නිෂ්මං රණසිංහ
නෙළුම් පොකුණට යන එන ජනතාව කොපමණද කියන්නට සාක්ෂි නැත.එහෙත් ඒ වටා ඇති මහා වාහන ප්‍රමාණයක් ගොඩ ගැහෙමින් ඇත.රටේ ජනතාවගේ අකමැත්ත මත ධූරයෙන් පළා යන්නට සිඳු වූ ජනාධිපතිවරයෙකු ඒ අරගලය ගොඩ නැඟුණු ජනතා හෘද සාක්ෂිය රැවටුණු බව කියන්නට අකුරු එකතු කරපු පොතක් එහි දොරට වඩින්නේය. ඒ වාහන සනෙඟ එයට එක් වනු පිණිසය.
ඊට මීටර් සිය ගණනක දුරින් වන මහවැලි කේන්ද්‍රයේ ද එවැනිම පොත් යුගලක් දොරට වඩින්නේය.එයට නම් තබා ඇත්තේ ලන්ඩන් කවි ය.එහි ලන්ඩන් වචනය ඇති නිසා නෙළුම් පොකුණට ඇතුළුවන උන්දැලා මෙය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් යැයි කියා බෝඩ් උස්සන් එන්නටත් ඉඩ ඇත.නෙළුම් පොකුණ පසු කර මගේ තේරීම වන මහවැලි කේන්ද්‍රයට ළඟා වෙද්දී පළමු කොට මට එසේ හැඟිණ.රතරම්ම රැවටුම් කාර දේශපාලකයෝ ද රැවටෙන්න මග බලා සිටින ජනතාවකින් ද පොහොසත් රටක පුරවැසියෙකුට එසේ සිතීම අසාධාරණ නොවන බව මඟේ හැඟීමය.

මහවැලි කේන්ද්‍ර උත්සව සභාව එහි වන පොත් වැඩමවීමට ගෞරවයෙන් සූදානම්ව සිටියහ.එහි වූ මුහුණු අතරේ අව්‍යාජම සිනහ ඇත්තෝ බොහෝය.කලාවටත් සාහිත්‍යයටත් පෙම් බඳින්නෝ ඊටත් වැඩිය.මේ උත්සවය පැවත්වෙන්නේ ගීතයත්,ඟීත සාහිත්‍යයත් එකලු කල දෙදෙනෙක්ව පිඳුමටය.එසේ පූජාවට සූදාකම් වූ හදවත් ඒ අසුන්වලට බරව සංවේදීව දෑස් දල්වා සිටින්නේය.
කවි පොත් දෙකේ සංස්කාරක අනුර හෑගොඩ ය.ඔහුගේ ජිවිතය ලන්ඩන් කරා දුරස්ව තිබුණ ද කවි හිතත් එහි රසත් මේ පොළවේ හතරකොන ඇවිඳ කිමිද නිතර විමසිලිමත් වන සාහිත්‍යමය සහ කලාව එකතු වූ ගායෙන් හොඳටම දඟය.ඒ නිසා මේ පොළවේ ගීත සාහිත්‍යයේ යුග පුරුෂ මහාචාර්ය සුනිල් ආරියරත්තනයන් ද,ගාංකේය ගීත කෝකිලාවිය නන්දා මාලනී ද පිදුමට ලක් කරන්නට සූදානමින් අපූරු රසවතුන්ගේ නැණවතුන්ගේ කවි අදහස් ඔවුන් දෙදෙනා වෙනුවෙන් එක් කළ මංජුසා දෙකක් ජනතාවගේ වින්දනයට පාත්‍ර කරන්නට සකස් කර තිබිණ.

එහි කවියෝ ද ගායකයෝ ද වෙනත් කලාවට සාහිත්‍යයට පෙම්බැඳි විවිධාකාර සුලවතුන්ගේ ද දෘශ්ඨිය කවි කොට එම කෘතියට පුරුද්දා තිබිණි.කැළුම් ශ්‍රීමාල් නම් ගීත රචකයා සහ සංනිවේදකයා සිය හැඩ වචන කවි මෙන්ම උත්සව සභාව මෙහෙයවීමට එකතු කළේය.ඒ කවි සුගායනය කළේ රත්නා ලාලනී රංගවේදිණිය යතඇය සමාජය රංගවේදිණියක සේ දන්නේ වුව ද,ඇය වෘත්තීයෙන් සංගීතය සහ නාට්‍ය සහ රංග කලාව උඝන්වන ගුරුවරියක ද වන්නිය.

ඒ නිසා අනුර වැඩේට ගැලපෙන හැඩයක් දෙන්නට මානව සැරසිලි ද එක් කර ගෙන තිබිණ.අතකස නම් වූ අගනුවර තරුණ කවි සමාජයේ සභාපතිවරයා වන අනුර හෑගොඩ,කවිවලින් නන්දාවන් සහ සුනිලුන් පුදන මේ සංග්‍රහයට රසවත්ම රසවත් හිටිවන කවියද එක් කරගෙන තිබිණ.ඒ කාර්යය පැවරී තිබුණේ එල්ලාවල ආනන්ද කුලතිලකට සහ කඩවත තේජා ගම්මන නම් කවි කිවිඳියන් දෙපළටය. ඔව්හූ ඒ මොහොතේ අපූරු මවන කවි වැණුම් සමඟ හිටිවන කවියේ චමත්තාරය නන්දා මාලනියන් සහ සුනිල් ආරියරත්නයන් පුදනු පිණිස රස මවමින් ඉදිරිපත් කළහ.
රත්නා ලාලනියද විටින් විට වට මුදු වැසි මෙන්ම සවන ද,හදවත සිසිල් කරමින් රත්න ශ්‍රී විජේසිංහ,එඩ්වඩ් ජයකොඩි,නිශ්ශංක දිද්දෙනිය,ගාමිණි සුමනසේකර වැන්නන් නන්දාවන් සහ සුනිලුන් පුදනු පිණිස පිදූ කවිමල් වල සුවඳ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැතිරෙව්වාය.වඩාත්ම වැදගත්ම කාරණය සිද්ධ කළේ විශේෂ දේශණය සිඳු කළ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ය.ඔහු සුනිල් සහ නන්දා උපහාර කොට පිදෙන කවිපොතට වටිනාකම එකතු කළේ ඉතිහාසයේ සිටම කවි පිදුම් ලද අය ගැන වචන එකතු කරමින්ය.වැඩිම කවිවලින් පිඳුම් ලද බුද්ධ චරිතය වර්ණනා කරන ලද කවියේ සිට සීගිරි කාව්‍ය හරහා මේ තත්ත්පරය දක්වාම ඔහු එසේ පුද්ගල වන්දනා කවිය,එහි අනන්‍යතාවයන් ගැන පැවසීය.එසේම ඒවා අවබෝධය,දැණුම,ගෞරවය වැනි මිනිස් සිතුවිලි සමඟ ගැට ගැහෙන හැටි කවි සබැඳි ගැට ලිහිල් කරමින් දිග හැරියේය.ඒවා කොයිතරම් ඉතිහාසක් ආවරණය කළේද කීවහොත් දෙසුම අවසාන මොහොතට වත්මනේ රසෝපාහාස සිව්පද කවියා වන ප්‍රියන්ත කොඩිප්පිලි ළඟටස ඉතිහාසය දිගේ ඇදී ආවේය.

එය අපූරු වැඩකි.අත නොහැර අලිලාගෙන පැය ගණන් ගෙවිය හැකි රස ගුලාවකි.අත හැර යන්න ලෝබ හිතෙන ආදරණිය පූජාවකි.ඉන් මිදී එළියට පැමිණි සැනින් යළිත් ඇස ගැටුණේ මහවැලි කේන්ද්‍රය ආසන්නය වන තෙක්ම නැවතුණු ගෝඨාගේ පොතට පැමිණි වාහනය.මිනිසුන් පිනවන පිණිස හඩත් අකුරුත් වැඩ කරන මහා පුරුෂයන්ට එසේ මිනිසුන් රැස් වන්නේ නැත්තේ ඇයි? තවමත් සිටින්නේ ඒ සිතුවිලිවලහ ඇලෙමින් දැවෙමින් තැවෙමින්ය.පුංචි උත්තරයක් අන්තිමට හිත සුව පිණිස සකසා ගන්නට හැකි විය.අනුර කළ මහා පූජාව ගැන සහ අර මහා සෙනඟ ගැන අවුලක් තිබෙනු නැති බව හැඟේ.එසේ ඇත්නම් මේ සිතුවිල්ල වැදගත් ය.
“මහා මඩ වල්වල්වල මානෙල් පිපෙනු ඇත.ඒත් මානෙල් මඩ තරම් නැත.පැතිරී ඉතිරී තිබෙන මඩවලට වඩා මානෙල් ලස්සනයි නේද?”

අන්තිමට මස්ඉඹුල මේ මහා ග්‍රන්ථ ද්විත්වයේ ඔහු කැමතිම කවිය තෝරා ගෙන කීවේය.කවිය පඳ බැඳ තිබුණේ කිවිවර ලාල් හෑගොඩය.ඔහු කැමරාවේ බොත්තම ද කවි මත ඔබන කවියම ආත්මය කර ගත් මිනිසෙක්ය.කවියෙක්ය.දහසක් එක වචන දෙක තුනකට ගෙන එන්නට සමත් දෘශ්ඨීවාදී කවියෙක් වන ලාල් කියන්නේ නන්දා ට කවි ලියන්නට පොහොසත් නැති බවය.ඒ නිසා ඔහු මහා කඳු මුදුනක් මුදුනට නැඟ නන්දා අක්කේ යැයි කෑ ගසයි.

ඒ කවිය ගැන එතනින් එහාට මා නොකියමි.විසල් කඳු මුදුණකට නැඟ ඔබ එසේ කෑ ගසා බැලිය යුතු බව හෑගොඩ කවියා වෙනුවෙන් මම යෝජනා කරමි; තව තවත් ගයන්නට තව තවත් ලියන්නට අනුරගේ පිඳුම සහ පුදන්නට කවිමල් පොකුරු එකතු කර ගත් මහා පිරිවර ද පුදන ආදරය සහ ලෙංගතුකම නන්දා අක්කාටත් සුනිල් සර්ටත් ශක්තියක්ම වේවා යන්න lankanewsweb.net හී එක මිටට ගොනු වුණු සොඳුරු හැඟුමය පැතුමය.
මෙවැනි සත් කාර්යන් අච්චු ගැස්සෙන අච්චුවම වී සිටින ආදරණිය සහෘදයා සුරස හිමි ප්‍රේම් දිසානායකයන්ගේ ප්‍රේමයද මෙහිදී හැර යා නොහැකිය.ඒ මුද්‍රණද්වාරයෙන් පැමිණි ලන්ඩන් කවි නොවන්නට අපට මඩ වලත්,මානෙල් මලුත් දැක ගන්නට ලැබෙන්නේ නැත.




