සෑම වසරකම ලෝක ළමා දිනය, කාන්තා දිනය සමරමින් මයික්‍රෆෝන අතට ගෙන පාලකයෝ මව්වරු, දරුවන් හා කාන්තාවන් ගැන කතා කරත් ඔවුන් කියන දේවල් කවදාවත් සිදු නොවූ බවත් එසේ සිදු වූවා නම් අද මේ රටේ කාන්තාව සිටිය යුත්තේ මීට වඩා හොඳ තැනක බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කාන්තාවන් ගැන වේදිකා උඩ නැගගෙන මහලොකුවට කතා කළත් රටේ දැඩි අවධානාත්මක පාර්ශ්වයන් ද්විත්වයක් වන කාන්තාව සහ දරුවන් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය තුළ කිසිදු සදහනක් නොමැති බවත් මොවුන් ගැන සුවිශේෂී සැළකිල්ලක් දක්වමින් සමගි ජන බලවේග රජයක් තුළ ළමා, කාන්තා, මව්වරුන්ගේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් බවට පත් කරන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නිවසේදී මහමගදී වැඩබිමේදී කාන්තාව නිරන්තරයෙන් පීඩනයට ලක් වන බවත් මේ ගැන කතා කරන්න බොහෝ දෙනකු බිය වී ඇති බවත් 52%ක් කාන්තාවන් සිටියත් අදටත් ඇත්තේ පුරුෂ කේන්ද්‍රීය සමාජයක් බවත් මෙය වෙනස් විය යුතු බැවින් සමගි ජන බලවේග රජයක් තුළ දරුවන්ගේ, කාන්තාවන්ගේ හා මව්වරුන්ගේ අයිතීන් සුරකින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා (14) අතුරුගිරිය සර්වෝදය ශාලාවේ දී කඩුවෙළ ප්‍රදේශයේ පාසල් ළමුන් උදෙසා පාසල් බෑග්, කෑම පෙට්ටි සහ වතුර බෝතල් ආදී රුපියල් ලක්ෂ 14කට ආසන්න පාසල් උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
පාසල් සිසුන්ට නිල ඇඳුම් හා දිවා ආහාර ලබා දීමේ වැඩසටහන් ද්විත්වය ක්‍රියාත්මක වුවත් මේ වන විට ක්‍රියාත්මක වන්නේ නිල ඇඳුම් නොමිලේ ලබා දීම වුවත් සමගි ජන බලවේග රජයක් තුළ රජයේ පාසල් 10126ම දූදරුවන් 41 ලක්ෂයට පෝෂ්‍යදායී ආහාර වේල ලබා දීමේ වැඩසටහන ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඡන්දෙ කාලෙට බෙදනවා කියලා මේ වැඩසටහන් අඩපණ කරන්න එපා
මෙරට පාසල් අධ්‍යාපනය තුළ සිදු කිරීමට නියමිත වෙනස මුල් ළමා වියේ සිටම සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඡන්දෙ කාලෙට බෙදන යෝජනා කියා මේවා විකෘති කරන්න උත්සාහ කළත් මේ හැම වැඩසටහනකම විද්‍යාත්මක හේතු කාරණා ගැබ්ව ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
වැඩක් නොකර කාන්තා අයිතිය ගැන වේදිකාවල කෑ ගැහුවට වැඩක් නෑ.
ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තා අනුව 5ත් 18ත් අතර දරුවන්ගෙන් 25%ක් අඩුබර දරුවන් බවත් දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න මේ සංඛ්‍යා ලේඛන ප්‍රමාණවත් බවත් පාලකයා මානුෂීය හදවතක් ඇති අයකු විය යුතු බවත් දරු පරපුර ළදරු පරපුර මව්වරු, කාන්තාව පිළිබඳ සම්මන්ත්‍රණවල වේදිකාවල ජාත්‍යන්තර සමුළුවල පුරසාරම් දෙඩීමෙන් පළක් නොවන බවත් තමන් නායකත්වය දෙන තමන්ගේම රටේ මව් පරපුරේ දරු පරපුරේ හදවතට ගතට දැනෙන ආකාරයට වේදිකාවල කියන දේවල් යථාර්ථයක් බවට පත් කරන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
හොඳම දේ දරුවන්ට කියලා රජය මන්දපෝෂණය ප්‍රවර්ධනය කරනවා
රජය හොඳම දරුවන්ට කිව්වට රජය කරන වැඩවලින් ළමා මන්දපෝෂණය හා මාතෘ මන්දපෝෂණය ප්‍රවර්ධනය වී ඇති බවත් මෙය පාලනය කිරීම අපගේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
ආණ්ඩුවේ ඩිජිටල් විප්ලවය පුරසාරමක් විතරයි
ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සෑම විටම ඩිජිටල් ආර්ථිකය හා ඩිජිටල් විප්ලවයක් ක්‍රියාත්මක කරනවා කියා පුරසාරම් දෙඩන නමුත් ඔවුන් මෙරට විෂය නිර්දේශය තුළ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය අනිවාර්ය කර නොමැති බවත් තොරතුරු තාක්ෂණය උගන්වන්නේ මව් භාෂාවෙන් 6 සිට 13 දක්වා පමණක් බවත් එය 1 වසරේ සිට අනිවාර්ය විෂයක් ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීමේ අයිතිය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
RN

