ශ්‍රී ලාංකේය ගේය පද රචනාවේ වෙසෙස් සළකුණක් වූ ඔගස්ටස් විනයාගරත්නම් ගේය පද රචකයෙකු, චිත්‍රපට තිර පිටපත් රචකයෙකු, මහාභාණ්ඩාගාරයේ භාෂා පරිවර්තකයෙකු ලෙස මෙන්ම ශ්‍රී ලංකා පුවත්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරී සේවයේ නියුතුව සිටි සම්මානිත නිර්මාණවේදියෙකු වේ. අද(24) දිනට එතුමන්ගේ 38වන ගුණ සමරුව දී තිබේ.
1936 මැයි මස 03 වන දින පානදුරයේදී උපත ලබන ඔගස්ටස් විනයාගරත්නම් මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, ශාන්ත සෙබස්තියන් විද්‍යාලය හා පානදුර ශාන්ත ජොන් විද්‍යාලයෙන් සිය මුලික අධ්‍යාපනය නිම කරනු ලැබිය. පාසල් වියේ සිටම ලේඛණ කලාව ප්‍රකට කළ ඔහු ‘දිනදින’ හා ‘ජනතා’ පුවත්පත් සඳහා නිර්මාණ සපයන්නට විය. ‘ජනතා’ පුවත්පත හරහා ඇරඹි ගමන ශ්‍රී ලංකා පුවත්පත් සඟරාවේ සංස්කාරකවරයා දක්වාම ඉදිරියට යාමට ඔහු කුසලතා සම්පන්න විය. ඔහු උපතින් ද්‍රවිඩ ජනවර්ගයට අයත් වූ නමුත්, සිංහල ජන සමාජයේ හැඳීවැඩී මනුෂ්‍යත්වයට ආදරය කළ අපූරු චරිතයක් විය.
පුවත්පත් කලාවෙන් ගීත රචනයට ප්‍රවිශ්ට වන ඔගස්ටස් විනයාගරත්නම් සුගතපාලද සිල්වාගේ ‘සමනල්ලු’ චිත්‍රපටයටත්, තිස්ස අබේසේකරයන්ගේ ‘කණාමැදිරියෝ’’ චිත්‍රපටයටත් ගීත රචනාවෙන් දායක වූ නමුත් අවාසනාවකට මෙම චිත්‍රපට දෙකම විකාශනය නොවීය.
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හුවා..
චමත්කාරයේ රන් රේඛා
අප සැලෙන හදින් දුටුවා..
ඔබ රුව චායා.. සැඟවේ පායා….
ඉන් අනතුරුව චිත්‍රපට කලා ඉතිහාසයට සංදිස්ථාන එක් කළ චිත්‍රපට ගීත ගණනාවක්ම ඔගස්ටස් විනයාගරත්නම් අතින් රචනා විය.ගඟ අද්දර, හිම කතර, අහසින් පොළවට ,පැංචා ,කලන මිතුරෝ, සීතාදේවී, මංගලා, හිතුවොත් හිතුවාමයි, ඉන්දුට මල් මිටක්, ලසඳා ආදී චිත්‍රපට මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.
ඔගස්ටස් විනයාගරත්නම් 1983 වසරේදී ගඟ අද්දර චිත්‍රපටයේ එන ‘රන් ටිකිරි සිනා’ ගීතය වෙනුවෙන් ඔහු ජනාධිපති හා සරසවි සම්මානයට පාත්‍ර වූ අතර 1985 වසරේදී ‘හිමකතර’ චිත්‍රපටය වෙනුවෙන් රචනා කළ ‘වැස්ස වහින්නා’ යන ගීතය වෙනුවෙන්ද ඔහු ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.
ඔගස්ටස් විචිත්‍ර රමණීය භාෂාවක් යොදාගෙන ලියන ලද ප්‍රේම ගීවල ඇත්තෙන්ම කවියෙකුට එහා ගිය කවි කල්පනා දක්නට ලැබේ.
එනම්, ‘අහසින් පොළවට’ සිනමා නිර්මාණය මෙරට ආර්ථික පෙරළියක් ඇතිවන අවධියේ ජන සමාජගත වූ නිර්මාණයක් විය. මධ්‍යම පාන්තික පවුල් කීපයක් පුරා අපූරු කතා සම්ප්‍රදායක් ඒ තුළ දිවයන අතර ‘උපුල් නුවන් විදහා’ ගීතය හරහා ඔගස්ටස් සමස්ත කතාවම රූප රාමු පෙළකට ගෙන ඒමට සමත්ය.
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා …..
ගීතයේ තිබූ ශක්‍යතාවය හඳුනාගත් නිමල් මෙන්ඩිස් නම් අග්‍රගන්‍ය සංගීතවේදියා මනහර තනුවක් මඟින් එය පරිසමාප්ත කලා කෘතියක් බවට පත් කරනු ලැබීය.
ගීත රචකයෙකුට අමතරව තිර රචකයෙකු ලෙසද ඉහළ කුසලතා පෙන්වූ ඔගස්ටස් විනයාගරත්නම් ‘හිතුවොත් හිතුවමයි’ හා ‘ඉන්දුට මල් මිටක්’ යන චිත්‍රපටවල තිර රචනයද සිදු කරනු ලැබිය.
‘සීතාදේවී’ චිත්‍රපටයේ ‘නිමි හිමි සෙව්වා මා සසරේ’ ගීතය තුළද දක්නට ලැබේ. චිත්‍රපටයේ රූපාවලිය අරුත්ගන්වන වචන ඔහුගේ ඔහුගේ නිර්මාණාත්මක භාෂාවෙහි ජීව ගුණය රැක ගැනීමට සමත්ය.ඔගස්ටස් නිරාගමික වූ නමුත් බෞද්ධ දර්ශනයේ එන අතිශය සංකීර්ණ ධර්ම කරුණක් වන චතුරාර්ය සත්‍ය පිළිබඳ කියවීමක් ‘නිම් හිම් සෙව්වා’ ගීතය හරහා ඉදිරිපත් කිරීමට එතුමා උත්සුක වූ බව විචාරක පිළිගැනීම වේ.
දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළයගින් සනහා අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැව් දීලා
ඔබ මා නෙතගේ රැදුනා
නිම් හිම් සෙව්වා මා සසරේ…..
නිර්මාණකරුවකු කෙතරම් හෘද සංවේදී දැයි වචනයකට ලඝු කිරීම උගහටය. 1950 වර්ශයේ ‘එකලොස් ගින්න’ මෙන්ම 1960 වර්ෂයේ ‘පිපාසිතයෝ’ නමින් කෙටිකතා නිර්මාණ දෙකක් ප්‍රකාශයට පත් කිරීමට ඔහු සමත් විය. ඔගස්ටස් තමන්ගේ ‘එකොළොස් ගින්න’ පොතට නම යොදාගනු ලැබුවේ පොදු මානුෂීය ගුණාංග කැටිකරගත් නමක් වශයෙනි. ‘එකොළොස් ගින්න’ යන නම ඔහු යොදාගත්තේ බෞද්ධ සංකල්පයකට අනුව රාග, ද්වේශ මෝහ වැනි ගිනි එකොළහකින් මිනිසා දැවෙනවා යන පොදු ධර්මතාව අනුවය.
මනුෂ්‍ය ජීවිතය ගෙවන්නේත් තමන්ගේ පිපාසාව සන්සිඳුවා ගැනීමටය යන ධර්මතාවය පදනම්ව ‘පිපාසිතයෝ’ යන නම ඔහු සිය දෙවන කෙටිකතා නිර්මාණයට යොදාගනු ලැබීය.
එමෙන්ම ‘සෙව්වන්දි’ නම්න් කාව්‍ය නිර්මාණයක් එළිදැක්වීමටද ඔගස්ටස් විනයාගරත්නම් සමත් වූ අතර ඒ වෙනුවෙන් නිසි පිළිගැනීමක් නොලැබුණමුත් විදේශ පොතපත කියවීමෙන් ලත් ආභාෂය මෙන්ම නව්‍ය භාෂා ලක්ෂණ ඒ තුළ විය.
සුගතපාල ද සිල්වා, සුනන්ද මහේන්ද්‍ර, නාමෙල් වීරමුණි, රැලෙක්ස් වැනි අය එක් වූ 60′ දශකයේ ‘අපේ කට්ටිය’ අතර ඕගස්ටස්ද ප්‍රභල චරිතයක් විය. සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ව්‍යුක්තව වෙනත් මඟක් සොයා ගිය ඔගස්ටස් අරුත්බර සම්මතයක් වෙනුවෙන් සිතිවිලි මෙහෙය වන්නකි විය. ඔවුන් සාහිත්‍ය කලාවේත්, සිනමාවේත් සහ විචාරයේදීත් ප්‍රබල නියෝජනයක් සිදු කරනු ලැබීය.
බටහිර සාහිත්‍යයේ සංස්කෘතිය නව චින්තනයන් හඳුනාගැනීමට මෙම නවක තරුණ කණ්ඩායම වන ‘අපේ කට්ටිය’නිරන්තරයෙන් උත්සුක විය. මේ සඳහා ඔවුන්ට බලපෑවේ විශේෂයෙන්ම ප්‍රංශයේ ජෝන් පෝල් ශාත්‍රේ, කොලින් විල්සන්ගේ සහ ඇල්බෙයා කැමූගේ සාහිත්‍යයි. මීට සමාන්තරව එංගලන්තයේ බිහිවුණු තරුණ රැඩිකල් තරුණයන්ගේ ප්‍රධානියා වුණු ජෝන් ඔස්බෝන්ගේ ‘ලුක් බැක් ඉන් ඇන්ගර්’ නාට්‍ය වැනි සාහිත්‍ය කෘතීන් ද ‘අපේ කට්ටිය’ තරුණ චින්තනයට බලපාන්නට විය.
මා එදා…..
විදෙස් සාහිත්‍ය කියවීමෙන් ලිවීමෙන් ලත් අභාෂයෙන් ඔවුන් ඒ හරහා නව ඉසව් සොයා යන්නට විය. ලෝකය වඩා යහපත් තැනක් බවට පත් කර ගැනීමට සිය නිර්මාණ මෙහෙයවන්නට විය. ද්වි භාෂා දැනුම, කියවීම මඟින් මොවුන් කලා සංස්කෘතික ලෝකයේ පෙරළියක් කිරීමට නිරන්තරව උත්සහ දැරීය.
1986 වසරේ මාර්තු 24වන දා 48 හැවිරිදි වියේදී අකලට මෙලොවින් සමුගන්නා තුරු ඔගස්ටස් අතින් ලියන්වුණු ගීතාවලිය 50කත අධික එනමුත් ඒවා පිටපත් නොවීම සංරක්ෂණය නොවීම ආදිය හේතුවෙන් ඉතිරිව ඇත්තේ නිර්මාණ කිහිපයක් පමණි.
කෙසේ නමුත්, ශ්‍රී ලාංකීය චිත්‍රපට වංශකතාවේ එක් යුගයක් තුළ අමරණිය සිහිවටන ශේෂ කළ සුන්දර මිනිසෙකු නිර්මානවෙදියෙකු පිලිබඳ අල්ප මාත්‍ර කියවීමකි මේ, ඉදින් ඔහුගේ ජීව ආත්මය කොතැනක හෝ ඇත්නම් ඔහු ප්‍රර්ථනා කළ නිවීම සැනසීම ලැබේවා යැයි ප්‍රර්ථනා කරමු !
රන් ටිකිරි සිනා
ලංවී ඇත අල්ලාගෙන ඇස් දැල්වූවා…