කොළඹ LNW:මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු දල්වමින් Rising Stars Badminton Academy මෙරට ක්‍රීඩාව තුළ නව ප්‍රවේශයක් ලබා ගෙන තිබේ.
ඒ අනුව පසුගිය 17 වැනිදා Rising Stars Badminton Academy වෙතින් මාධ්‍ය හමුවක් පවත්වා ඔවුන්ගේ වැඩපිළවෙල හා ඉලක්ක පිළිබඳ පැහැදිලි කිරීමක් කළේය.
මේ වන විය ජාතික මට්ටමේ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවක් මෙම ඇකඩමියේ පුහුණුව ලබන අතර විදෙස් ක්‍රීඩකයින් ද එහි පුහුණුව ලබමින් සිටින බවයි එහි නිර්මාතෘ හා සභාපති ක්ලැරන්ස් හෝමර් මහතා පැවසුවේ.
1996 මෙරට බැඩ්මින්ටන් ජාතික ශූරයා සහ ජාත්‍යන්තර පදක්කම්ලාභී ප්‍රවීණ බැඩ්මින්ටන් ශූරයකු වන ක්ලරන්ස් හෝමර් මහතා 1996 සිට වසර දහයක් මෙරට බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ අංක 01 (යුගල) ක්‍රීඩකයා ලෙස රැඳී සිට තිබේ.
සෑම තරාතිරමකම මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ නිවැරදි තාක්ෂණය සහිත පුහුණුවක් ලබාදීම ඇකඩමියේ අරමුණ වන අතර 2028 වසරේ දී ඔලිම්පික් තරගාවලියට සහභාගිත්වයට හෝ නියෝජනයට නොව තරග කිරීමට ශ්‍රී ලංකාවෙන් බැඩ්මින්ටන් ක්‍රීඩකයන් දෙදෙනෙකු යැවීම තම ඇකඩමියේ ඉලක්කය බව ක්ලැරන්ස් හෝමර් මහතා ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ක්ලැරන්ස් හෝමර් මහතා කියා සිටියේ,තම ඇකඩමියේ ඉලක්කය තනි ක්‍රීඩකයන් ගොඩනැගීම නොව බැඩ්මින්ටන් ක්‍රීඩා කණ්ඩායම් ගොඩනැගීම බවත්,මෙරට බොහෝ බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ජාත්‍යන්තරයේ ඇතිවන නව තාක්ෂණික (Modern Technique) සංවර්ධනයන් ආශ්රිත පුහුණුව තත්කාලීනව නොලැබීම අපේ රටේ බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ජාත්‍යන්තර තලයට නොයෑමට හේතුවක් බව ඔහු පෙන්වා දුන්නේය.
මේ වන විට Rising Stars Badminton Academy ජාත්‍යන්තර බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ සේවය ලබා ගනිමින් යන බවත්,එසේම විදේශ රටවල පුහුණු ඇකඩමි සමග ඒකාබද්ධ වෙමින් පුහුණු සැසිවාර සහ පුහුණු හුවමාරු වැඩසටහන් ද ක්‍රියාත්මක කරන බවත් ක්ලැරන්ස් මහතා පැවසීය.
මේ වන විට Rising Stars Badminton Academy හි පුහුණුව ලැබූවන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් තරඟ රාශියක් ඉහළින්ම ජයග්‍රහණය කර ඇත.
Rising Stars Badminton Academy හි පුහුණුව ලැබ දේශීය හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබාගත් දේශීය හා විදේශීය සුවිශේෂ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්රීඩිකාවන්අ තර,බුවනක ගුණතිලක (Buwanaka Gunathilaka) චමත් කාවින්ද ඩයස් (Chamath Kavinda Dias) සසිඳු කරුණාතිලක (Sasindu Karunathilaka) විරාන් නෙත්තසිංහ (Viren Nettasinghe – 2024 Olympic) දුමිඳු අබේවික්‍රම (Dumindu Abeywickrama) රසිඳු තෙනුජා හෙන්දහේවා (Rasindu Thenuja Hendahewa) සවින්ක නෙත්මින් වීරසේකර (Savinka Nethmin Weerasekara) ප්‍රින්ස් දහාල් (Prince Dhal -Nepal -2024 -Olympic) මිලෙන් රණසිංහ(Milen Ranasinghe -Australia ) ඩෙවින් ජෙන්සන් (Davin Jason) වෙයි.
මේ වන විට ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස (Main Coache) ඉන්දුනීසියාවේ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවෙක් සහ ශ්‍රී ලංකාවේ සිටි ජාතික පුහුණුකරු වන ටෝනි වහීඩි (Tony Wahyudi) සමග බුවනෙක ගුණතිලක, රන්තුෂ්ක කරුණාතිලක,චමත් කාවින්ද ඩයස් කටයුතු කරන බව ද මීට පෙර මලික්හටුස් (Malikhatus Sholekah – Indonesia) සහ රිස්මා ඇනෙස්ටසි (Rizma Anestasy Violeta -Indonesia) යන අය ද Rising Stars Badminton Academy හි පුහුණු කරුවන් ලෙස කටයුතු කර තිබේ.
මේ වන විට සෑම මාස තුනකටම වරක් මාලදිවයිනේ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩකාවන් 15-20 අතර පිරිසක් ද බංග්ලාදේශයේ ක්‍රීඩක ක්‍රීඩකාවන් ද Rising Stars Badminton Academy හි පුහුණුවට පැමිණීමට අදාල ගිවිසුම් අත්සන් කර තිබේ.
මෙවර ඔලිම්පික් බැඩ්මින්ටන් තරගාවලියට නේපාලය වෙනුවෙන් සහභාගී වන (නේපාලයේ ජාතික බැඩ්මින්ටන් ශූරයා වන) ( Prince Dhal) ප්‍රින්ස් දහාල් මෙම ඇකඩමියේ පුහුණු ක්‍රීඩකයකු වන බවත්, ඔලිම්පික් තරඟාවලියේ ඔහුගේ Equipment Sponsor (ක්‍රීඩා උපකරණ අනුග්‍රහකත්වය) ලෙස කටයුතු කරන්නේ Rising Stars Badminton Academy බවත් ක්ලැරන්ස් මහතා උක්ත මාධ්‍ය හමුවේදී මෙහි දී ප්‍රකාශ කළේය.
මෙම තරගාවලියෙන් පසු ඔහු නැවත වසර දෙකක පුහුණුවක් සඳහා RSBA වෙත පැමිණීමට නියමිතයි.
මේ වන විට මුරුසි දිවයිනේ (Mauritius) ක්‍රීඩිකාවන් දෙදෙනෙකු මාසයක පුහුණුවක් සඳහා RSBA වෙත පැමිණ සිටිති.
මෙරට බැඩ්මින්ටන් පුහුණු ඇකඩමි සඳහා රජයේ කිසිදු අනුග්‍රහයක් නොලැබෙන බවත්,මෙම ඇකඩමි ලියාපදිංචි කිරීමට හෝ නියාමනය කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ හෝ ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ජාතික බැඩ්මින්ටන් සම්මේලනයේ නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති බවද සඳහන්.
නමුත් මෑතකදී බැඩ්මින්ටන් සම්මේලනය ඒ පිළිබඳව තමන් සමඟ සාකච්ඡාවක් කළ බව ද ශ්‍රී ලංකා බැඩ්මින්ට් සම්මේලන ව්‍යවස්ථාවේ මෙවැනි ඇකඩමී ලියාපදිංචි කිරීමට කිසිදු ඉඩක් නැති බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපතිවරයා පෙන්වා දුන් බවත්, නමුත් මෙවැනි ඇකඩමි එවැනි ලියාපදිංචි කිරීමක්, නියාමනයක් කිරීම ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දියුණුවට තදින්ම බලපාන බව ක්ලැරන්ස් හෝමර් මහතා මෙහි දී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.
මෙම ඇකඩමිවලින් පුහුණුව ලබන බැඩ්මින්ටන් ක්‍රීඩකයන් අද ඔලිම්පික් මට්ටම ගොස් තිබුණ ද රජය හෝ ඔලිම්පික් කමිටුව සම්මේලනය මෙම ඇකඩමි ඇගයීමට කිසිදු වැඩ පිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක කර නැත. නමුත් ඉන්දියාවේ අද ලෝක පූජිත බැඩ්මින්ටන් ක්‍රීඩකයන් බිහිකර ඇත්තේ රජය මැදිහත්වීමෙන් නොව, ප්‍රකාශ් පදුකෝන් ඇකඩමිය, ගෝපිචාන් ඇකඩමිය වැනි ඇකඩමි නිසා බව ඉතා ප්‍රකට කරුණක් බව ක්ලැරන්ස් මහතා අවධාරණය කළේය.
එසේම මෙම ඇකඩමිය පවත්වා ගෙන යන්නේ ලාභයකින් තොරව තමාගේ පුද්ගලික මුදලෙන් බව ද ඔහු පෙන්වා දුන්නේය.
විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුව සඳහා මෙම ඇකඩමියට පැමිණීමේ හේතුව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ,ඊට පිළිතුරු දෙමින් ක්ලැරන්ස් මහතා කියා සිටියේ,”ලෝකයේ මේ තත්ත්වයේ පුහුණුවක් ලබා දීමට වැයවන මුදලට වඩා අඩු මුදලක් වැයවීම,අපේ කලාපයේ අනිත් රටවල සංස්කෘතික පසුබිමට වඩා අපේ රටේ සංස්කෘතික පසුබිම ඔවුන්ට සමීප සහ විශ්වාසවන්තදායකවීම,මේ කලාපයේ රටවල අයට අවශ්‍ය ආහාරපාන අපේ රටේ තිබීම, එසේම මෙම ඇකඩමියේ පුහුණුකරුවන් ලෙස විදේශීය පුහුණුකරුවන් කටයුතු කිරීම නිසා සහ පුහුණුවට පැමිණෙන අයට ලබා දෙන්නේ අන්තර් ජාතික තාක්ෂණය සහිත පුහුණුවක් නිසාත් අපේ කලාපයේ බොහෝ දෙනකු බැඩ්මින්ටන් පුහුණුව සඳහා අපේ ඇකඩමියට පැමිණීමට කැමැත්ත පළ කරනවා.එසේම එම විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ඇකඩමියේ පුහුණුවට පැමිණීම තුළින් ඔවුන් සමග පුහුණුවීමට අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩකාවන්ට ද අවස්ථාව ලැබීම ද විශාල වාසියක්. එසේම අපගේ ඉලක්කය වන්නේ දේශීය ක්‍රීඩකයන් සියයට පනහක් සහ විදෙස් ක්‍රීඩකයන් සියයට පණහකට මෙම ඇකඩමියේ පුහුණුව ලබාදීම.”
ඉදිරියේ දී ඉන්දියාව,කැනඩාව සහ ඇමරිකාව යන රටවලද RSBA හි ප්‍රවර්ධන කටයුතු හා RSBA පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියමිත බව ද තම ඇකඩමියේ නව පුහුණු මධ්‍යස්ථානය අංග සම්පූර්ණ බැඩ්මින්ටන් පුහුණු ඇකඩමි මධ්‍යස්ථානයක් ලෙස ඉතා කෙටි කලකින් මාලඹේ ප්‍රදේශයේ දී විවෘත කරන බව ද Rising Stars Badminton Academy ප්‍රධාන විධායක නිලධාරී බුවනෙක ගුණතිලක මහතා පැවසීය.
මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට පැමිණීමෙන් පසු එම ක්‍රීඩාවෙන් ඉවත් වන්නේ ඔවුන්ට සිය ක්‍රීඩා කටයුතු කරගෙන යෑමට ප්‍රමාණවත් තරම් අනුග්‍රාහක දායකත්වයක් නොලැබෙන නිසා බව ද ඊට හොඳම උදාහරණය ද තෙවරක්ම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශූරයා සහ වත්මන් ජාතික ශූරයා, 2018 ඕස්ට්‍රේලියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ පිරිමි යුගල තරඟය අවසන් පූර්ව වටයට ගිය (ඒක තමයි ලංකාව බැඩ්මින්ටන්වලින් ලබපු ඉහළම ජයග්‍රහණය) තමා අද බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඉවත් වී සිටින්නේ එම ප්රශ්නය නිසා බව බුවනෙක ගුණතිලක මහතා පැවසීය.
තමාට එම තරගවලට අනුග්‍රහය දැක්වේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ බැඩ්මින්ටන් සම්මේලනය බවත් ,නමුත් තමන්ට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට පැමිණීමට නොහැකි වූයේ සහ තනියම ජාත්‍යන්තර තරඟවලට සහභාගීවීමට නොහැකි වූයේ ප්‍රමාණවත් අනුග්‍රහකයෙකු නොසිටි නිසා බව ඔහු පෙන්වා දෙන ලදී.
”බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වෘත්තීය (Professional ) ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තර තරඟවලට යනවා නම් ඔහුට අනිවාර්යයෙන්ම පසුබිමෙන් විශාල අනුග්රහක ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ ශක්තිය ඔහුට තනිවම හෝ ඔහුගේ දෙමව්පියන් සමග දරාගන්න බැරි තරම් ලොකු එකක්. ඒක නිසා තමයි බොහෝ බැඩ්මින්ටන් ක්‍රීඩකයන් ටික කලකින් එම ක්‍රීඩා පිටියෙන් ඉවත් වෙන්නේ.”
මෙහිදී අදහස් දැක් වූ RSBA ප්‍රධාන පුහුණුකරු ටෝනි වහීඩි කියා සිටියේ,තමන් පළමුවරට 2017 මෙරට ජාතික බැඩ්මින්ටන් පුහුණුකරු ලෙස පැමිණි අවස්ථාවේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා පිළිබඳව තමන් විමතියට පත් වූ බවත් ඉතාම සතුටින් එම පුහුණුවීම් කළ බවත්ය. ”එහි දී නිලූක,බුවනෙක,සාචි,දිලිනි මගෙත් එක්ක පුහුණුවීම් ලැබුවා. 2019 දී නැවත මම මගේ රටට ගියා.නමුත් 2021 දී ක්ලැරන්ස් මට නැවත කතා කරා මේ ඇකඩමියේ පුහුණු කටයුතුවලට. දැන් මම අවුරුදු තුනක් මේ ඇකඩමියේ පුහුණු කටයුතු කරගෙන යනවා. විදේශ රටවල් සමග සංසන්දනය කරන කොට තියෙන ප්‍රධාන ගැටළුව තමයි මේ ක්‍රීඩකයන්ට අනුග්රාහකයන් නොසිටීම. ඒක ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව දියුණු කරන්න විශාල බාධකයක් වෙලා තියෙනවා” ටෝනි වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම ප්රවෘත්ති සාකච්ඡාවට RSBA ආයතනයේ කළමනාකරු ආර්.සමෘද්ධි මහතා ද සහභාගි විය.