*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ ආර්ථික ගිලන් හා ඔත්පල බව හා බැසිල් ගේ පැරසිටමෝල් සහනය

වර්තමානයේ පවතින මූල්‍ය අර්බුදයට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පැරසිටමෝල් සහනයක් වත් ලබා දෙනු ඇතැයි ආණ්ඩුව කෙරෙහි අතිශය භක්තිමත් “බයියන්” යන උපහාසාත්මක නමින් හැඳින්වෙන ජනතාව සිතති .ඒ සාමාන්‍ය උණ හිසරදය සඳහා භාවිතා කරන පැරසිටමෝල් පවා බරපතල හිඟයක් පවතින පසුබිමක ය.එමෙන්ම කෙමෙන් නිදන් ගත රෝගයක් බවට පත් වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථික ගිලන් හා ඔත්පල බව පැරසිටමෝල් වලින් සුව කිරීමට නොහැකි වනු ඇත.

අද රටේ ආර්ථිකය කෙබඳු තත්ත්වයක පවතින්නේදැයි කිසිවෙකුටත් කිව නොහැක. දිනෙන් දින වෙනස් වන භාණ්ඩ මිල හමුවේ අනාගතය කෙබඳුවේදැයි පූර්වකථනය කිරීමට කිසිවෙකුටත් අවස්ථාවක් නැත. ලෝකයේ “තවත් එක් බංකොලොත් රාජ්‍යයක්” බවට ශ්‍රී ලංකාව පත්වී හමාර ය. දැන් ඇත්තේ ලෝක ශ්‍රේණි ගත කිරීම්වලින් පහතට වැටීම පමණකි.දිනපතා කුමන හෝ භාණ්ඩයක මිල ඉහළ යාම සාමාන්‍ය තත්වයක් බවට පත්වෙමින් තිබේ. කිසිදු භාණ්ඩයක මිල පාලනයක් නැත.

ව්‍යාපාරිකයන් සිතූ සිතූ මිලට ගණන් ඉහළ දමමින් සිටිති. ඉකුත් සතියේ ඉන්ධන මිල ඉතිහාසයේ ප්‍රථම වරට විශාල මුදලකින් ඉහළ දැමුවේය. ඩීසල් හා පෙට්‍රල් මිල ඉහළ යද්දී අනෙකුත් භාණ්ඩ හා සේවා සියල්ලකගේම මිල යයි.අතීතයේ භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියේ ඔරලෝසුවක පැය කටුව ගාණට ය.මෑත කාලීනව එය විනාඩි කටුවේ වේගයට අනුවර්තනය විය.දැන් රටේ බඩු මිල ඉහළ යන්නේ තත්පර කටුවේ වේගයෙනි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල සිට අනෙකුත් සෑම භාණ්ඩයකම මිල මේ වන විට ඉහළ ගොස් තිබේ. අනෙක් පසින් බස් ගාස්තු ඇතුළු සේවාවන් සියල්ලකගේම මිල ඉහළ යන්නේය. ඉතිහාසයේ ප්‍රථම වරට පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා ගියේ ය. රුපියල් 3.50 ට පාන් දෙන බව කියා ඡන්දය ගත් යුගයක් ද ඉතිහාසයේ තිබුණි. ඒ පාන් ගෙඩියක මිල රුපියල් 5.00 වීම හේතුකොට ගෙනය.

සහල්, එළවළු මිල ගණන් ද අතිශය ඉහළ අගයක පවතියි. දකුණු ආසියාවේ විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව ලංකාවේ විවෘත වෙද්දී සිමෙන්ති මිලට රුපියල් 1850 දක්වා ඉහළ ගියේය. බස් ගාස්තු ද අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට නියමිත ය. ත්‍රිරෝද රථ ද සිතූ සිතූ මිලට ගාස්තු ඉහළ දමා තිබේ. පිරිසක් පළමු ගාස්තුව රුපියල් 80 ත් දෙවන ගාස්තුවේ සිට රුපියල් 60 බැගින් අය කරද්දී තවත් පිරිසක් 70 ත් 60 ත් ලෙස ගාස්තු අය කරයි.නමුත් ඔවුන් කියන්නේ පළමු ගාස්තුව සියයක් දක්වා ඉහළ දැමිය යුතු බකි.

සියලූම භාණ්ඩ හා සේවා ගාස්තු ඉහළ යද්දී ජනතාවගේ ආදායම් මාර්ග පමණක් එක තැන නතර වී තිබේ. මේ ගැටළුව එන්නේ මාසික වැටුප් ලබන්නන්ට පමණකි. අනෙක් පාර්ශව තමන්ගේ භාණ්ඩ හා සේවා මිල ඉන්ධන මිලට සාපේක්ෂව ඉහළ දැමුව ද මාසික වැටුප එසේ ඉහළ යන්නේ නැත. ඩොලර් අර්බුදය හේතුකොට ගෙන එක පැත්තකින් මිල ඉහළ යද්දී අනෙක් පැත්තෙන් ලෝක ආර්ථික අර්බුදය හමුවේ මිල ඉහළ යමින් තිබේ.

ලංකාවේ පවතින ගැටළුවට මූලික හේතුව ආර්ථික කළමනාකරණයේ දුර්වලතාවයන් ය. 2020 වර්ෂයේ මුළු ලෝකයම කොවිඩ් වසංගතයෙන් වෙළී යද්දී ලෝක වෙළෙද පොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 40 දක්වා පහත බැස්සේය. නමුත් ලංකාවේ ජනතාවට තෙල් මිල අඩු වීමේ වාසිය ලබා දුන්නේ නැත. ඒ වෙනුවට ජාතිය ඇමතු ජනාධිපතිවරයා කියා සිටියේ සැමන් සහ පරිප්පු මිල ඒ වෙනුවෙන් අඩු කරන බවකි. ඊට අමතරව ඉන්ධන මිල වැඩිවන අවස්ථාවේදී එය දරා ගැනීම වෙනුවෙන් මිල ස්ථායි අරමුදලක් පිහිටුවන බවද කීවේය. නමුත් ඒවා හුදු කතා බහට පමණක් සීමා විය. මිල ස්ථායි අරමුදලට වූ දෙයක් නැත. ලෝක වෙළෙද පොලේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය රටේ ජනතාවට එදා දුන්නේ නම් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 200 ට වඩා අඩුවෙන් තබා ගැනීමට තිබූ බව ආර්ථික විශේෂඥයෝ පවසති.

මුළු ලෝකයම කොවිඩ් එන්නත් ඇණවුම් කරද්දී ලංකාව “පැණිය”ක් පස්සෙන් දිව්වා මිස එන්නත් ඇණවුම් කරන්නට සුදානම් වූවේ නැත. එම නිසා අපට එන්නත් ඇණවුම් කරන්නට සිදු වූවේ එන්නත් මිල ඉහළ ගියාට පසුව ය. බංග්ලාදේශය සයිනොෆාම් එන්නත ඩොලර් 10ට ගනිද්දී අපට ගැනීමට සිදුවූයේ ඩොලර් 15 ත් 17 ත් යන මිල ගණන්වලට ය.

නිසි වේලාවට නිසි තීන්දු නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස විශාල ඩොලර් ප්‍රමාණයක් එම අවස්ථාවේ නාස්ති වී ගියේය. ඩොලර් අර්බුදයට විසදුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ගැනීම බව රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂ කණ්ඩායම් පුන පුනාම කියද්දී ආණ්ඩුව එය හාස්‍යයට ලක් කළේය. නමුත් දැන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලමින් සිටියි.

මීට මාස හයකට පෙර ඩොලරයේ අගය ඉහළ දැමීමමට වාණිජ බැංකු කටයුතු කළේය. එහිදි වහාම මැදිහත් වූ මහ බැංකුව ඩොලරයේ අගය රුපියල් 202 ක මටට්මේ තබා ගැනීමට බැංකුවලට නියෝග කළේය. එම හේතුව මත විදේශ ශ්‍රමිකයන් බැංකු හරහා මෙරටට මුදල් එවීම නතර කර දැමූවේය. ඒ වෙනුවට විදේශ ශ්‍රමිකයෝ නීත්‍යානුකූල නොවන උන්ඩියල් හා හවාලා යන ක්‍රම හරහා රටට හොරෙන් මෙරටට මුදල් එවීමට කටයුතු කළහ. එම නිසා ඩොලර් ලංකාවට අවේ නැත.

අවසානයේ ඩොලර් හිඟයකට රට මුහුණ දුන්නේය. ඩොලරය පා වෙන්නට ඉඩ නොදී සිරකර තබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඩොලරයේ අගය රුපියල් 260 ත් 280 ත් දක්වා ඉහළ ගියේය. මේ සියළු කාරණා හමුවේ ජනතාව මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරමින් සිටිති. එහෙත් ඔවුන් සොයන විකල්පය සමාජයේ මෙතෙක් සොයා ගත නොහැකිව සිටින බවක් පෙනෙන්නට තිබේ.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ නායකයා මගේ ආදරණීය,සදාදරණීය දිවංගත ශ්‍රීමත් ආදී වචන යොදමින් මළවුන්ගේ පහනින් එළිය බලනු පිණිස සෑම විටම තම පියාගේ ගුණ ගැයීම හේතු කොට ගෙන ජනතා විශ්වාසය පළුදු වී තිබේ.රටක පාලනය පියාගෙන් පුතාට යන සංකල්පය වැඩවසම් සංකල්පයකි. එසේම ඔහු දේශපාලන වේදිකාවේ කරන කියන සමහර කතා බැලූ විට දේශපාලන විහිළුකරුවෙකුගේ චරිතයක් නිරූපනය කරති.

ජනතා විමුක්ති පෙරමුණ ගැන ජනතා ආකර්ෂණයක් තිබේ. එහෙත් ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය දූෂණය අක්‍රමිකතා නතර කිරීම යන්න වීම මතද ජනතාව ඔවුන් සම්බන්ධයෙන් යම් පසුගාමි තත්ත්වයක සිටින බව පැහැදිලි ය. ජනතා විමුක්ති පෙරමුණ තවමත් මෙම ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම ගැන ජනතාවට විශ්වාසය ගෙනෙන වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නැත.දේශීය ආර්ථිකය නම් වතුර ටැංකියේ හිල් වසා දැමීම හොඳ දෙයකි.එහෙත් ඊට අලුතින් වතුර පුරවන විදිහක් ද කියා දිය යුතුය.නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් ගන්නා දේශපාලන උපාය මාර්ග ගැන කියා නැත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දුර දකින පැහැදිලි ආර්ථික දැක්මක් සහිතව කතා කරන පුද්ගලයෙකි. එහෙත් ළග දකින ජනතාවකට දුර දකින නායකයෙකු කියන දේ “මංඥං” සේ වටහා ගන්නා බවක් පෙනෙන්ට තිබේ. මෙම නිසා ජනතාව පෙරට එන බවක් දක්නට නැත. කුමන විරෝධතා විපක්ෂය විසින් පැවැත්වුවත් ජනතාව සොයන විකල්පය ඔවුන් සතුව ඇතැයි විශ්වාසයක් තවමත් ගොඩ නැඟී නැත. හොඳම විකල්පය ඉදිරිපත් කොට එකමුතු වූ විපක්ෂයකින් පමණක් මේ බලය පෙරලා දැමිය හැකිය. එහෙත් කොටස් ගණනාවකට වෙන්ව සිටින වර්තමාන විපක්ෂය තුළින් බලය පෙරළා දැමීමක් අපේක්ෂා කළ නොහැකි ය.

විනිවිද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan