අභියෝගය ජයගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුවයි – ජනපතිගේ අවුරුදු පණිවිඩය

උදාවූ සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ පණිවිඩය පහතින් දැක්වේ.


ජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු පණිවුඩය


වර්තමානයේ පවතින ආර්ථික හා ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලාංකේය අපට ඉතිහාසයේ එල්ල වූ විශාලතම අභියෝගයට මුහුණ දීමට සිදු වී තිබේ. අප එය ජය ගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව ය. එල්ල වූ අභියෝග හමුවේ ඔබ අත්විඳි අපහසුතා බොහෝ ය. අපගේ රජය විසින්, පවතින ව්‍යාකූල තත්ත්වයෙන් ජන ජීවිත සුරක්ෂිත කිරීමට පියවර ගනිමින් සිටිමු.


කෙසේ වෙතත් සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව නැවුම් අපේක්ෂාවන් සමඟ පිළිගැනීම පුරාතනයේ සිට පැවත එන අපගේ පිළිවෙත වේ. මෙවර අලුත් අවුරුදු උදාව ද අප සමරන්නේ එකී අපේක්ෂාවන් සහ නැවුම් බලාපොරොත්තු සමඟ ය.


අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය අපගේ දූදරුවන් සතු වේ. දරුවන්හට ඒ අවුරුදු අසිරිය රැක දීම ගැන ඔබ වඩාත් සංවේදී වන බව මම දනිමි.


එසේ ම, අවුරුදු අසිරිය අත්විඳීමට දූදරුවන් සමඟ එක් වීමට අවස්ථාව අහිමි විශේෂ රාජකාරිවල නිරත සැම මෙන් ම විදෙස්ගත සියලු දෙනාගේ කැපවීම සිහිපත් කරමි.


ලැබූවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පවතින අභියෝග ජය ගන්නා සෞභාග්‍යවත් වසරක් වේවා! යි ප්‍රාර්ථනා කරමි.


ගෝඨාභය රාජපක්‍ෂ
2022 අප්‍රේල් මස 14 වන දින

May be an image of text

RN