රදිකා ගුණරත්න
‘පැරදුණා නොවෙයි – ඔබ මා රැවටුවා’ යැයි ගයමින් අගමැතිනී ෂේක් හසීනා පරාජිතව රටෙන් ඉගිලී ගියා ය. ඒ සඳහා ඉන්දියාවෙන් හෙලිකොප්ටරයක් ගෙන්වා ගැනීමට ඇයට සිදුව තිබිණි. හමුදාපති ජනරාල්වරයා ද ඒ ටිකට ඉඩ දී බලා නොසිටියා නම් තරුණ ලේ වැගිරූ දූෂිත අගමැතිනිය මහ දවාලේ එසේ ලෙහෙසියෙන් පළා නොයනු ඇත.
ජූලි මස මැද භාගයේ සිට රජයේ රැකියා කෝටාව වෙනුවෙන් තරුණ ජීවිත 300 කට අධික ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් බිලි ගැනීමත් සමග බංග්ලාදේශය ගිනි වැදුණේය. අවසානයේ හසීනා, රටේ දීර්ඝතම කාලයක් බල ග්‍රහණය රඳවා තබාගත් රාජ්‍ය නායිකාව යන පට්ටමට සමු දී රටෙන් පළා ගියා ය. මුළු ලෝකයම දැන් බලා සිටින්නේ බංග්ලාදේශය දෙස ය.
මේ වන විට අන්තර්ජාලයේ හා සමාජමාධ්‍යවල සැරිසරන වීඩියෝ ගණනාවක ම දැක්වෙන්නේ බංග්ලාදේශ සිසුන් සහ තරුණයන්, හමුදාවට අතට අත දී ආචාර කරන අන්දම ය. ‘මේක තමයි ලංකාවෙයි බංග්ලාදේශයෙයි වෙනස’’ යැයි ද ලංකාවේ ඇතැම්හු ඒවා තම තමන්ගේ ෆේස්බුක් බිත්තිවල ෂෙයා කර ගනිමින් පෝස්ට් දමති. සැබවින්ම ෂේක් හසීනා රටෙන් පන්නා දැමුණේ සහ ඇයට ධුරයෙන් ඉල්ලා අස් වීමට බල කෙරෙන තැනට රට හැදුවේ හමුදාපති ද? මේ ලිපිය ලියන අවස්ථාව වන විට, බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට මග පාදා දී තිබේ.
නමුත් ලංකාවේ ගෝල්ෆේස් අරගලයේ මෙන්ම මේ වන විට ලංකාවේ ද තරුණ ජනතාව ‘Don’t mess with us’ ‘අපිත් එක්ක පැටලෙන්න හදන්න එපා.. දැක්කනෙ.. දැක්කනෙ..’ යැයි කියමින් හුරේ දමති. ඔවුන්ට අනුව ඔවුන් විප්ලවය ජයගෙන තිබේ. ලොකුම වෙනසකට තිබෙන්නේ අගමැති මැදුර කොල්ලකෑමෙන් පසු ජයඝෝෂාවලින් පිරී ඉතිරී ගොස් තිබෙන ඩකා වීදිවල සිට ඔවුහු හමුදාව සමග කරට අත් දමමින් සෙල්ෆි ගසති.
බංග්ලාදේශයේ හමුදාව, වෛරය සපිරි බංග්ලාදේශ දේශපාලනය තුළ ඉතිහාසය පුරාම ලොකු ලොකු චරිත රඟ පා තිබේ. ලේ වැකුණු හමුදා කුමන්ත්‍රණ, ඒකාධිපති පාලන මෙන්ම ශිෂ්‍ය ඝාතන ද ඇතුළත් සිවිල් ඝාතන ද ඔවුන්ගේ ලැයිස්තුවේ ලියැවී තිබේ.
සරලම කාරණය වන්නේ, ෂේක් හසීනාගේ පියා වන ෂේක් මුජිබර් රහ්මන්, බංග්ලාදේශයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන බෙංගාලි ජාතිකවාදී නායකයා වන බවයි. රටේ ජාතියේ පියා වන ඔහු රට පාලනය කළේ ද හමුදාව සිය දකුණත කර ගනිමිනි.
කවුද මේ ජාතිය ඇමතූ ජනරාල් වකර් උස්-සමාන්?
ජනරාල් වකර් උස්-සමාන් (Gen Waker-Uz-Zaman), අගෝස්තු 5 වැනිදා ෂේක් හසීනා සිය සහෝදරියත් සමග රටෙන් පළා යාමෙන් පසුව ටෙලිවිෂනය හරහා ජාතිය ඇමතුවේය.
‘ගරු අගමැතිනිය ඉල්ලා අස්වී ඇත. දැන් අපි අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවා රට වෙනුවෙන් දිගටම වැඩ කරන්නෙමු. අන්තර්වාර ආණ්ඩුවක් යටතේ රටේ සියලු අංශ නැවත සකර්මණ්‍ය වනු ඇත. වඩා යහපත් අනාගතයක් වෙනුවෙන් අපි එකතු වී වැඩ කරමු’’ යැයි ඔහු කීවේ ය.
ප්‍රචණ්ඩත්වයෙන් අරාජික වූ රටක හමුදාපති, ඇඩ්හොක් හෙවත් තත්වාකාර රාජ්‍ය නායකයා වීම සාමාන්‍ය යථාර්ථයකි. නමුත් ප්‍රශ්නය වන්නේ කී කලකට ද යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ එය අතිශය වැදගත් හා තීරණාත්මක ප්‍රශ්නයකි. හමුදා බැරැක්කවල සිටිය යුතු හමුදාවට අගමැති මන්දිරයේ තිබෙන රාජකාරිය කුමක්ද? මෙවර බංග්ලාදේශ මහමැතිවරණය පැවැත්වෙන්නේ හමුදා අණසක යටතේ ද?
මෙවර හසීනා නාටකයේදී බංග්ලාදේශ හමුදාවේ සහ, විශේෂයෙන්ම හමුදාපති ජනරාල්ගේ භූමිකාව කුමක් වී ද? පහතින් ලැයිස්තු ගත කර තිබෙන්නේ කලාපීය හා ලෝක දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ඔබ විසින් ඔහු ගැන දැනගත යුතු කරුණු කිහිපයකි.
- හමුදාපති ජනරාල් වකර් උස්-සමාන්, දශක තුනහමාරකට අධික කාලයක හමුදා සේවයක් ඇත්තෙකි. බංග්ලාදේශයේ ගත වූ දින කිහිපය තුළ සිදුවූ ශිෂ්‍ය ඝාතන 100 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ඔහුගේ දෑත් පිරිසිදු නැත. මෙම සිසුන් උද්ඝෝෂණය කළේ මූලික වශයෙන්, බංග්ලාදේශය පාකිස්ථානයෙන් නිදහස ලබාගත් යුද්ධයට දායක වූවන්ගේ ඥාතීන්ට, ඉහළ වැටුපක් ගෙවන රජයේ රැකියාවලින් ඉහළ කොටසක් ලබාදීමට එරෙහිව ය. ඒ අනුව මෙය පැහැදිලිවම යුධකාමී පියවරක් විය.
- ජනරාල් වකර් උස්-සමාන් රටේ හමුදා ප්‍රධානියා වුයේ මේ වසරේ ජූනි 23 වැනිදා ය. ඔහුව පත් කිරීමට සෘජු දායකත්වයක් අගමැතිනී ෂේක් හසීනා ලබාදුන්නාය.
- ජනරාල් වකර් උස්-සමාන් 1966 සැප්තැම්බර් 16 වැනිදා උපන්නේ එවකට නැගෙනහිර පාකිස්ථානයේ ය. පසුව බංග්ලාදේශය යනුවෙන් නිදහස් සටනෙන් බෙදී වෙන් වන්නේ නැගෙනහිර පාකිස්ථානයයි. බංග්ලාදේශ හමුදා වෙබ් අඩවියට අනුව 1985 දෙසැම්බර් 20 වැනිදා, එනම් වයස අවුරුදු 19 දී ඔහු යුධ සේවයට බැඳුණේය. අනතුරුව බංග්ලාදේශයේ කොතලාවල ඇකඩමිය යැයි කිව හැකි බංග්ලාදේශ් මිලිටරි ඇකඩමියෙන් අධ්‍යාපනය ලබා ඇත. අනතුරුව ලන්ඩනයේ කිංස් කොලීජියෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනනය හදාළේය.
- මුල්කාලයේ ඔහු ස්වාධීන කාලතුවක්කු බල ඇණියේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය.
- හමුදාපති වීමට පෙර ජනරාල් වකර් උස්-සමාන්, බංග්ලාදේශ හමුදාවේ යුධ හමුදා කාර්ය ප්‍රධානියා ලෙස කටයුතු කළේය. පසුව හමුදා ලේකම්වරයා ලෙස ද, අනතුරුව අගමැතිනී ෂේක් හසීනාගේ ප්‍රධාන හමුදා නිලධාරියා ලෙස ද කටයුතු කළේය.
- යුධ හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කළ කාලය තුළ ඔහු හමුදා ක්‍රියාන්විත, හමුදා බුද්ධි අංශ, ජගත් සංවිධාන සාම සාධක මෙහෙයුම් සහ යුධ හමුදා අයවැය සම්බන්ධයෙන් බලධාරියා ලෙස කටයුතු කළේ ය. සාම සාධක මෙහෙයුම්වල කොටසක් වශයෙන්, ජගත් සංවිධානය හරහා ඇංගෝලාව හා ලයිබීරියාවේ සංචාරය ද කළේය.
- පාකිස්ථාන යුධ හමුදාවේ ‘අසහාය සේවා පදක්කම’ සහ ‘ශ්‍රී විභූති පදක්කම’ ඔහු විසින් දිනාගෙන තිබේ.
ඉතින් මේ ජනරාල්වරයා ෂේක් හසීනාගේ සමීපතමයෙකි. අගමැති ෂේක් හසීනාගේ පාලනය විවේචනය කිරීම වෙනුවෙන් සිරගත කර, සතෙකු මෙන් පහර දෙමින් හමුදාව විසින් ඇදගෙන ගිය, එහෙත් සිය ජීවිත කාලය පුරාම අයුක්තිය වෙනුවෙන් හඬ නැගූ ලෝකයේ ප්‍රකට ඡායාරූප ශිල්පියෙකු හා සිවිල් ක්‍රියාකාරිකයෙකු වන බංග්ලාදේශයේ ෂහිදුල් අලාම් අද දහවල් සිය සමාජ මාධ්‍ය තුළ මෙසේ සටහනක් තබා තිබිණි.
‘’හමුදා ප්‍රධානියා යුක්තිය සඳහා ප්‍රතිඥා දෙන්නේ ද්‍රෝහියාට නිදැල්ලේ පළා යන්නට ඉඩ හැරීමෙන් පසුවයි’’
එය සත්‍යයකි. ෂේක් හසීනාගේ රාජ්‍ය පාලනයේ දුර්දාන්ත දිශාව සම්බන්ධයෙන් හමුදාපති ජනරාල්ට ඇඟිල්ල දිගුවීම වැළැක්විය නොහැකි ය. මේ හමුදාපති වනාහී, කලාපීය දේශපාලනය ගැන උනන්දු අය සීරුවෙන් ඇස ගසාගෙන සිටිය යුතු මිලිටරි චරිතයකි. සාමාන්‍යයෙන් දූෂිත රටවල රාජ්‍ය නායකයා සහ මිලිටරි නායකයා ලේ නෑයන් වැනි ය. ඔවුහු, ‘සබඳ අපි කඳු නොවෙමු -උනුන් පරයා නැගෙන’ වැනි ගීත නිතර ගයති.
එනිසා මේ මොහොතේදී ඔබ අප, වසර දෙකකට පෙර ලංකාව මතක් කර ගත්තාට කම් නැත.