විශ්මිගේ ශතකයට අයිති වෙන්නට තිබුණු ජය ඔර්ලාගේ තුන් ඉරියව් දස්කම්වලින් වැළකෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 17, (LNW) කොළඹ :

චමරි අතපත්තුට පසුව ජාත්‍යන්තර එක්දින තරගයකදී ශතකයක් ලැබූ ක්‍රීඩිකාව වීමේ භාග්‍යය අත් කර ගත් විශ්මි ගුණරත්නගේ හැකියාවට ජයග්‍රහණය කරා යාමට ඉඩ නොතැබූ අයර්ලන්තයේ ඔර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට් සිය තුන් ඉරියව් දස්කම්වලින් අයර්ලන්තයට කඩුලු 3 ක ජයක් ලබා දෙන්නට සමත් වූවාය.


කෙසේ වුව ද තවමත් 18 හැවිරිදි වියේ පසුවන විශ්මි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක ලෙස අවුරුදු 18 දී ජාත්‍යන්තර එක්දින ශතකයක් උරුම කර ගැනීමේ වාර්තාව බොහෝ කාලයකට සුරැකෙන එකක් විය හැකිය.කුමන හෝ තරග ආකෘතියක ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ශතක රැස් කිරීමට සමත් වූ ක්‍රීඩිකාවන් අතර තෙවැන්නිය ලෙස ද ඉතිහාසයට එක්වීමට විශ්මිට හැකි විය.චමරි සහ විශ්මි අතර සිටින අනෙක් ජාත්‍යන්තර ශතකලාභිණිය වන්නේ ශ්‍රී ලංකාව මුහුණ දුන් එකම කාන්තා ටෙස්ට් තරගයේ දී අපූරු තුන් ඉරියව් හැකියාවන් පෙන්නූ චාමිනි සෙනවිරත්නය.ඇය එහිදී ලකුණු 105 ක් ලබා ගන්නට සමත් වූවාය.


විශ්මිගේ ශතකයේ දිස්නය අඩු කළ අයර්ලන්තයේ ඔර්ලා එරට වෙනුවෙන් පන්දු 107 දී නොදැවී ලකුණු 122 ක් රැස් කරන්නට සමත් වූවාය.තවමත් 22 හැවිරිදි ඇයගේ ද පළමු ශතකය එය විය.අයර්ලන්තය මේ තරගාවලියේ දී ඇය සම්බන්ධයෙන් විශාල විශ්වාසයකින් කටයුතු කරන බව පෙනෙන්නට ඇති අතර ඔර්ලා අයර්ලන්තයට ජය ලබා දීමේ පළමු පියවර තැබුවේ රැස් කළ විශිෂ්ඨ ශතකයට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ භයානකම පිතිකාරිණිය වන චමරි අතපත්තු මුහුණ දුන් පළමු පළමු පන්දුවෙන්ම දවා ගැනීමට කටයුතු කරමින්ය.පන්දු ඕවර් 8 ක් තුළ ලකුණු 25 ට කඩුලු 3ක් දවා ගත් ඔරල්ාගේ ඉතිරි කඩුලු දෙක වූයේ අනුශ්කා සංජීවනී සහ සුගන්ධිකා කුමාරිය.


විශ්මි,චමරි අතපත්තු ලකුණු නොලබා දැවී ගිය පසුව මේ වන විට වඩාත් විශ්වාසයෙන් පිත්ත හසුරුවන ලාංකේය ක්‍රීඩිකාව බවට පත්ව සිටින හර්ෂිතාගේ ද දායකත්වය ලකුණු 19 ට සීමා වෙද්දී අපූරු සංයමයකින් සහ ප්‍රහාරක වේගය සුරැකෙන පාලනයකින් පන්දුවට පහර එල්ල කරන්නට විය.ඇය සමග තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 122 ක සබඳතාවයක් පවත්වන්නට ලකුණු 46 ක් රැස් කරමින් දායක වූ හසිනි පෙරේරා හැරෙන්නට ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතරින් වෙනත් කිසිඳු ක්‍රීඩිකාවක් හොඳ මට්ටමේ ඉණිමක් දියත් නොකිරීම නිසා ශ්‍රී ලංකා ලකුණු පූවරුව පන්දු ඕවර් 50 නිමා වන විට කඩුලු 8 ට ලකුණු 260 ක් විය.


පන්දු 97 දී ලකුණු 101 ක් රැස් කළ විශ්මි ශතකයෙන් පසුව ද ඒ දක්වා රැඟෙන ආ විශ්වසනීයත්වය සුරැකගෙන තව පන්දු ඕවර් කිහිපයක් කඩුල්ලේ රැදී සිටියානම් විශ්මිට පහසුව ඇති කරන ඉණිමක නිරත වූ හසිනි පෙරේරා ට ද තව දුරටත් කඩුල්ලේ රැදී සිය වගකීම ඉටු කරන්නට තිබිණ.හසිනි ලකුණු පූවරුව ලකුණු 35 ක් ව සිටියදී පිටියට පිවිස ලකුණු 191 වන තෙක් රැදී සිටින්නට සමත් වූවාය.


අයර්ලන්තය වෙනුවෙන් ලකුණු 69 ට කඩුලු 2 ක් බිඳ වැටී සිටියදී පන්දුවට පහර දෙන්නට පැමිණි ඔර්ලා හැරෙන්නට සාරා ෆෝබස් ලකුණු 30 ක් සහ ඇමී හන්ටර් ලකුණු 42 ක් ලබා දෙන්නට සමත් විය.ඔර්ලා දැඩි විශ්වාසයකින් තමන් වටා අයර්ලන්ත ඉණිම ගොඩ නඟමින් වගකීම තමන් වෙත පවරා ගනිමින් අපූරු ඉණිමක් දියත් කරමින් මෙම ජයග්‍රහණය අයර්ලන්තයට ගෙන දුන්නාය.විශේෂයෙන් 44 වන පන්දු ඕවරයේ දි ලකුණු පූවරුව 211 ක් ව තිබියදී අයර්ලන්තයට සිය හත්වන කඩුල්ල අහිමි විය.එතැන් සිට අංක 9 ක්‍රීඩිකාව ජේන් මැගුවර් පන්දු 14 දී ලකුණු 7 ක් පමණක් ලබා ගෙන කඩුල්ල රැක ගනිද්දි ඔර්ලා අටවන කඩුල්ල වෙනුවෙන් නොබිඳ ලකුණු 40 ක සබඳතාවයක් තබන්නට පෙරමුණ ගත්තාය.තරගයේ ජයග්‍රාහී ලකුණ වාර්තා වූයේ 50 වන පන්දු ඕවරයේ දෙවන පන්දුවේදී ය.


ශ්‍රී ලංකාව වෙනුවෙන් කවීශා දිල්හාරි ලකුණු 54 ට කඩුලු 4 ක් දවා ගත්තාය.කෙසේ වුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නියන් වූ උදේශිකා ප්‍රබෝධනී සහ අචිනි කුලසූරිය හොඳින් පන්දු යැව්වාය.එසේ තිබියදී වේග පන්දුවට සුදුසු තණතීරුවක අචිනි පන්දු ඕවර් 6 ට පමණක් යොදා ගැනීම ද විශ්වාසයට ගැනීමට නොහැකිය.එසේම ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණිය විසින් වයිඩ් පන්දු 10 ක් සහ නිපන්දු 2 ක් වමින් අයර්ලන්තයට ලබා දුන් අතිරේක පන්දු ඕවර් 2 සහ ලකුණු ද අඩු කර ගැනීමට හැකි විණිනම් එය ද වැදගත් වන්නට තිබිණ.ශ්‍රී ලංකාව වෙනුවෙන් නිපන්දු දෙකම යොමු කළේ දඟ පන්දු යවන කවීශා දිල්හාරි වීම ද,ඇය සාමාන්‍යයෙන් වැඩි අතිරේක ලකුණු ප්‍රමාණයක් ලබා දෙන පන්දු යවන්නියක් ලෙස දකින්නට ලැබීම ද අවධානය යොමු විය යුතු කාරණයක්ය.

මන්ද ඇය ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින අනාගතයට වටිනාම තුන් ඉරියව් ක්‍රීඩිකාවය.එසේම පන්දු රැකීම ගැන ද ශ්‍රී ලංකාවේ සැළකිල්ල වහ වහා යොමු විය යුතුය.
ලකුණු පූවරුවට මෙතනින් පිවිසෙන්න.→ https://es.pn/3YJ1d3O

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...