සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් අල් සෞද් කුමරුගේ ශ්‍රී ලංකා නිල සංචාරය පිළිබඳ නිවේදනය

Date:

මෙරට සංචාරයක නිරත සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා අල් සෞද් කුමරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අතර අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් 2022 මාර්තු 14 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීය.

සෞදි විදේශ අමාත්‍යවරයා පිළිගත් අමාත්‍ය පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකා – සෞදි අරාබි ද්විපාර්ශ්වික සබඳතා ප්‍රතිඵල මත පදනම් වූ බහුවිධ හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ පවත්නා දැඩි උද්‍යෝගය පිළිබඳව සඳහන් කළේ ය.

වත්මන් ගෝලීය සන්දර්භය තුළ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත්පත් කරගැනීම සඳහා ද්විපාර්ශ්වික උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර රාශියක් සම්බන්ධයෙන් ශක්තිමත් සබඳතා පැවැත්වීමට අමාත්‍යවරුන් දෙදෙනා මෙහිදී සිය එකඟත්වය පළ කළහ.

විශේෂයෙන්ම ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ දී සෞදි අරාබිය ශ්‍රී ලංකාව වෙත පළ කළ දැඩි සහයෝගය සහ අනුගමනය කළ සංවේදී ප්‍රවේශය, අමාත්‍ය පීරිස් මැතිතුමාගේ ඇගයුමට ලක්විය.

කොළඹ වරාය, හම්බන්තොට වරාය, හම්බන්තොට විශේෂිත ඖෂධ කලාප, අලුතින් හඳුනාගත් තොරතුරු තාක්ෂණ උද්‍යාන, මඩකලපුවේ ඇඟළුම්/රෙදිපිළි කලාපය සම්බන්ධයෙන් සෞදි ආයෝජන දිරිමත් කළ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා, සෞදි අරාබියේ රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන් සඳහා පවත්නා ඉහළ රැකියා අවස්ථා පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළේ ය. 

සංවර්ධන සහයෝගීතාව ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයේ වැදගත් අංගයක් බව සඳහන් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකාවට යටිතල පහසුකම් සංවර්ධන සහය ලබා දීම සම්බන්ධයෙන් සෞදි අරාබිය වෙත ශ්‍රී ලංකාවේ ප්‍රසාදය පළ කළේ ය.

මේ වන විට දෙරට අතර පවත්නා ඉහළ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබි රජය සතු කැපවීම පිළිබඳව නැවත අවධාරණය කළ සෞදි විදේශ අමාත්‍යවරයා, ආර්ථික සහයෝගීතාව පිළිබඳව වැඩිදුර අවධාරණය කළේ ය.තවද,  වර්තමානයේ දී තෙල් මත යැපෙන සෞදි අරාබි ආර්ථිකය, ‘සෞදි අරාබිය 2030’ නමැති දැක්ම අනුව මැද පෙරදිග කලාපයේ ඩිජිටල් ආර්ථිකයක් දක්වා පරිවර්තනය කිරීම සඳහා කටයුතු කරන බව එතුමා අවධාරණය කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මෙම හමුව සඳහා කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, විදේශ කටයුතු ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා අල් සෞද් කුමරු, ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල්නසර් බින් හුසෙයින් අල්- හර්ති මැතිතුමා, විදේශ අමාත්‍යවරයාගේ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අබ්දුල්රහ්මාන් අර්කාන් අයි. අල්ඩාවුඩ් මහතා, දෙවැනි ලේකම් ටායිෆ් අබ්දුල්ඛලීක් සහ දේශපාලනික කටයුතු භාර නිලධාරී අෆ්නන් ෆහාඩ් ඒ. අල්හුමයිදාන් සමඟ මෙම හමුවට සහභාගී විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මාර්තු 14 වැනි දින 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...