*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දේවගැති ජෙරොම් ගැන නීතිපතිට නියෝගයක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 13, කොළඹ (LNW): අද (13) දින ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇත්තේ, බුදු දහම ඇතුළු අන්‍ය ආගම් වලට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි කියනු ලබන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සහ ඊට අදාලව මහේස්ත්‍රාත් අධිකරණවල ගොනුකර තිබෙන සියලුම “බී” වාර්තා වල පිටපත් ඉදිරි දෙසතිය තුළ අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි .

ප්‍රශ්න ගත ප්‍රකාශය සම්බන්ධයෙන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු සර්ව ආගමික නායකයින් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළ බව සඳහන් වේ.

අද (13) විවෘත අධිකරණයේ පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාර දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන දෙකක් සිදුකරන බව සඳහන් කළේය. ආගම්වලට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් එක් විමර්ශනයක් සිදුකෙරෙන අතර ඒ සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුකරයක් පවතින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් වරයා පැවසූ බව සඳහන් වේ.

ඊට අමතරව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වග උත්තරකරුට එරෙහිව තවත් විමර්ශනයක් සිදු කෙරෙන බවත් ඒ සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසියට ජෙනරල් වරයා ආගම්වලට අපහාසමක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවත් ඊට අදාළව වග උත්තරකාර දේව ගැතිවරයාගේ කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන තිබෙන බවත් සඳහන් කළේය. එහෙත් රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ තිබෙන කටහඬ පරීක්ෂාවට ලක් කරන යන්ත්‍රයේ පසුගිය මාස දෙක තුළ පැවති දෝෂ සහගත තත්ත්වය නිසා එම පරීක්ෂණයේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කෙසේ වෙතත් එම කටහඬ පරීක්ෂණ වාර්තාව ඉදිරි සති දෙක තුළ ලබාදිය හැකි බවට රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී තිබෙන බවත් පැවසූ බව සඳහන් වේ.

ඊට අමතරව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වග උත්තරකාර දේව ගැතිවරයා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව පුද්ගලයින් 30 දෙනෙකුට අධික සංඛ්‍යාවකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් සමාගම් 18 ක් විමර්ශනයට ලක් කර තිබෙන බවත් නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරයා සඳහන් කර සිටියේය. එම සමාගම් 18 අතුරින් සමාගම් 06 ක වග උත්තර කාර දේව ගැතිවරයා සෘජුවම සම්බන්ධ වී අධ්‍යක්ෂකවරයකු වශයෙන් කටයුතු කරන බවත් සෙසු සමාගම් සමගද සම්බන්ධකම් තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම සමාගම් 18 කම විගණන වාර්තා ලබාගෙන ස්වාධීන වෝහාරික විගණනයක් මේ වන විට සිදුකරමින් පවතින බවත් සඳහන් කළේය. මෙම විමර්ශන අවසන් කොට වාර්තා නීතිපතිවරයා වෙත ලැබීමෙන් පසුව මෙම දේවගැතිවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර නීතිපතිවරයා විසින් තීරණය කරනු ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලිප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණයට දන්වා ඇත.

ඉන් අනතුරුව සර්ව ආගමික නායකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේවන විට සිදුකෙරෙන විමර්ශන අර්ථවත් ආකාරයෙන් සිදුවන්නේද? යන්න පිළිබඳව තමන් තුළ ගැටළුවක් මතුවී තිබෙන බව පැවසුවේය. මෙම දේවගතිවරයාගේ ගිණුම්වල රුපියල් බිලියන 11 කට අධික මුදල් හුවමාරු වීමක් සිදු වී තිබෙන බව මීට පෙර නීතිපතිවරයා අධිකරණය හමුවට දැනුම්දී තිබුණද ඒ සම්බන්ධයෙන් අර්ථවත් විමර්ශනයක් සිදු කරන ආකාරයක් දක්නට නොලැබෙන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළ බව වාර්තා වේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අග විනිසුරු වරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයාට නියෝග කළේ දේවගැති ජෙරෝම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මේ දක්වා සිදු කර තිබෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරි සති දෙක තුළ අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත්, මෙම විමර්ශනවලට අදාළව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ ගොනුකර තිබෙන සියලුම “බී” වාර්තාවල පිටපත් මෙම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් එම නියෝගයේ විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සඳහන් කර සිටි බව පැවසේ,

ඉන් අනතුරුව පෙත්සම යළි ජුනි මස 10 වනදා කැඳවීමටද අධිකරණය නියෝග කළේය.

මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් මීට පෙර ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ඔහුගේ නීතිඥවරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත් බව පැවසේ.

එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මේ වන විට අත්අඩංගුවට පත්ව ඇපමත මුදා හැර සිටින හෙයින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලීමක් කලේය. එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමටද තීන්දු කළ බව වැඩිදුරටත් පැවසේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan