කාලයෙන් කාලයට මතුවෙන සහල් ප්‍රශ්නය මේ වනවිට නැවත වතාවක් උණුසුම් වෙමින් තිබේ. සහල් සඳහා පනවා තිබුණු උපරිම සිල්ලර මිල ඉහළ දැමීමට රජය කටයුතු කළ අතර සහල් හිඟයට පිළියම් වශයෙන් සහල් ඉන්දියාවෙන් ආනයනය කිරීමට ද ක්‍රියාමාර්ග ගෙන ඇත. එහෙත් පවතින තත්වය තුළ ඉන්දියාවෙන් ආනයනය කළ සහල් ලබන සතිය වනවිට වෙළඳපොලට පැමිණියත් ඒවාත් අලෙවි වනු ඇති ජනතාවට සහනයක් ලැබෙන මිලකට නොවේ.
පසුගිය කන්නයේදී වී මිලදී ගැනීම සඳහා රජය මැදිහත් නොවූ බැවින් රජය සතුව වී සංචිත නොමැති වීම මේ වනවිට පවතින ප්‍රශ්නයේ මූලය වශයෙන් පෙනේ. ඒ අනුව ලබන කන්නයේ සිට වී අලෙවි මණ්ඩලය හරහා රජය වී මිලදී ගන්නා බවත් එවිට සහල් ප්‍රශ්නයක් නැවතත් උද්ගත නොවන බවත් රජයේ පාර්ශ්වයෙන් පැවසේ.
එහෙත් මීට පෙර වසර ගණනාවක් තිස්සේ වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදී ගැනීමේදී සිදුවූ සිද්ධීන් සිහිපත් කිරීමේදී එය ද ස්ථිරසාර විසඳුමක් වශයෙන් සැලකිය නොහැක. වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගතත් වී වේළීමට හැකියාවක් නැත. එහෙයින් ඔවුන් මිලදී ගන්නේ තෙතමනය අඩු වී පමණි. බහුතරයක් ගොවීන්ට අවශ්‍ය වී ඇත්තේ අස්වනු නෙළූ සැණින් වී විකුණා ණය තුරුස් බේරීමට බැවින් ඔවුන් කරන්නේ තෙතමනය ගැන ප්‍රශ්න නොකරන පෞද්ගලික අංශයට වී අලෙවි කිරීමයි. එසේම රාජ්‍ය අංශයේ ඇති අකාර්යක්ෂමතාවය ඇතුළු දුර්වලතා ගණනාවක් හේතුවෙන් මෙන්ම මිලදී ගන්නා වී සහල් බවට පත්කිරීමේ යාන්ත්‍රණයක් ද රජයට නොමැති වීම හේතුවෙන් රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලියෙන් ද ලැබෙන්නේ අර්ධ ප්‍රතිඵලයක් පමණි.
එසේ නම් මේ සහල් ප්‍රශ්නය විසඳීමට මුල පුරන්නේ කෙසේද ?
වර්තමානය වනවිට මේ ප්‍රශ්නය සංකීර්ණ වී ඇති ස්වභාවය අනුව මීට ස්ථිරසාර විසඳුමක් සෙවීම සඳහා කළ යුතු ඇත්තේ ටොන් 10,000 බැගින් වන වී ගබඩා සංකීර්ණ (Silo) 100ක් රජය විසින් දිවයින පුරා ඉදිකිරීමයි. මෙම ගබඩා සංකීර්ණ මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ භාවිතය සඳහා ලබාදිය යුතු වේ. මහා පරිමාණ මෝල් හිමියන්ගේ ඒකාධිකාරිය බිඳ දැමීමට මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට හැකියාවක් නොමැත්තේ බැංකු ණය හරහා හෝ වී මිලදී ගත්තත් ඒවා ගබඩා කිරීමට ඔවුන්ට පහසුකම් නොමැති බැවිනි. එම අඩුපාඩුව ඉහත ආකාරයෙන් සම්පූර්ණ කිරීමට හැකි අතර එහිදී වී ටොන් මිලියනයක් රජය විසින් අලුතින් ඉදිකළ ගබඩාවලට පැමිණෙනු ඇත. එම වී සංචිත කොතරම් භාවිතා වන්නේද, කොතරම් සහල් නිෂ්පාදනයක් සිදුවන්නේද යනාදී තොරතුරු දිනපතාම ලබාගැනීමට රජයට හැකියාව ලැබෙන අතර සහල් හිඟයක් මවාපෑමට හෝ මිල වැඩිකිරීමට ඉන් ඉදිරියට කිසිවෙකුට නොලැබෙනු ඇත.
මෙය මධ්‍යම පරිමාණ මෝල් හිමියන් සහ රජය ඒකාබද්ධව සිදුකරන වැඩපිළිවෙලක් වශයෙන් ද හැඳින්විය හැක. වී ගබඩාවේ අයිතිය රජයට ය. මිලදීගත් වීවල අයිතිය මෝල් හිමියන්ට ය. වී මිලදී ගැනීම සහ සහල් නිෂ්පාදනය සම්බන්ධ සෘජු තොරතුරු ප්‍රමාණයක් සමගින් වෙළඳපොල පාලනය කිරීමේ බලයක් රජයට හිමිවන අතර මහා පරිමාණ මෝල් හිමියන්ගේ ඒකාධිකාරිය බිඳ දැමීමේ හැකියාවක් මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ලැබේ.
මෙම එක් වී ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට රුපියල් මිලියන 75ක පමණ මුදලක් වැයවනු ඇත. මේ සෑම ගබඩා සංකීර්ණයකටම වී වේළන යන්ත්‍රණයක් ද ලබාදීමට පසුව කටයුතු කළ හැකිය. ආරම්භයක් වශයෙන් මෙවැනි ගබඩා සංකීර්ණ 10ක් ඉදිකිරීමට හැකි අතර ඒ සඳහා වැයවන රුපියල් මිලියන 750 මෙවර සහල් ආනයනයේදී ලැබෙන බදු මුදලෙන් යෙදවීමට හැකිවනු ඇත.
එතරම් වියදමක් දැරීමටත් අපහසු ආර්ථික වාතාවරණයක් පවතින්නේ නම් එක් වී ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමෙන් හෝ මේ කාර්යය ආරම්භ කිරීමට රජයට පුළුවන.
මේ හැර වෙන කුමක් කරන්නට ගියත් එය තිරසර විසඳුමක් නොවෙනවා පමණක් නොව අලුතින් ගැටලු රැසක් ද නිර්මාණය කරනු ඇත.
~ රංජිත් නිශාන්ත