කොළඹ LNW:පසුගිය මැතිවරණ සමයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සිට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහය පළකරමින් සිලින්ඩරය සමඟ එක් වූවන් යළි පක්ෂයට සම්බන්ධ කරගැනීමට මෙතෙක් නිල වශයෙන් සාකච්ජාවක් හෝ තීරණයක් ගෙන නොමැති බව හිටපු පාර්ලිමේන්තුව මන්ත්රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.
කෙසේවෙතත් තමන් අපහසු වෙලාවක පක්ෂය හැරදමාගිය අය නැවත එක්කරගැනීමට පෞද්ගලිකව විරෝධයක් පවතින අයෙක් බවයි හිටපු මන්ත්රීවරයා සඳහන් කරන්නේ.
‘‘අමාරු වෙලාවේ දාලා ගිය අය නැවත එකතු කරගැනීමට පෞද්ගලිකවම විරෝධතාවක් තියෙන පුද්ගලයෙක් මම. ඒක මගේ පෞද්ගලික මතය. හැබැයි පක්ෂයක් විදිහට ඉදිරියට යාමේදී පක්ෂය ගන්න තීරණයට හිස නමන පුද්ගලයෙක් මම. කවදාවත් මම පක්ෂේ තීරණයෙන් පිට යන්නේ නැහැ. පක්ෂේ ඉහළම කණ්ඩායම් එක්ක ඉන්න පුද්ගලයෙක් විදිහට මම බොහොම වගකීමෙන් කියනවා අදවෙන තාක්කල් පක්ෂය හැර ගිය අය නැවත සම්බන්ධ කරගන්නෙ කොහොමද? සම්බන්ධ කරගත යුතුද? යන කාරණය කොහෙවත් නිල වශයෙන් සාකච්ජා වුණේ නැහැ.” යනුවෙන් ඔහු තවදුරටත් පවසයි.
ආශිකා බ්රාහ්මණ