අරගලයේ කෙලවර

Date:

ආණ්ඩු වෙනස් කිරීම, නායකයන් වෙනස් කිරීම යන සියල්ල සිදු විය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ලෙසය. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ රටේ මූලික නීතිය වෙයි. ඊට අභියෝග කිරීමේ හැකියාවක් කිසිවකුටත් නැත. කිසිවකු ඊට අභියෝග කරන්නේ නම්, එය ශිෂ්ටත්වය පිළිබඳ ගැටලුවක් සේ සැලකිය හැකිය. ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කර ගත් රාජ්‍යයකි. ආසියාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින පැරණිම රාජ්‍යයන් දෙක ලෙස ශ්‍රී ලංකාව හා ඉන්දියාව සලකනු ලැබේ. මේ තත්ත්වය ආරක්ෂා කරගනිමින් පවත්නා අර්බුදයට විසඳුම් දිය යුතුය යන්න මධ්‍යස්ථ බුද්ධිමතුන්ගේ තර්කය වෙයි.

ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් සියලු පක්ෂවලට ඇරියුමක් කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්විය හැකි පක්ෂයකට ආණ්ඩු බලය ලබා ගැනීමේ අවස්ථාව හිමි වී ඇත. විසඳුමට එකතු වී ඇති තවත් යෝජනාවක් වන්නේ ප්‍රධාන පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත අන්තර්වාර පාලනයක් පිහිටුවීමය. එය අර්බුදයට විසඳුම් සොයමින් මැතිවරණ පැවැත්වීමට සුදුසු පරිසරය සකස් කළ යුතුය. පවත්නා අර්බුදය ක්ෂණිකව කඩා වැදුණු ඇබැද්දියක් නොවේ. එය දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වූ තත්ත්වයකි. ඒ අනුව රටේ දේශපාලනයට සම්බන්ධ සෑම පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් ඊට වගකිව යුතුය. දේශපාලන වාසිය තකා විවේචන ඉදිරිපත් කළ ද කිසිවකුට අර්බුදයේ වගකීමෙන් බැහැර විය නොහැකිය.

වත්මන් ජනාධිපතිවරයා විශාල ජනවරමකින් බලයට පත් වූ නායකයෙකි. ඒ ජනවරම අහෝසි වන්නේ ඊළඟ ජනාධිපතිවරණයකදී ඔහු පරාජයට පත් වුව හොත් පමණි. ජනාධිපතිවරයා කිසියම් හේතුසාධක මත ඉල්ලා අස් වුව හොත් ඊළඟට සිදු විය යුත්තේ ව්‍යවස්ථානුකූලව අගමැතිවරයා ජනාධිපති පදවියේ වැඩ බැලීම සඳහා පත් කිරීමය. එසේ නැත හොත් නැවත ජනාධිපතිවරණයක් පවත්වන තුරු රාජ්‍ය නායකයා බලයේ සිටිය යුතුය. රටේ නායකයා වන්නේ ද ත්‍රිවිධ හමුදාවල ප්‍රධානියා වන්නේ ද ජනාධිපතිවරයාය. ඔහු ඉවත් කිරීම පහසු කාරණයක් නොවේ. ජනාධිපතිවරයා පත් වන ඕනෑම ආණ්ඩුවක ප්‍රධානියා හැටියට ද ක්‍රියා කළ යුතුය. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාවේ නියමය එයයි.

පවත්නා අර්බුදයේ ස්වභාවය හා අනාගතයේ දී ඉන් මතුවිය හැකි අහිතකර විපාක ගැන කාගේත් අවධානය යොමු විය යුතුව තිබේ. මීට වසර කිහිපයකට පෙර අරාබි වසන්තය නිසා රටවල් ගණනාවක් විනාශ මුඛයට ඇද වැටිණි. ඉන් ඇතැම් රටවල් යථා තත්ත්වයට පත් වූ අතර, තවත් රටවල් අර්බුදයේ පතුලටම ඇද වැටිණි. මෙවන් ජන අරගල ඇතැම් විට අන්තර්ජාතික බලපෑම් වෙත ගසාගෙන යන්නට ද බැරිකමක් නැත. ශ්‍රී ලංකාව වැනි රටවල් අතීතයේ දී යටත්විජිත බවට පත් වූයේ ද එදා රටවල් පාලනය කළ අදූරදර්ශී නායකයන්ගේ අසමඟිය හා පාවාදීම් නිසා යැයි සිතන්නට ඕනෑතරම් කරුණු තිබේ. දැන් අප මුහුණ දී සිටින්නේ ද අතිශය තීරණාත්මක අවස්ථාවකටය. මෙය යහපත් අවසානයක් කරා නැඹුරු කිරීමට නම්, නායකයන් පොදු එකඟතාවකට පැමිණ ක්‍රියා කළ යුතුය.

ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

චෝදනාවල සත්‍යතාවක් නෑ.මෛත්‍රී උත්තර බදියි!

කොළඹ LNW:අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට අදාළව තමා...

අපිට මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.හැමෝම සහය වෙන්න – නි. ඇමති මහින්ද ජයසිංහ (VIDEO)

කොළඹ LNW:රට වෙනස් කිරීමේ කටයුත්ත ආණ්ඩුවක් ලෙස තනිව කළ...