පිඟා ඔයට මළ අපද්‍රව්‍ය බැහැර කළ ව්‍යාපාරිකයන් සඳහා නඩු පැවරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් තීරණයක්!

Date:

නදීක දයා බණ්ඩාර - මහනුවර

මළ අපද්‍රව්‍ය සහ ගව ඝාතකාගාර අපද්‍රව්‍ය පිඟා ඔයට බැහැර කරන අකුරණ නගරයේ ව්‍යාපාරික ස්ථාන සඳහා නඩු පැවරීමට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ.

පිඟා ඔයට අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් ගංගා ජලය අපවිත්‍රවීම, පාරිසරික හා සෞඛ්‍ය ගැටලු මතුවීම සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කමිටුව ලැබුණු පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසු අදාල ස්ථාන සඳහා නීතිමය පියවර ගැනීමේ එකඟත්වයකට සම්බන්ධීකරණ කමිටුව පැමිණ ඇත.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මෙම තීරණය ගන්නා ලද්දේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැති කමිටු රැස්වීමේදීය.


මහනුවර අකුරණ මාර්ගයට සමාන්තරව එම නගරය මැදින් දිවෙන පිඟා ඔයා දෙපස ව්‍යාපාරික ස්ථාන රැසක් ඉදිකොට තිබේ. ඉන් වැඩි ප්‍රමාණයක මළ අපද්‍රව්‍ය පිඟා ඔයට බැහැර කරන බවත් ඇතැම් ස්ථාන සඳහා වැසිකිළි අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථානයක් නොමැති බවත් මෑතකදී කළ විමර්ශනයකදී හදුනාගත් බව අකුරණ ප්‍රාදේශීය ලේකම්වරිය සම්බන්ධීකරණ කමිටුව හමුවේ සඳහන් කළාය.


කමිටුවට ඉදිරිපත් වූ කරුණ සලකා බැලීමෙන් පසු මධ්‍යම පරිසර අධිකාරිය,අකුරණ ප්‍රාදේශීය සභාව, අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඒකාබද්ධව අදාල ව්‍යාපාරික ස්ථාන හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ආණ්ඩුකාරවරයා එහිදී උපදෙස් දුන්නේය.


මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින්, ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ දී මළ අපද්‍රව්‍ය බැහැර කිරීම ඇතුලුව අන්තර්ගත විය යුතු සැලැස්ම අනුව අදාල ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කරන ලෙසත් නීති විරෝධී අයුරින් ඉදිකිරීම් සිදුවීම සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගන්නා ලෙස එහිදී සඳහන් කළේය.


ඒ අනුව පිඟා ඔයේ වර්තමාන තත්ත්වය පිළිබඳව අකුරණ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡා කොට අවසන් වාර්තාව ඉදිරි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරන ලෙස ද ආණ්ඩුකාරවරයා අදාල අංශ වෙත එහිදී උපදෙස් දුන්නේය.


මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් සැලසුම් හා ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ රම්‍යා විජේසුන්දර යන මහත්ම මහත්මීන් ද මෙහිදී අදහස් දැක්වීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...

සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සූදානම්. ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවකුත් කැඳවයි!

කොළඹ LNW:ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය...