදී වුවත්, වසර දහයක කාලයක් තිස්සේ එමිරේට්ස් සමාගම විසින් කළමනාකරණය කළ, ඒ කාලය තුළ පාරිභෝගිකයින්ට හොඳ සේවයක් ලබා දෙන අතරම දිගින් දිගටම ලාබ ලැබූ ශ්‍රීලංකන් ගුවන් සේවය 2008 මාර්තු 31 දින සිට නැවතත් රජයට පවරා ගනු ලැබුවා.
පහතින් තියෙන්නේ 2008 මාර්තු අවසානයේදී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වයයි.
වත්කම් – රුපියල් බිලියන 51.3යි.
බැරකම් – රුපියල් බිලියන 28.5යි.
ශුද්ධ වටිනාකම – රුපියල් බිලියන 22.8යි.
රජයට පවරාගත් මෙම ආයතනයේ අද මූල්‍ය තත්ත්වය කෙසේද?
පහතින් තියෙන්නේ 2021 මාර්තු අවසාන වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වයයි.
වත්කම් – රුපියල් බිලියන 154.4යි.
බැරකම් – රුපියල් බිලියන 443.6යි.
ශුද්ධ වටිනාකම – රුපියල් බිලියන සෘණ 289.3යි.
පොදු අරමුදල් වලින් ආයෝජනය කර ඇති ප්‍රාග්ධනය – රුපියල් බිලියන 82.5යි. (මෙම ගණනට 2020/21 මූල්‍ය වර්ෂය තුළ රජය විසින් ශ්‍රීලංකන් සමාගම වෙනුවෙන් යෙදවූ රුපියල් බිලියන 27.7ක මුදලක් සහ ඊට පෙර යෙදවූ මුදල් ඇතුළත්.)
රජය විසින් යෙදවූ මුදල් වාෂ්ප වී අවසන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ මුදල් වෙනුවෙන් දිගින් දිගටම පොලී ගෙවන්න සිදු වී තිබෙන්නේ රටේ බදු ගෙවන ජනතාවටයි. වත්කම් හා බැරකම් අතර රුපියල් බිලියන 289.3ක හිඟයක් තිබෙන්නේ ඊට අමතරවයි.
මුදල් අමාත්‍යංශයට අනුව 2021 වසර තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් රුපියල් බිලියන 170.6ක ශුද්ධ අලාභයක් ලබා ඇති අතර, 2022 පළමු මාස හතර තුළ තවත් රුපියල් බිලියන 248.4කශුද්ධ අලාභයක් ලබා තිබෙනවා. මේ අනුව, සමාගමේ ශුද්ධ සෘණ වටිනාකම මේ වන විට රුපියල් බිලියන 700ක් පමණ විය හැකියි.
ශ්‍රීලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කරනවානම් කළ හැක්කේ මෙසේ එකතු වී ඇති ණය ආපසු ගෙවීමේ බර බදු ගෙවන ජනතාව මත පැටවිය හැකිනම් පමණයි. නිකම් දුන්නත් ණයකට කර ගහන්න කවුරුවත් කැමති වෙන්නේ නැහැ.
ඇතැම් අය යෝජනා කරනවාක් මෙන් තෙල් සංස්ථාව, ශ්‍රීලංකන් ගුවන් සේවය වැනි ආයතන විකුණා ලැබෙන මුදලකින් රජයට ණය ගෙවන්න පුළුවන්කමක් නැහැ. මේ ආයතන විකිණුවත්, තියා ගත්තත් මේ ආයතන වල ණය ගෙවන්න සිදු වී තිබෙන්නේත් අනාගතයේදී බදු ලෙස එකතු කරගන්නා මුදලකින්ම තමයි. ඒ විදිහට හෝ ණය නොගෙවුවොත් වෙන්නේ මේ ආයතන කඩා වැටෙනවාට අමතරව මේ ආයතන වලට ණය දී තිබෙන රාජ්‍ය බැංකුත් කඩා වැටෙන එකයි.
කෙටියෙන් කිවුවොත්, ඉහත ලිපියෙහි අප විසින් පෙන්වා දුන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගමෙහි ණය බර සමඟ එම ආයතනය කිසිවකු විසින් මිල දී නොගනු ඇති බව සහ එම ආයතනය විකිණීමටනම් ආයතනයේ ණය බරෙන් සැලකිය යුතු කොටසක් බදු ගෙවන්නන් මත පටවන්නට සිදු වනු ඇති බවයි. මෙහිදී ඇතැම් අය ශ්‍රී ලංකා ගුවන් සේවයේ “කීර්ති නාමයේ” මුදල් වටිනාකම හා එය ජාතික ගුවන් සේවයක් වීම නිසා ලැබෙන වරප්‍රසාද වල වටිනාකම ආදිය ගැන පෙන්වා දෙමින් මෙම ආයතනය මිල දී ගැනීම සඳහා ඉල්ලුම්කරුවන් තරඟ කරනු ඇති බවට තර්ක කළා. ඇතැම් අය කියා සිටියේ කොමිස් ලබා ගෙන කුණු කොල්ලයට විකිණුවේ නැත්නම් මෙම ආයතනය පහසුවෙන්ම විකුණා දැමිය හැකි බවයි.
ශ්‍රීලංකන් ගුවන් සමාගම එහි ණය බරද සමඟ මිල දී ගැනීමට කිසිවකු ඉදිරිපත් වී නැති බව මේ වන විට පැහැදිලියි. රොයිටර්ස් පුවත් සේවය උපුටා දක්වමින් වාර්තා කර ඇති පරිදි, ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ගෙවීම පැහැර හැර ඇති ඩොලර් මිලියන 175ක ජාත්‍යන්තර බැඳුම්කරයෙහි බරද, රාජ්‍ය බැංකු වලට ගෙවිය යුතු ඩොලර් මිලියන 378ක ණය හා බැංකු අයිරා වල බරද ලෙස ඩොලර් මිලියන 553ක ණය බරක් නුදුරු කාලයේදී බදු ගෙවන්නන් මත පැටවීමට නියමිතයි.
පහතින් තියෙන්නේ 2023 මාර්තු අවසාන වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වයයි.
වත්කම් – රුපියල් බිලියන 199.5යි.
බැරකම් – රුපියල් බිලියන 708.6යි.
ශුද්ධ වටිනාකම – රුපියල් බිලියන සෘණ 506.2යි.
රුපියල්ව බිලියන 612.4ක සමුච්ඡිත අලාබයක් එක්ක වටිනාකම රුපියල් බිලියන සෘණ 506.2ක් වූ ආයතනයක් සල්ලි වලට තියා නිකම් දුන්නත් කවුරු හෝ එය ගන්න තිබෙන ඉඩකඩ ඉතා අඩුයි. මේ වෙද්දී මෙම සෘණ අගය තවත් නරක අතට හැරී තියෙන්න පුළුවන්. රජය විසින් ශ්‍රීලංකන් ණය වලින් සැලකිය යුතු කොටසක් බදු ගෙවන්නන් මත පටවන්න යන්නේ එම පසුබිම තුළයි.
ඩොලර් මිලියන 553ක් කියන්නේ එක පවුලකට ඩොලර් 100ක පමණ බරක්. ඒ කියන්නේ, ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාඩු වෙනුවෙන් සෘජු හා වක්‍ර බදු ලෙස එක පවුලකට රුපියල් 30,000ක් පමණ ගෙවන්න සිදු වෙනවා. එහෙත් එසේ කිරීමෙන් පසුවද ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ණය බර අවසන් වන්නේ නැහැ. මෙම මුදල ණයෙන් කොටසක් පමණයි.
~ ඉකොනොමැට්ටා
RN