සටහන – නිශ්මං රණසිංහ
ජූලි 29, (LNW) කොළඹ :
දඹුල්ල ක්‍රීඩාංගණයේ හිස් තැනක් නොපෙනෙන තරමට පිරුණු හිස්ය.නිහඬ වු මුවක් නැති තරම්ය.ගමේ පිරිස් රොඳ බැඳ අත් ට්‍රැක්ටරයකට නැඟී දඹුලු ආවේ ඔවුන් දඹුල්ල වඳින්නට නොවේය.රට වෙනුවෙන් ඇත්තටම ආදරය පූජා කරන්නටය.හිතේ තිබුණු සිතුවිලි පුද කරන්නට ගෙන යන මල්වලට වඩා සුවඳ විය.
පූජාවේ ආනිශංස ඒ මොහොතේම ලබා දෙන්නට තරගයට පෙරාතුව සිටම චමරිට සැළසුම් සහ විශ්වාසයන් තිබිණ.
“ ඉන්දියාව එක්ක ගහනවා කියන්නෙ 175 ක් ගහන්න පුළුවන් වෙන්න ඕනි.එහෙම කැත්නම් 175 ක් එලවන්න පුළුවන් වෙන්න ඕනි.” තරගයට පෙරම චමරි කීවාය.ඒ අභියෝගයට මුහුණ දීමට ඇය සතුව සැළසුම් ඇති බව ද ඇය කීවාය.එම සැළසුම්වල යම් යම් පළුඳු ඇති වූයේ පන්දු රැකීමේදී සිඳු වූ දුර්වලතා නිසාය.විශේෂයෙන් ස්ම්රිති මන්දනා ගේ කඩුල්ල වේලාසන දවා ගන්නට තිබුණු අවස්ථාව හර්ෂිතා මාධවීගේ අතින් ලිස්සා ගිය උඩ පන්දුව නිසා අහිමි වීම ශ්‍රී ලංකාවට දැඩි හිස රදයක් විය.මන්දනා පන්දු 47 ක් තුළ ලකුණු 60 ක් ගබා ගත්තාය.එසේම ඇය කඩුල්ල ආරක්ෂා කරගෙන සිටීම නිසා ජෙමීමා රොඩ්රිගෝස්ට සහ රිචා ගෝස්ට් ට පහසුවෙන් අත දිග හැර පන්දුවට පහර දෙන්නට අවස්ථාව ලැබිණ.
ජෙමීමා පන්දු 16 දී ලැබූ ලකුණු 29 මෙන්ම ලකුණු රැස් කිරිමේ දළ වේගය 200 ද ඉක්මවා යන සේ රිචා ගෝස්ට් පන්දු 14 දී එකතු කළ ලකුණු 30 ත් නිසා ඉන්දියාවට පන්දු ඕවර් 20 නිමාවේ දී කඩුලු 6 ත් දැවී ලකුණු 165 ත් ලබා ගන්නට හැකි විය.ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නිරන්තරයෙන් පවසන පරිදි සිය කණ්ඩායම තුළ සිතන්නට පුරුදු වී ඇත්තේ ධනාත්මකවය.එය රුමේෂ් රත්නායකගේ මඟ පෙන්වීමේ සළකුණය.ඒ අතින් ගත් විට චමරි කී ලකුණු 175 ප්‍රමාණය 165 වීම ම යම්කිසි ආකාරයකින් ධනාත්මක ජය
මේ ධනාත්මක බව මෙන්ම කණ්ඩායම මනසින් ද කය තරම්ම තරගයට බැඳී ඇති බවත්,මේ මොහොත වන විට තමන් සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසයත් කෙතරම්ද යන්න හොඳින්ම පැහැදිළි කරමින් හර්ෂිතා මාධවි අපූරු කතාවක් කීවාය.අවසාන තරගය චමරිගේ දැවී යමෙන් පසුව ඕවරයකට ලකුණු 9 ක් පමණ හඹා ගොස් ජය ගැනීම පහසු නැති බව සිතෙන මොහොතක හර්ෂිතා සිය දෙ’උර මතට එම බර පැකිලීමකින් තොරව භාර ගත්තාය.
“මට කැච් දෙකක් මිස් වුණා.ඒ නිසා මං හිතාගෙනමයි හිටියෙ කීය ආවත් මං ගහනවා කියලා” හර්ෂිතාගේ අදහස එබඳු විය.එය හොඳම පන්දු රකින්නියක් ලෙස සැළකෙන ක්‍රීඩිකාවක අතින් උඩ පන්දු ගිලිහී යා විට සිතෙන සිතුවිල්ලකට වඩා වෙනස්ය.”අද මගේ දවස නොවේ” යන හැඟීමෙන් සියල්ල පිළිබඳව සෘණාත්මකව සිතීම පසෙකලා හර්ෂිතා සිතූ සිතුවිල්ල අපූර්ව එකකි.ඒ කාන්තා ක්‍රිකට් හී සංස්කෘතිය වී ඇති සිතුවිලි පරම්පරාවේ හැඩයය.
අවසාන තරගයේ ලකුණු 165 හඹා යාමේදී 18 හැවිරිදි විශ්මි ගුණරත්න කළබල වූවාය.ඇයගේ ඉණිම පන්දු තුනකට සීමා වූවාය.එක ලකුණකට දුවද්දි දැවි ගියාය.ලකුණු 165 ක්, ප්‍රබල කණ්ඩායමක්,එම හඹා යාමේදී නිරපරාදේ ලකුණු 7 ක් ව තිබියදී අහිමි වන කඩුල්ලක්….
මේ සියල්ල කඩා වැටීමට දෙන ඔත්තුවක් විය හැකි වුවත්,චමරි සහ හර්ෂිතා එය භාර ගත්තේ වෙනස් ආකාරයකටය.අවසාන ඉලක්කම වන 165 ඉක්මවා යා හැකි ලකුණු ගණනක් බවට පත් කර ගනිමින් ඔව්හූ සංග්‍රාමයේ නිරත වූහ.චමරි පන්දු 43 න් ලකුණු 61 ලබා ගත්තාය.තරගය නිමාවන තුරු නොදැවී උන් හර්ෂිතා පන්දු 51 දී ලැබූ ලකුණු ප්‍රමාණය 69 කි.චමරි සහ හර්ෂිතාගේ දෙවන කඩුල්ලේ සබඳතාවය ලකුණු 87 ක් විය.ඉනිත්බිති හර්ෂිතාට එක් වූ කවීශා දිල්හාරි තමන් පිතිකරණ ලැයිස්තුවේ ඉහළට තල්ලු කරමින් කණ්ඩායම පළ කළ විශ්වාසයට කෘතවේදි වන්නේ පන්දු 16 දී නොදැවී ලකුණු 30 ක් ලබා ගනිමින්ය.
කවීශාගේ ලකුණු 30 ට එකතු වූ හයේ පහර දෙකම කෙළින් එල්ල වූ ලෝන්ග් ඔන් සහ ලෝන්ග් ඕෆ් කළාප පදනම් කරගෙන එල්ල කළ දැවන්ත පහර විය.එහි අවසාන හයේ පහර ශ්‍රී ලංකාවේ ජය සනාත කරන ඉන්දිය ලකුණු පූවරුව අභිබවා යන පහර විය.
අප නිතරම කී පරිදි පසුගිය කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණයේ විශ්වාසය බවට පත්ව සිටියේ හර්ෂිතාය.අවසාන තරග කිහිපය තුළ යම් පසුබෑමක් තිබිණ.ඒවා විශ්මිගේ පිත්තෙන් විසදිණි.එහෙත් හර්ෂිතා බොහෝ විට සිය ඉණිමට ඉලක්කම් දෙකක්නම් එකතු කළාය.මේ ඕනෑම මොහොතේ ඇය කළේ ලකුණු 7 සිට ලකුණු 167 දක්වා වූ දුර නොදැවි ජය සැළසුම් කරමින් ගමන් කරමින් තමන්ගේ පිතිකරණ විශ්වාසයේ අනන්‍යතාවය යළි පැහැදිළි කර දීමය.
වඩාත් වැදගත් මේ කියවා ගැනීමේ දී කාන්තා කණ්ඩායම ද පාලනය වන්නේ පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරණය යටතේ බවය.ඔවුන් චමරි අතපත්තුට සිය ගම ආසන්නයේම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක ආසියාව ජය ගන්නට අවස්ථාවක් සකසා ඇත.එය පාදක කරගෙන ගොඩ නැඟෙන අලුත් පරපුරක් ද සකස් වෙමින් ඇත.බොහෝ දෙනෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් යනු පිරිමි කණ්ඩායමය.නැතිනම් එය ශම්මිගේ කණ්ඩායමය.හිටපු ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහට අනුව ද කාරණය එසේය.එසේ සිතන ඇමතිවරු ක්‍රීඩාව කරන රටක චමරිලාට වඩා අනාගතයක් ලංකාවේ කාන්තා ක්‍රිකට්වලට උදා කරන්නට වර්ථමානයේ හැකි වී ඇත්තේ සැළසුමක් තිබීම නිසාය.
චමරිලා පාසල් කාලයේ විධිමත් විදිහට ක්‍රිකට් ක්‍රීඩා කරන්නට අවස්ථාව නොලද පරපුරකි.එවැනි නියෝජන අදත් කණ්ඩායමේ ඇත.අප්‍රතිහත දිරිය සහ කැපවීම් මත ලෝකයටම අභියෝග කරන්න මට්ටමට වැඩෙන ඒ චරිත අතරට අද පරම්පරාවෙන් එකතු වන්නේ පාසල් වියේ සිටම ක්‍රීඩා කළ ක්‍රීඩිකාවෝය.ඒ පහසුකම් සහ අවස්ථාවන් ඉබේ පහළ වූයේ නැත.
තරගයේ පිට්ටනිය හතර කොණේම වූයේ ඉන්දීය ව්‍යාපාර ප්‍රවර්ධනය කරන නම් බව හතරේ සීමාව කියවා ගත්තම අපට පැහැදිළිය.ඉනදියාවේ ක්‍රිකට් ක්‍රියාත්මක වානිජමය වටපිටාව සහ එය තව දුරටත් හැදෑරීමේදී ඉන්දීය දේශපාලනයෙන් වියුක්තව එය යන නිදහස් ගමණද අපට පැහැදිළි කර ගන්නට ඒ සාක්ෂි යොදා ගත හැකිය.එවැනි පරිසරයක හැදෙන ක්‍රිකට් ක්‍රීඩාවකට,සංස්කෘතියකට ලංකාවේ කෙල්ලන් පහර දුන්නේ දේශපාලනය විසින් ක්‍රීඩාවේ පැවත්මද අවිනිශ්චිත කරන ක්‍රියාවන් සිඳු වෙමින් පවතින වටපිටාවකය.
ක්‍රීඩිකාවන් සාර්ථක වන්නේ ඇයි සහ ක්‍රීඩකයන් අසාර්ථක වන්නේ ඇයි කියන කාරණයේදී අප පැහැදිළිව කියවාගත යුතු ඇත්ත එය ක්‍රීඩිකාවන්ගේ සහ ක්‍රීඩකයන්ගේ සිතීමේ ආනිශංස බවය.එසේම ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට්වල ගෙවෙන්නේ ස්වර්ණමයම මොහොත වන අතර පසු දවසක මේ පරිච්ඡේදයේ නියෝජනයන් ද,තමන්ට ක්‍රිකට් ගැසූ නිසා ලංකාවේ ක්‍රිකට් මෙහෙයවන්නට අවශ්‍යය බව කියා ගැටළු ඇති කළහොත් සිඳු විය හැකි අනතුර,හිටපු ක්‍රීඩකයින් තමන්ගේ ක්‍රීඩක ඉතිහාසය පාවිච්චි කරමින් මේ වන විට කරමින් තිබෙන හානිය කියවා ගැනීමෙන් පැහැදිළි කර ගැනීමට හැකිය.හැමෝටම කොටස් කර ක්‍රිකට් හී වගකීම් බෙදා දෙන්නට නොහැකිය.හැමෝම අනියමින් බලපෑම් කරමින් ඉන්නේ ක්‍රිකට් හදන්නට වඩා එහි තමන්ගේ සළකුණ සහ නියෝජනය තබා උපයන්නට ක්‍රම හදා ගන්නටය.තව දුරටත් ක්‍රිකට් රස්සාවක් කර ගන්නටය.
මේ කියවා ගැනීම ලැබෙන තුරු ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන්ගේ ලෙසත්,පිරිමි ක්‍රිකට් පාලකයේ අසාර්ථක බව නිසා පරාජයට පත්වන බවත් කියනු ඇත.96 නායකයා හෝ ලෝක සූර කණ්ඩායමේ කෙනෙක් මෙහි මුල් පුටුවට ආවත් ප්‍රශ්න විසදෙන්නේ නැත.මූල්‍ය පාලනය වැනි මේ වන විට රට පුරා වැඩ ගොඩක් එකවර ටකරෙන සැළසුම් අවුල් විය හැකිය.එසේම ඒ පැමිණීමකදී ද දැනට රොඳ බැඳ වටව සිටින සියලුම දෙනාට ක්‍රිකට් පරිපාලනයෙන් දන්සල් දාන්නට නොහැකි වන නිසා යළිත් විවේචන ද වෙනම ආකාරයකින් පටන් ගනු ඇත.
කරපු දේ ගෞරවය රැඟෙන පසෙකට වී සිටීම වෙනුවට එය ඇඟේ ගසා ගනිමින් වටේ ඇවිද ඒ කළ දේ ට තමන්ට ඕනි විදිහට රටේ ක්‍රිකට් තමන් ජීවත්ව සිටිනතාක් පැවති යුතු බව සිතීම ක්‍රීඩාවට දක්වන ආදරයක් හෝ ගෞරවයක් නිසා ඇතිවන දෙයක් නොවේය.මානසික රෝගී තත්ත්වයක්ය.මේ මොහොතේ සනත් ජයසූරිය පසුගිය කාලයේ මාධ්‍ය හමුවේ තමන්ගේ ක්‍රිකට් දැනීම ප්‍රචලිත කළ ආකාරය මේ මොහොතේ ප්‍රායෝගිකව පිට්ටනිය තුළට ගෙන ගොස් තිබෙන බව අපි දකිමු.එය සාර්ථකද අසාර්ථක ද යන්න තීරණය කිරීමට දැන් ඔවුන් ගැන ප්රශස්ති ලියූ ඕනෑම අයෙකුට තීරණය කරන්නට හැකිය.
හිත බොහෝ දේවල්වල පටලවා ගන්නේ නැතුව කාන්තා කණ්ඩායමට සුබ පැතීම යුතුකමය.ඒ ජයග්‍රහණයේ සතුට එක්ක එහි බර තේරුම් ගන්න ලකුණු පූවරුවට පිවිස එයද කියවා ගත යුතුමය.මේ සමග ඇත්තේ ලකුණු පූවරුවට පිවිසෙන මඟය.→ https://es.pn/3WqLFPc