සටහන – රුවන් නෙළුගොල්ල
පසුගිය ආණ්ඩුව 2048දී රට සංවර්ධනය කරන්නේයැයි කියූ විට ඉවසාගෙන සිටි මාධ්‍ය සහ ජනතාව වත්මන් ආණ්ඩුවට දින 48ක් පිරෙන්නටත් පෙරම ආණ්ඩුවට එරෙහි දැවැන්ත මතවාදයක් ගොඩනඟමින් සිටින බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.
“මේ ප්‍රශ්න ඇතිවුණු මූලයන් හොයන්නෙ නැතිව වර්තමාන ආණ්ඩුව ඉලක්ක කරගත්ත දැවැන්ත මතවාදයක් හදන්න ඇතැම් මාධ්‍ය ආයතන මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන බව පේනවා. සහල් ප්‍රශ්නයක් තියෙන එකට මූලිකම හේතුව තමයි සහල් ඒකාධිකාරයක් කීපදෙනෙක් මත ගොඩනඟන්න පහුගිය ආණ්ඩු දිගින් දිගටම කටයුතු කළා. ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණය විශාල ප්‍රමාණෙකින් බිඳ දැම්මා. රජයේ වී ගබඩා ටිකට වී ගන්නෙ නැතිව පැඩි මාකටින් බෝඩ් එක අක්‍රිය කරලා ඒ ගත්ත ක්‍රියාමාර්ගත් එක්ක තමයි මේ තත්වය ඇතිවෙලා තියෙන්නෙ. ඒ නිසා ගරු ජනාධිපතිතුමා අපේක්ෂා කරනවා ලබන අවුරුද්දේ සැලකිය යුතු සහල් ප්‍රමාණයක් රජය යටතේ තියාගන්න. දැන් ලුණු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. පසුගිය කාලයේ යම් අයහපත් කාලගුණික තත්වයකුත් ඇතිවුණා. ඉතින් ලුණු නැත්නම්, හාල් නැත්නම්, පොල් නැත්නම් ඇත්තටම වගකියන්න ඕනෙ පහුගිය හිටපු ආණ්ඩුව. මොකද ඇත්තටම මේ ආණ්ඩුව තවම දින 48ක් ගියෙ නෑ. 2048 රට හදනවායි කියනකොට ඉවසන් හිටපු මාධ්‍ය, ඉවසන් හිටපු ජනතාව මේ ආණ්ඩුවට දින 48ක් යන්න කලින් දැන් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත මතවාදයක් ගෙනියනවා. ඒ මතවාදය ඇත්තටම ඉදිරිපත් කරන්න ඕනෙ පහුගිය රජයට කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි උත්තර හොයනවා. කෘෂිකර්මාන්තයේ දැවැන්ත සංවර්ධනයක් අපි අපේක්ෂා කරනවා. ලබන අවුරුද්ද වෙනකොට ඒ වැඩපිළිවෙල ආරම්භ කරනවා. අපි හිතනවා එයින් පස්සෙ මේ ප්‍රශ්න ටිකට හොඳ උත්තරයක් ලැබෙයි කියලා”
නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 20) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමක් අමතමිනි.