සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 26, කොළඹ (LNW): ටොරොන්ටෝ ජන හමුවේදී එයට සහභාගී වූ විශාල පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉදිරි ගමන පිළිබඳ විමසා ඉදිරිපත් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ඔහු විසින් පිළිතුරු ලබා දෙනු ලැබීය.
ඒ අනුව ඔහු ලබාදුන් පිළිතුරු පහතින් දැක්වේ.
කැනඩාවේ කැබිනට් මණ්ඩලයේ 50%ක් කාන්තාවන් නියෝජනය සිදුවෙනවා. ජාතික ජන බලවේගය පාලනයේදී කාන්තාවන්ගේ නියෝජනය ගැන අදහස කුමක්ද?
අපි ගොඩක් කැමතියි කාන්තාවන්ට අවස්ථාවක් ලබාදීමට. අපිට පාර්ලිමේන්තු මන්ත්‍රී තුනක් ලැබුණු වෙලාවේ ජාතික ලැයිස්තුවෙන් ලැබුණේ එක මන්ත්‍රී ධුරයයි. ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ අත්දැකීම් තිබූ, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, ලාල් කාන්ත ආදී පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයට විශාල ලෙස දායක වුණු අය සිටියදී අපට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරිනි සහෝදරියට බාරදෙන්න තීරණය කළා.
අපේ පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට කාන්තාවන් වැඩිපුර නියෝජනයක් ලබාදෙන්න අපි කැමතියි. මේ දිනවල අපි කාන්තා සමුළු පවත්වාගෙන යන්නෙත් අපට නව කාන්තා නායිකාවන් අවශ්‍ය නිසා. කැබිනට් මණ්ඩලයේ කාන්තාවන් අඩුවුණොත් අඩුවෙන්නේ අපේ කැමැත්ත නිසා නොවෙයි. අපට ඒ සඳහා සුදුසු හැකියාවන් සහිත සහෝදරියන්, නායිකාවන් නොමැති නිසා ඒ අය ගොඩනැගෙන ප්‍රමාණයට අපි අපේ රටේ දේශපාලනය පමණක් නොවෙයි, සෑම දිසාවකම කාන්තාවන්ගේ දායකත්වය ලැබිය යුතුයි කියා අපි විශ්වාස කරනවා. ඒ කාර්යයට සරිලන සහෝදරියන් ප්‍රමාණයක් අපිට ගොඩනගා ගැනීමට හැකිවේද යන සාධකය මත මිසක් අපේ කැමැත්ත හෝ අකමැත්ත මත නෙමෙයි. මුළුමනින්ම කැමතියි අපේ පාර්ලිමේන්තුවේ හා කැබිනට් මණ්ඩලය කාන්තාවන්ගෙන් නියෝජනයක් සිදුවෙනවා දැකීමට.
නීතිය හා සාමයත් පුද්ගලයන්ගේ ආරක්ෂාවත් තහවුරු කරන්නේ කෙසේද?
අපේ දරුවන් සුන්දර දරුවන්. අයුක්තියට විරුද්ධ දරුවන්. ඇයි කස්ටම් එකේදි වෙනස් වෙන්නේ. ඇයි පොලීසියේදි වෙනස් වෙන්නේ. මේක තනි තනි පුද්ගලයන්ගේ අපරාධයක් නොවෙයි. අපේ සිස්ටම් එකම දූෂිතභාවයට අනුබල දෙන සිස්ටම් එකක්. මිනිස්සු උපතේදි කවුරුවත් නකර නැහැ. මේ හිස් කළයක් වගේ මනස පුරවන්නේ අවට සමාජය. ඒව මෙහෙයවන ආණ්ඩු. ඇමතිවරයාට හොරකමක් කරන්න බැහැ ලේකම්වරයාට නොදැනී. ලේකම්වරයා අතේ මුදල් බලය තිබෙන්නේ. ඇමතිවරයා කරන වැඩේ ලේකම්වරයාත්, ලේකම්වරයා කරන වැඩේ අතිරේක ලේකම්වරයාත් වශයෙන් ධුරාවලියේ පහළට සම්බන්ධතා තිබෙන සියල්ලන්ම සිදුවෙන ක්‍රියාකරකම් දන්නවා. මේ හොරකම දේහයක් හැටියට පැතිරිලා තිබෙනවා. මේ තත්වය නැති කිරීමට දේශපාලන අධිකාරිය ආදර්ශයෙන් සහ මැදිහත්වීමෙන් අදූෂිතභාවය ඔප්පු කරන්න ඕනෑ.
ඒ වගේම පොලීසිය හමුදා හැසිරෙන්නේ ආණ්ඩුව හිතන එක දෙස බැලීමෙන්. පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි සීනියර් ඩී.අයි.ජී. රවී සෙනෙවිරත්න මහතා ඇතුළු කණ්ඩායම ඉතා සද්භාවයෙන් පරීක්ෂණය කරමින් ගියා. ආණ්ඩු මාරු වුණා. ගෝඨාභය ආවා, අර සද්භාවයෙන් පරීක්ෂණ කළ නිලධාරීන් සියලු දෙනාම මාරු කළා. එතකොට අනික් අය හිතනවා ආණ්ඩුව හිතන්නේ මෙහෙමයි. ආණ්ඩුව තමයි සංඥාව දෙන්නේ. නීතියේ විධානයේ ආධිපත්‍ය රැකීමේදී වැදගත් දේ, නීතිය, පොතපත, ව්‍යවස්ථාව නොවෙයි වැදගත්ම දේ ආණ්ඩුවේ සංඥාව. අපි කිසිවෙක් දේශපාලන බලපෑම් මත නිදහස් කරන්නේ හෝ බලපෑම් කරන්නේ නැහැ.
මන්ත්‍රී ධුර සඳහා අධ්‍යාපන සුදුසුකම බැලීමේදී අධ්‍යාපනය ලබපු අය හොඳද? සමහර ගම්බද අයට මේ ක්‍රමය විසින්ම අධ්‍යාපනය අහිමි කර තිබෙනවා. හොඳ පාසලක්, හොඳ ගුරුවරු නොමැති වීම, ගෙදර තිබුණු ආර්ථික අපහසුකම් ඒවා විසින් දරුවන්ට අධ්‍යාපනය අහිමිකර තිබෙනවා. සමාජ අසාධාරණය විසින් අධ්‍යාපනය අහිමි වුණු කෙනාට අපි දේශපාලනයත් අහිමි කිරීම සාධාරණ නැහැ. අධ්‍යාපනය නිර්ණායකයක් බවට පත්කර ගැනීම යෝග්‍ය නැහැ. පළවැනි එක අවංකභාවය. අදූෂිතභාවය, මහජනයා සහ රට කෙරෙහි කොයිකරම් බැඳීමක් තිබෙනවාද යන සාධකය තමයි ජනතා නියෝජිතයෙකු මැනිය යුතු වන්නේ. හැබැයි ආණ්ඩුවක් කිරීම සඳහා ඒ ඒ ක්ෂේත්‍රයන් පිළිබඳ නිපුණතාවයන් තිබෙන කණ්ඩායමක් අවශ්‍යයි.
ජාතික ගැටලුව විසඳීම පිළිබඳව
අපේ රටේ ජාතිවාදය යනු දේශපාලනයයි. අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ගැටුමක් තිබෙනවා. සිංහල, දෙමළ, මුසිලිම් ජනතාව සමගියෙන් සිටියා. ආවාහ විවාහ සිදුවුණා. ඒ ඒ සංස්කෘතීන් අතර බැඳීමක් තිබුණා. අපේ රටේ දේශපාලකයා සියල්ලන්ගෙන්ම අසාර්ථක වුණා. ඒ නිසා දේශපාලකයා තමන්ට ජනතාව දිනා ගැනීමට තෝරනවා ළඟම පාරක්. පාලකයා ඒ ඒ සංස්කෘතින්ගේ ආධ්‍යාත්මය කූද්දනවා. එයාට ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික වර්ධනය ගැන කතා කරන්න බැහැ. ආණ්ඩුවක් විසින් ජනතාවට කළ යුතු දේවල් ගැන කතා කරන්න බැහැ. එතකොට එයා ජාතිය, ආගම බේරා ගන්න කතා කරනවා. අවසානයේ ජනතාව කන්න නැතත් රට බේරා ගන්න ඡන්දය දෙනවා. පොදුවේ ජනතාව ජාතිවාදී නැහැ. අපේ රටේ ජාතිවාදය යනු දේශපාලනය නම් ඒයට එරෙහිව ජාතික සමගියේ දේශපාලනය තෝරා ගත යුතුයි. ජාතික ජන බලවේගය නියෝජනය කරන්නේ ජාතික සමගියේ දේශපාලනයයි.
දෙමළ, මුස්ලිම් ජනතාවට ඒ අයට අනන්‍යවූ ප්‍රශ්න තිබෙන බව අපි පිළිගත යුතුයි. ප්‍රධාන මව් භාෂා දෙකක් අපේ රටේ තිබෙනවා. පුරවැසියන්ට තමන්ගේ මව් භාෂාවෙන් ආණ්ඩුවත් සමග කටයුතු කිරීමේ අයිතිය තහවුරු වෙන්න ඕනෙ. ජාතික ජන බලවේගයේ අපි ඒ අයට තමන්ගේ මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමටත්, රාජ්‍යයත් සමග ගනුදෙනු කිරීමටත් ඇති අයිතිය තහවුරු කරනවා. ඒ වගේම දෙමළ ජනතාවට වගේම මුස්ලිම් ජනතාවට ඒ අයට අනන්‍යවූ සංස්කෘතීන් තිබෙනවා. තමන්ගේ සංස්කෘතිය අනුව ජීවත් වීමට ආරක්ෂාවත්, එම සංස්කෘතීන් ඇගයීමක් නැහැ. නීතිය, අධ්‍යාපනය, සමාජ අවබෝධයේ සංස්කෘතික අනන්‍යතාවය අපි පිළිගත යුතුයි. ඒවා අපි පිළිගත යුතු වන්නේ වෙන්වීමේ සාධකයක් හෝ අනෙකාට එරෙහිවන ලෙසට නොවෙයි. කිසියම් පුරවැසියෙකුට තමන්ගේ ආගම් ඇදහීමේ අයිතිය, තමන්ට අනාරක්ෂිත තත්වයක් තිබෙනවා යැයි බියජනක තත්වයක් ඇතිවිය යුතු නැහැ. ආගම කියන්නේ තමන්ගේ විශ්වාසය. ආගම් ඇදහීම ඔවුන්ගේ අනෙකුත් අයිතිවාසිකම් නොලැබීමේ තත්වයක් බවට පත් නොවිය යුතුයි. සංස්කෘතික අනන්‍යතාවයත්, ආගමික නිදහසත්, භාෂාවේ අයිතියත් අපි තහවුරු කළ යුතුයි. ඔවුන්ට දේශපාලනයට, ආණ්ඩු ක්‍රියාවලියට, දේශපාලන අයිතිවාසිකම්වලට සාධාරණ ලෙස ප්‍රවිෂ්ට වීමට අයිතිය තහවුරු කළ යුතුයි.
මම ඔබට ප්‍රකාශ කරනවා නැවත උතුරේ යුද්ධයක් එන්නේ නැහැ. දකුණේ චිත්‍රයක් හදන්න හදනවා උතුරේ ජනතාව දරුවන් හදන්නෙම යුද්දෙට කියලා. නමුත් උතුරේ අම්ම තාත්තා උත්සාහ කරන්නේ දරුවන්ට හොඳින් උගන්වන්න, හොඳ අනාගතයක් හදන්න. දකුණට හා සමාන ප්‍රශ්න උතුරේ තිබෙනවා. තිස් වසරක යුද්ධය විසින් උතුරේ ප්‍රශ්න තීව්‍ර කර තිබෙනවා. උතුර වෙනම කොට සලකා වේගවත් සංවර්ධන ව්‍යාපෘති ගෙනියන්න ඕනෙ, ඒ ජනතාවගේ ජීවිත නගා සිටුවන්න. උඩ දේශපාලන ප්‍රශ්නයත්, පතුලේ ජනතාවගේ ප්‍රශ්නත් සලකා අපි දෙකටම විසඳුම් සොයන්න ඕනෑ. අපි විවිධ දේශපාලන නායකයන් සමග සාකච්ඡා කරමින් ඉන්නේ. අපි ඔයාල අවුරුදු තිහක් ගහගත්තා. අවසන් ප්‍රතිඵලය මොකක්ද? අපි තව තිහක් ගහ ගන්නවාද? නැතිනම් අපි එකතු වෙලා උතුරත්, දකුණත්, නැගෙනහිරත් ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සොයනවාද? අපි ඒ සඳහා ඒ ඒ පක්ෂත් සමග සාකච්ඡා කරන්න ලැහැස්තියි.
ජනතා අපේක්ෂාවන් පිළිබඳව
අපට මිනිසුන්ගේ දුක, වේදනාව පැෂන් එකක් නොවෙයි. දරුවෙකුට දුප්පත් වුණාම අහිමි වෙන්නේ ආහාර වේල විතරක් නොවෙයි. සමාජ ගරුත්වය අහිමි වෙනවා. අධ්‍යාපනයේදී කොන්වීම, පොලීසිය, බැංකුව වැනි ආයතනවලදී කොන්වීම දුප්පත්කම කියන්නේ ආර්ථික ප්‍රශ්නයක් විතරක් නොවෙයි එය සමාජ ප්‍රශ්නයක් බවට පත්වෙනවා. දුප්පත්කම සමාජ ජීවිතයේ ගැටලුවක්. අපේ රටේ ජනතාව මොනතරම් බලාපොරොත්තු තබාගෙන ආණ්ඩු හැදුවාද? අපි දුප්පත්කම ගැන කතා කරන්නේ පැෂන් එකක් හැටියට නොවෙයි. අපට ජනතාවගේ අපේක්ෂා සහ බලාපොරොත්තු, ඔවුන්ගේ හද ගැහෙන රාවයේ තිබෙන වේදනාව, කටුකත්වය අපි අපේ දේශපාලන වේදිකාවේ තොරොම්බල් කරන සාධක නොවෙයි. දුප්පත්කම පිළිබඳ කතා කරන්නේ ඇත්තටම ජීවිතේ මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ අවබෝධයක් සමගින්. අපිට යුක්තිසහගත සාධාරණ අයිතියක් නැහැ, අපේ රටේ පුරවැසියන් කුඩා ප්‍රමාණයකින් හෝ රවට්ටන්න. ඇති දැන්. හැබැයි අවුරුද්දයි දෙකයි ඔබ බලාපොරොත්තු වෙන්නෙ. අපි මේක හදනවා. හෙටත් ඔබ ඉදිරියට ඇවිත් අපිට මේ වගේම කතා කරන්න පුළුවන්.
ඔබ පාලන බලය සඳහා වෙනත් කණ්ඩායම් සමග එකතු වෙනවාද?
කලින් ජනාධිපතිවරණය පවත්වලා පසුව මහ මැතිවරණය පවත්වනවා නම් කිසිදු සැකයක් නැහැ ‘කලා වැවේ සොරොව්ව ඇරියා වගේ’ වේවි.
මහ මැතිවරණය පැවැත්වුවොත් අපට 113ක් ලැබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. 113ට වඩා අඩුවෙන් ලැබෙනවා නම්, අපි ප්‍රමාණය මොකක්ද කියලා. ඒ කියන්නේ ජනතාව අපට ආණ්ඩුවක් දෙන්න උත්සාහ කර තිබෙනවා නමුත් 113 ලැබී නැහැ. (තරමක වැඩි සංඛ්‍යාවක්) ජනතාවගේ අපේක්ෂාව අපිට ආණ්ඩුවක් ලබාදෙන්න. එහෙම නම් අපි ඒ අපේක්ෂාව සම්පූර්ණ කරන්න ඕනෙ. ඒ වෙලාවේදී අපි එකතු කර ගත හැකි අය එක්ක ආණ්ඩුව හදනවා. ජනතාව අපේක්ෂා කරන්නේ අපිට විපක්ෂයේ වාඩි වෙන්න නම්, අපි විපක්ෂයේ වාඩි වෙනවා.
පාලකයන් විකුණා ඇති සම්පත් නැවත ගන්නවාද?
අපේ ජාතික සම්පත් රනිල් වික්‍රමසිංහ විකිණීම සඳහා සැලසුම්කොට තිබෙන ජාතික සම්පත්. ටෙලිකොම් ආයතනය, ලංකා හොස්පිට්ල් රනිල් වික්‍රමසිංහ විකුණන්න තීරණය කරනවා, එවිට ඉන්දියානු සමාගමක් ඉල්ලනවා. ඒවා රනිල් වික්‍රමසිංහගේ අභිප්‍රායයන්. අපි ඒ වෘත්තිය සමිති හා ඒ ආයතන සමග කතාකර තිබෙනවා අඩු තරමින් මාස හයක් පරක්කු කර ගන්න ඒ ටික බේරා ගන්න පුළුවන්. ඔබ අහපු දකුණු ජැටිය, හම්බන්තොට වරාය වගේ ප්‍රශ්න සරල නැහැ. ඒවා විකුණා අවසන්. කෙරවලපිටිය බලාගාරය, හම්බන්තොට වරාය නැවත ලබා ගන්න බැහැ. අපි ආර්ථික වශයෙන් දුබල රටක්. අපට අපේ සම්පත් පිළිබඳ සැලකිල්ලට භාජනයට ලක්කළ හැකි වන්නේ, අපේ ආර්ථිකයේ ශක්තිමත්භාවය මතයි.
ඉන්දියාව හදා තිබෙන සැලසුමට යටත්ව සිදුවන්නේ එක ඉන්දියාව යෝජනා කර තිබෙනවා ඉන්දියාව සහ ලංකාව අතර තෙල් නළ පද්ධතිය. දෙක ඉන්දියාව සහ ලංකාව අතර විදුලි රැහන් පද්ධතිය. තුන පාලම්. හැබැයි ඒවා දැන්ම වෙන්නේ නැහැ. ඒවා ශක්‍යතා අධ්‍යයනය කර විශාල කාර්යයක් තිබෙනවා. මේ මාස පහ හය තුළ සිදුවිය හැකි දේ තමයි ටෙලිකොම් ආයතනය විකිණීම. අපි ඩොලර් බිලියන 15කට අයි.ටී. ක්ෂේත්‍රයේ යන්න පුළුවන්. ආරම්භයේ ඩොලර් බිලියන 5ක – 8ක ආර්ථිකයක් අපි හදන්න ඕනෙ. අයි.ටී. ක්ෂේත්‍රය දියුණු කිරිම සඳහා අවශ්‍ය තාක්ෂණික යටිතල පහසුම් හදන්න ඕනෙ ටෙලිකොම් ආයතනය. ඒ යටිතල පහසුකම් ටික හදා දෙනවා නම් විතරයි අපිට එම ක්ෂේත්‍රය උඩට ගේන්න පුළුවන්. අපි කාගේ හෝ සමාගමකට ටෙලිකොම් එක විකුණලා ඒ ගොල්ලෝ අපට යටිතල පහසුකම් ටික වර්ධනය කරන්නේ නැතිනම්, අපේ අයි.ටී. කර්මාන්තයේ වර්ධනය නතර වෙනවා. ඒ නිසා අපි ඉන්නේ ටෙලිකොම් එක විකිණිය යුතු නැහැ. එයාර් ලංකා එක විකිණීම පිළිබඳවත් අපේ ස්ථාවරය එයයි. අපි සංචාරක කර්මාන්තය ඉලක්ක කරනවා නම්, අපි ලක්ෂ 40ක් සංචාරකයෝ ගේන්න කැමතියි. සාමාන්‍යයෙන් සංචාරයේ යෙදෙන අය අතරමග රස්තියාදු වෙන්න කැමති නැහැ. ඒ අනුව අපට එයාර් ලයින් එකත් අවශ්‍යයි. එයාර් ලයින් එකේ ටිකට් එකට වඩා හොටලයේ කාමරයේ ගණන් අඩුයි. සංචාරකයා කැමති හෝටලයට වැඩි ගාස්තුවක් ගෙවා එයාර් ලයින් එකට අඩු ගාස්තුවක් ගෙවන්න. එහෙම නම් අපට බජට් එයාර් ලයින් එකක් අවශ්‍යයි. ඒක එයාර් ලයින් එකට අනුබද්ධව පටන් ගන්න වෙයි. එයාර් ලයින් එක වැටිලා තිබෙන්නේ. ඒක ගොඩගන්නේ කොහොමද කියන එක අපි ආකාර තුනක් ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. එක ආණ්ඩුවට කරන්න පුළුවන්ද? දෙක ජොයින්ට් වෙන්චර් එකකට යන්න පුළුවන්ද? තුන අත්හරිනවාද?
මිල්කෝ ආයතනය පිළිබඳ ප්‍රශ්නයේදී ‘මිල්කෝ ආයතනය’ කියන්නේ කිරි කර්මාන්තයේ රජයේ මැදිහත් වෙන ආයතනය. අපි කිරි සංවර්ධනය පිළිබඳ සැලැස්මක් හදනවා නම්, ආණ්ඩුවෙන් යාන්ත්‍රණයක් අවශ්‍යයි ඒක ක්‍රියාත්මක කරන්න. එන්.එල්.ඩී.බී. මිල්කෝ ආණ්ඩුව අතේ තිබෙන්න ඕනෑ. ඉන්දියාවේ එන්.ඩී.බී. එක, (පශුසම්පත් මණ්ඩලය) අපේ පශුසම්පත් මණ්ඩලය මිලදී ගන්න එනවා. ඉන්දියාවේ රාජ්‍ය ආයතනයක් තමයි අපේ එන්.එල්.ඩී.බී. ආයතනය මිලදී ගන්න එන්නේ. අපි අත්හරින්න හදන එකට කැමති නැහැ. මේ පෞද්ගලීකරණය ගැන හිතන්නේ අපේ ජාතික නිෂ්පාදනය වර්ධනය කර ගැනීමේ වුවමනාවෙන්. දැනට විකුණා තිබෙන දේවල් ගන්නේ කොහොමද කියා වෙනම කල්පනා කළ යුතුයි.
අවසන් වරට, අපේ රටේ දේශපාලනය තීරණාත්මක සන්ධිස්ථානයකට ඇවිත් තිබෙන්නේ. මේ අවස්ථා අත්හැරුණොත් තවත් අවස්ථා තිබේවි කියා හිතන්න එපා. මේ අවස්ථාවේ ජයග්‍රහණය අත්පත්කර ගත යුතුමයි. අපේ ජයග්‍රහණය තිබෙන්නේ ඔබ අතේ. ඔබ මොනතරම් දායකත්වය දෙන්න ලැහැස්තිද, ඒ තරම් ප්‍රමාණයකින් අපට ජයග්‍රහණය කරන්න හැකියාව තිබෙනවා. ඥාතීන්ට හිවතුන්ට කතා කරන්න, සමාජ මාධ්‍යවල ඒ වෙනුවෙන් ලියන්න, පෙනී හිටින්න. ශක්තිමත් මතවාදී යාන්ත්‍රණයක් බවට පත්කරමු.
ජනතා බලාපොරොත්තු නොවෙනස් ලෙස පවත්වාගෙන යන්නේ කොහොමද?
අපේ රට හිරවී තිබෙන ආකාරයට දවසකින් දෙකකින් පරිවර්තනය කළ හැකි වන්නේ නැහැ. අපි අනිවාර්යයෙන් මූලික සාධක තුනක් ජනතාවට සහතික කරන්න ඕනෑ. අපි පළමුකොටම පුරවැසියන්ගේ ආහාර අයිතිය තහවුරු කරනවා. සෞඛ්‍යය, අධ්‍යාපනය අයිතිවාසිකමක් ලෙස පළමුකොටම තහවුරු කරනවා. දිගු සැලසුම්වලට යන්න නම්, පළමුව මේ කරුණු තහවුරු කරන්න ඕනෑ. මේකට විශාල නැගිටීමක්, පිබිදීමක් අවශ්‍යයි. 1948 සුද්දා රට දාලා යනකොට ජනතාවට මොනතරම් හැඟීමක් ඇති වෙන්න ඇත්ද? අවුරුදු 76ක් මේ රට විනාශය අත්කර දුන් පාලකයන් පරාජය කළාම කොයිතරම් හැඟීමක් ඇතිවෙයිද? එතන ජාතික පිබිදීමක් තිබෙනවා. ඒ පිබිදීම අපි මේ රට ගොඩනැගීම සඳහා උපයෝගී කර ගන්න ඕනෑ. ඒ නැගිටීම ආරක්ෂා කර ගැනීම සඳහා අපි දේශපාලකයා හැටියට ආදර්යන් දෙන්න ඕනෑ. විශ්‍රාම වැටුප් අහිමි කිරීම, හතරවටින් දාන වාහන ආරක්ෂා අයින් කිරීම, නිල නිවාස අයින් කිරීම, වැනි ක්‍රියාමාර්ග ඔස්සේ දේශපාලකයා පළමු වතාවට තහවුරු කරන්න ඕන, තමන්ට පැවරී ඇති කාර්යයන් ඉටුකරන්න ඕනෑ. අනෙක් පුරවැසියන් හා සමානයි දේශපාලකයා. අපි ඒ ආදර්ශය දෙනවා.
සජිත් පේමදාස කිව්වා,වංචා, දූෂණ පරීක්ෂණය කර අත්අඩංගුවට ගැනීමේ බලය දෙන්නේ ෆොන්සේකාට කිව්වා. දයා රත්නායක කියලා හිටපු හමුදාපතිවරයෙක් ආවා එයාට පරණ යකඩ විකුණපු හොරකම් පිළිබඳ චෝදනා තිබෙනවා. අපි වංචා-දූෂණයෙන් තොර පාලනයක් හදන්න යන්නේ. ඒ නිසා මේ වංචා දූෂණවලට හවුල් වුණුකෙනා ගන්න එපා කියලා. ඊටපස්සේ වංචා දූෂණවලට හවුල්වූ කෙනා ඇතුලේ, වංචා දූෂණ අල්ලන්න හිටිය අය එළියේ. අපි එහෙම කරන්නේ නැහැ. වංචා - දූෂණ පිළිබඳ පරීක්ෂණයක් අවශ්‍යයි. නීතියේ විධානයේ ආධිපත්‍යය අපි ආරම්භයේදිම කරනවා. අපිට ආර්ථික සැලැස්මක් අවශ්‍යයි. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අවශ්‍යයි. ඒක වෙනස් කිරීම අපේම වැඩක්. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. අපට ඡන්දය දුන් ජනතාව අප කෙරෙහි තිබෙන විශ්වාසය තවදුරටත් තහවුරු කර ගන්නවා සහතිකයි.