රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ (LNW):
අද (16) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව සිදුවීමට නියමිත බව සඳහන් වේ. ඉන්දියාවේ තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඊයේ (15)ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, එහිදී දෙරටට වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.
ඊයේ (15) පස්වරුවේ , ජනාධිපතිවරයා ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් යන මහත්ම මහත්මීන් හමුවී ඇත .
.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ , ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් මහත්මිය අතර පැවති හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා පැවැති බවයි.
ඉන්දියානු සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම, ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද, එහිදී සාකච්ඡා වී ඇතැයිද වාර්තා වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා අතර හමුව ඉතා සුහදශීලි ලෙස පැවැති බවත් , ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය ඇති කිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළෙඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ එහිදී අවධානයට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මෙරට සංචාරක, ආයෝජනය සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා සහාය දැක්වීමට ඉන්දියානු රජය එකඟතාවය පළ කරන බව එහිදී ආචාර්ය එස්.ජයිශංකර් මහතා කියා සිටි බවත්, ධීවර කර්මාන්තය සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම ඇතුළු අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳව ද එම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු බවත්, ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේය.
ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බැහැ දැක කලාපීය ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කර ඇති අතර , විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටි බව තොරතුරු සඳහන් වේ.