සටහන – නීතිඥ අනුර හෑගොඩ
අප්‍රේල් 19, කොළඹ (LNW): සිංහබාහු ගැන අපට කියා දුන් විලසක් තිබිණ. අප අවබෝධ කරගත් විලසක් තිබිණ. අප ආශා කළ විලසක් ද තිබිණ. කතාව ඇත්තක් නම් අපේ ඇඟේ ඉතිරි වී තිබෙන මවිල් කීපය සිංහ මවිල් වන්න බොහෝ සේ ඉඩ ඇත. අපේ අත්තා නත්තා පනත්තා කිත්තා කිරිකිත්තා කිරිකෑ මුත්තා පවා විශ්වාස කළ සම්භවයක මුලාශ්‍රය ගමන් ගත් අගල හෙවත් සරච්චන්ද්‍ර මහදුරු විසින් සීල් තබා අත්සන ද ගැසූ සිංහබාහු පුරාවෘතය, මේ වන තෙක් නව චින්තනයකට මාන වී තිබුණේ නැත. එහෙත් එය තව දුරටත් එසේ නොවන බව වැල්ලවත්තේ රොක්සි ප්‍රිමියර් සිනමා ශාලාවේ දී 18 දා මංගල දර්ශනයේ දී අපට අත් දකින්නට ලැබිණ.
සිංහබාහු සිනමා සිත්තම අවසන මම සෝමරත්න දිසානායකයනට දෙකට නැමී වැන්දෙමි. ඒ ඔහුට මා නමස්කාර කළ පළමු අවස්තාව නොවේ. ලන්ඩනයේ දී සරෝජා චිත්‍රපටය අවසන දන නමා ඔහුට වැන්දෙමි. එදා ඒ වැන්දේ ඔහු තුල තිබූ අපරිමිත අජාතිවාදී ආත්මීය සිනමා කලා කරුවාටය. මෙදා එය වෙනතක ගොස් තිබේ. ඒ මෙතෙක් අප නිරතුරුව යමින් එමින් සිටි සිංහබාහු අගලෙන් අපව උස්සා ගොඩබිමින් තැබීම ගැනය. මට ඇතිවූ ප්‍රශ්නය වූයේ ‘ඇයි මා හට එසේ සිතන්නට නොහැකි වූයේ ‘ යන්නයි. ඒ මා සෝමරත්න දිසානායක නොවන නිසාය. ඔහු සිතන, ලියන, නිපයන අයුරින් මා හට සිතන්නටවත් බැරි නිසාය.
සැබවින්ම ආචාර්ය සෝමරත්න දිසානායකයන් නිර්මානත්වයේ අපූර්වයෙකි. මා සිතනා පරිදි මින් ඉදිරියට අප හදවතේ සනිටුහන් වන සිංහබාහු කතාන්තරය ඔහුගේ සිංහබාහු සිනමා සිත්තමයි. එදා මෙදාතුර එක ලෙසින් ගලා ගිය සිංහ පිය මනුෂ්‍ය පුතු අරගලය තව දුරටත් සිව්පා සහ දෙපා වන්නේ නැත. එය දෙපා සහ දෙපා ය. මෙහි සිටින සිංහයා තිරිසනෙක් නොවේ. ඔහු ආරෝහ පරිනාහ දේහයෙන් යුත් තගරිකාමී කාරුණික කැළෑ රජෙකි. පිරිමි දරුවෙක් ද සිටින විවාහකයෙකි. කසාද දෙකකින් දරුවන් දෙදෙනෙක් සිරින්නෙකි. දෙවැන්නිය දියණියකි. ඒ දරුවන් දෙදෙනා ගේ පියා සහ මව වෙන වෙනත් අයය. කොටින්ම පිරිමි දරුවා ගේ පියා සිංහයා වන අතර ගැහැණු දරුවාගේ පියා ඔහු නොවන්නේය. ගැහැණු දරුවා ගේ මව සිංහසීවලී වුවද පියා සිංහයා නොවන්නේ ය. එය ප්‍රත්‍යක්ෂ වන ප්‍රේක්ෂක අපෙන් සැනසුම් සුසුමක් පිටවේ. ඒ සිංහල පරම්පරාවේ ආරම්භය සොහොයුරු සොහොයුරිය ගේ සම්භෝගයෙන් ඇති වුවක් නොවන බව වටහා ගැනීමෙනි. එම අපූරු චින්තනයට දිසානායකයන් වෙනම සම්මාන සහතිකයකයකට හිමිකම් කියයි.
සිංහබාහු සැබවින් ම ගීත (Musical) සිනමා සිත්තමක් යැයි කීමට අප පොළඹවන්නේ එහි තිර රචනය සහ දෙබස් යොදවා ඇති විලාසයෙනි. දෙබස් ලාලිත්‍යය අපුරුය. කාව්‍යමය. ගීතමය. සිත්ගන්නා සුළුය. ළය බැඳ ගනීය. එය ද සෝමරත්න දිසානායකයන් ගේය. එම දෙබස් එසේ ගීතමය රිද්මයකින් කියැවන අතරම විශිෂ්ට රංගන විලාස ගැන්වෙන ලෙස නළු නිලියන් මෙහෙයවීම දිසානායකයන් ගේ අපරිමිත අදියුරු හැකියා මොනවට කියා පායි. චිත්‍රපටයනට දෙබස් කැවූ ඉතිහාසයේ නම් එය කතා කළ යුත්තක් නොවේ.
මෙහි දෙපා සිංහයා වූ අඛිල ධනුද්දරයන් ඔහුගේ සිනමා ජිවිතයේ රඟ දක්වා ඇති විශිෂ්ටතම රංගනය ඔහු ගේ පියා අභිබවා යන්නක් දෝයි සැක සිතෙන අවස්ථා ද නැත්තේ නොවේ. එය ඒ තරමටම අපූරුය. සිංහසිවලී වූ යශෝදා විමලධර්ම විශිෂ්ට රංගන ශිල්පිනිය ප්‍රමුඛ, සමාන්තරයෙකු නොමැති සජිත අනුත්තර සමඟ අභිලාශි සන්තුෂ්කි සහ දුෂිනි මියුරංගි හදවත් හී ලැගුම්ගත් රංගනයන් හී යෙදෙති.
ඉඩම් විකුණා විකුණා හෝ ලාංකේය සිනමාවට අපූරු දායාද පිරිනමන නිෂ්පාදිකා රේණුකා බාලසුරිය සමඟ සම නිෂ්පාදක ගාමිණී වික්‍රමසිංහයන් ද මේ සිංහබාහු කැටුව සිනමා ඉතිහාස පොතේ නව පිටුවක සනිටුහන් වෙති. අධ්‍යක්ෂක ආචාර්ය සෝමරත්න දිසානායකයන් ගේ පින්තූරය එම පොතේම පිට කවරයේ මුද්‍රණය වෙයි.
මේ සිංහබාහු සිනමා සිත්තම නොබැලුව හොත් ඔබ තාම සිටින්නේ අර පේරාදෙණි වලේ ය.