මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඩරොන් ආජෙමෝලු, සයිමන් ජොන්සන් සහ ජේම්ස් රොබින්සන් යන ආර්ථික විද්‍යාඥයින් තිදෙනාට හිමි වුනා. ඩරොන් ආජෙමෝලු සහ සයිමන් ජොන්සන් MITහි මහාචාර්යවරුන් සේ කටයුතු කරන අතර ජේම්ස් රොබින්සන් චිකාගෝ සරසවියේ මහාචාර්යවරයෙක්. ඔවුන් තිදෙනාම මේ වන විට ඇමරිකානුවන් වුවත් ඩරොන් ආජෙමෝලු උපතින් තුර්කි ජාතිකයෙකු වන අතර ඉතිරි දෙදෙනා උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයින්. මේ තිදෙනාට නොබෙල් තෑග්ග හිමිවන්නේ සංවර්ධන ආර්ථික විද්‍යා සහ දේශපාලන ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රයන් තුළ ඔවුන්ගේ දායකත්වය වෙනුවෙනුයි.
නිදහසින් පසු ඉතිහාසයේ ලොකුම ආර්ථික අර්බුදයට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වන විට එම ආර්ථික අර්බුදයේ ගැඹුරුම තැනින් ගොඩ ඇවිත් තිබෙනවා. එහෙත් තවමත් ගමනාන්තයකට පැමිණ නැහැ. කෙසේ වුවද, පසුගිය දෙවසරක කාලය තුළ ලබාගත් ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරගන්නා අතරම රට දියුණු සංවර්ධිත රටක් කර ගත හැක්කේ කෙසේද යන කතිකාව මේ වෙද්දී බොහෝ දෙනෙකුගේ සාකච්ඡාවට ලක්වන මාතෘකාවක් වී හමාරයි. එම පසුබිම තුළ, මේ වසරේ නොබෙල් ත්‍යාගලාභීන් තිදෙනාගේ පර්යේෂණ ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම අදාළ වෙනවා.
ලෝකයේ ජනගහණයෙන් 50%කගේ ආදායම ලෝකයේ මුළු ආදායමෙන් 10%ක් පමණයි. ඒ වගේම, එම පිරිසගේ මුළු වත්කම ලෝකයේ මුළු වත්කම් වලින් 2%ක් පමණයි. මෙම විෂමතාවයට ප්‍රධාන ලෙසම හේතු වී තිබෙන්නේ රටවල් අතර තිබෙන ආදායම් හා වත්කම් විෂමතාවයනුයි.
ලංකාවේ රැකියාවක් එක දිගට මාස ගණනාවක් කිරීමෙන් පසුවත් අයිෆෝන් එකක් මිල දී ගත හැකි තරමේ මුදලක් එකතු කරගත නොහැකි අයෙකුට විදේශ රටකට යාමෙන් පසුව එම රැකියාවම කර මාසයක වැටුපෙන් අයිෆෝන් එකක් මිල දී ගත හැකියි. මීට කිට්ටු අදහසක් සමාජ ජාලා තුළ වේගයෙන් සංසරණය වී තවමත් වැඩි කාලයක් නැහැ. එහෙම වෙන්නේ ඇයි? ආජෙමෝලු, ජොන්සන් සහ රොබින්සන් විසින් පිළිතුරු සැපයූවේ මේ වැදගත් සහ සංකීර්ණ ප්‍රශ්නයටයි.
ලෝකයේ දියුණු රටවල් දියුණු රටවල් සේ පවතින්නේ එම රටවල් සතු ශ්‍රම සම්පත් සහ ප්‍රාග්ධන සම්පත් වඩා කාර්යක්ෂම අයුරින් ප්‍රයෝජනයට ගැනෙන නිසායි. එසේනම්, අඩු ආදායම් රටවලටද එම ක්‍රමවේද අනුගමනය කිරීම මගින් සිය ආර්ථිකයන් වේගයෙන් වර්ධනය කර ගෙන දියුණු රටවල මට්ටමට පැමිණීමට හැකි විය යුතුයි. දියුණු රටවල් රෝදය සොයා ගැනීමෙන් පසුව අනෙකුත් රටවල් රෝදය නැවත සොයා ගන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, වැඩි වේගයකින් වර්ධනය විය හැක්කේ අඩු ආදායම් මට්ටමක සිටින රටවලටයි.
ඉහත ප්‍රවාදය අනුව අඩු ආදායම් මට්ටමක සිටින රටවල් වැඩි වේගයකින් වර්ධනය වීමට නියමිත නිසා කාලයත් සමඟ රටවල් අතර ආදායම් පරතර නැති වී යා යුතු බව නවසම්භාව්‍ය ආර්ථික විද්‍යාවේ මූලික ආකෘති මගින් පෙන්වා දෙන නමුත් සැබෑ ලෝකයේදී හැම විටම ඒ තත්ත්වය දකින්නට ලැබී නැහැ. ඇතැම් දුප්පත් රටවල් සහ ධනවත් රටවල් අතර ආදායම් පරතරය එන්න එන්නම වැඩි වන බවක් පැහැදිලිව පෙනී යනවා. එහෙම වෙන්නේ ඇයි?
කෙසේ වුවත්, ඇතැම් රටවල් නවසම්භාව්‍ය ආර්ථික විද්‍යාවේ මූලික ආකෘති අනුව සිදු විය යුතු පරිදි, වේගයෙන් වර්ධනය වී සංවර්ධිත රටවල් බවට පත් වී තිබෙනවා. ප්‍රශ්නය හැම රටක්ම එසේ වර්ධනය නොවීමයි. මීට හේතු හොයන එක ඉතාම අසීරු කාර්යයක්.
ලංකාව ගත්තත්, වරින් වර විවිධ අය ලංකාව වෙනත් රටවල් සමඟ සංසන්දනය කරනවා. එසේ සංසන්දනය කරමින් ලංකාව පසු කර වෙනත් රටවල් ඉදිරියට යාමට හේතු ලෙස විවිධ කරුණු ඉදිරිපත් කරනවා. නමුත් මෙවැනි ඉදිරිපත් කිරීම් විද්‍යාත්මක සොයා ගැනීම් සේ සලකන්න බැහැ. ඊට හේතුව, ලංකාව සහ අනෙකුත් රටවල් අතර වෙනස්කම් ගණනාවක් තිබීමයි.
රටක් වේගයෙන් සංවර්ධනය වීමට කිසියම් කරුණක් උදවු වන බව විද්‍යාත්මක ලෙස පෙන්වා දිය හැක්කේ අනෙකුත් කරුණු සියල්ලම නොවෙනස්ව තිබියදී එක් නිශ්චිත කරුණක් පමණක් වෙනස් වීම නිසා රටක ආර්ථිකය වැඩි වේගයකින් වර්ධනය වී ඇති බව පෙන්වා දිය හැකිනම් පමණයි. ආජෙමෝලු, ජොන්සන් සහ රොබින්සන් අත ගැසුවේ මේ අසීරු කාර්යයටයි.
විද්‍යාගාර පරීක්ෂණයදීනම් අප විසින් කරන්නේ පාලිත නියැදියක් පැත්තකින් තියාගෙන පරීක්ෂණ නියැදියක යම් නිශ්චිත වෙනසක් කිරීමයි. එවිට දැකිය හැකි ප්‍රතිඵලයට හේතු වූයේ එම නිශ්චිත වෙනස බව අපට නිගමනය කළ හැකියි. එහෙත් සමාජ විද්‍යාවන්හිදී මේ ආකාරයේ විද්‍යාගාර පරීක්ෂණ සිදු කිරීම ඉතාම අසීරු වැඩක්. මෙයට එක් විසඳුමක් වන්නේ ස්වභාවිකව සිදුව ඇති මේ ආකාරයේ පාලිත විද්‍යාගාර පරීක්ෂණ වලට සමාන අහඹු තත්ත්වයන් පිළිබඳව සොයා බැලීමයි.
නගාලස් කියන්නේ ඇමරිකාව හා මෙක්සිකෝව අතර පිහිටි මායිම් නගරයක්. ඇමරිකාව හා මෙක්සිකෝව අතර දේශ සීමා වැට යන්නේ මේ නගරයේ මැදින්. වැටෙන් උතුරේ තිබෙන්නේ ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයයි. දකුණු කොටස අයත් වන්නේ මෙක්සිකෝවේ සොනෝරා ප්‍රාන්තයටයි. මේ කොටස් දෙකේම ජීවත් වන මිනිසුන් එකම සම්භවයක් ඇති, එකම සංස්කෘතියකට අයත්, එකම දේවල් කන බොන, එකම භාෂාව කතා කරන, එකම ආකාරයේ සිංදු අසන පිරිසක්. කොටස් දෙකේ දේශගුණයේ හෝ පසේ වෙනසක් නැහැ. ඒ කියන්නේ මේ කොටස් දෙක හැම අතින්ම වගේ සමානයි.
එහෙත්, නගාලස්හි උතුරු කොටසේ ජීවත්වන අය වඩා ධනවත්. වඩා සුවපහසු දිවියක් ගත කරන ඔවුන් වැඩි කාලයක් ජීවත් වෙනවා. ඊට සාපේක්ෂව දකුණු කොටසේ ආයු අපේක්ෂාව අඩුයි. ආදායම් මට්ටම් අඩුයි. අපරාධ වැඩියි. මේ වෙනස්කම් වලට හේතු වී තිබෙන්නේ කුමක්ද? ඒ දේශගුණය, පස හෝ සංස්කෘතිය වෙන්න බැහැ. මිනිසුන්ගේ ජාන වල වෙනස්කම් වෙන්නත් බැහැ. එකම වෙනස දෙපැත්තේ ආයතනික ව්‍යුහයන්හි වෙනසයි.
නගාලස්හි උතුරු කොටසේ ජීවත් වන අය දිගු කාලයක් තිස්සේ පෞද්ගලික දේපොළ අයිතිය හොඳින් තහවුරු වූ සහ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති ආයතන පද්ධතියක් සමඟ ජීවත් වෙනවා. දකුණු කොටසට ඒ දේවල් ලැබී විශාල කාලයක් නැහැ. ඒ අනුව, ආදායම් විෂමතාවන්ට හේතු වී තිබෙන්නේ පෞද්ගලික දේපොළ අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතිය බව හඳුනා ගත හැකියි.
මේ ස්වභාවික පරීක්ෂණය සිදු කළ හැකි තවත් තැන් ලෝකයේ තිබෙනවා. උතුරු හා දකුණු කොරියා මායිම එක් උදාහරණයක්. පැරැණි නැගෙනහිර ජර්මනිය හා බටහිර ජර්මනිය අතර මායිම් ඉර තවත් එකක්. ඒ හැම තැනකින්ම තහවුරු වන්නේ රටක් වේගයෙන් සංවර්ධනය වීම සඳහා පෞද්ගලික දේපොළ අයිතිය හොඳින් තහවුරු වූ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතියක් කොයි තරම් දුරට දායක වන්නේද යන්නයි.
~ ඉකොනොමැට්ටා
RN