සටහන: පුන්සරා ලියනගේ
2025 ජනවාරි 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ජීවිතයත් එක්ක ගේම්ස් ප්ලේ කරන අදකාලේ ඈයන්ට අමුතුම අත්දැකීමක් සපයන ජීවිතය තීරණය කරන ගේමක් නොහොත් “Squid Game” හි ඇතුළාන්තය විවරණය කිරීමටයි මේ සූදානම;
දකුණු කොරියානු ඩිස්ටෝපියන් පැවැත්ම සහතික කරමින් ත්‍රාසජනක රූපකරණයකින් ආ “Squid Game” කතා මාලාව Netflix සඳහා Hwang Dong-hyuk විසින් නිර්මාණය කරන ත්‍රාසය, භීතිය, කුතුහලය පිරි නිර්මාණයකි. දැඩි මූල්‍ය දුෂ්කරතාවන්ට ලක්ව සිටින ක්‍රීඩකයින් 456 දෙනෙකු වටා මෙම කතා මාලාව භ්‍රමණය වනු ඇත. තමන්ගේ දුෂ්කරතා වෙනුවෙන් ජීවිතයද බිල්ලට දීමට සූදානම් වන මොවුන්ගේ ජීවිතය ක්‍රීඩාවකට යටවන සැටි හරි අපූරුවට මෙහි ගැබ්ව පවතී.
Hwang Dong-hyuk මෙම නිර්මාණය පිළිබඳ අදහස ඉදිරිපත් කර ඇත්තේ, ඔහුගේම ජීවිත මෙන්ම ආර්ථික අරගල සහ දකුණු කොරියාවේ පවතින පන්ති විෂමතාවය සහ ධනවාදය පදනම් කරගෙනය.
“මට කොරියානු ජනතාවට පමණක් නොව ගෝලීය වශයෙන් අනුනාද වන යමක් නිර්මාණය කිරීමට අවශ්‍ය විය. මෙය මගේ සිහිනයක් ද විය.” Hwang ගේ අදහස මෙය වූ අතර, සමස්ත ගෝලීය ආර්ථික ක්‍රියාවලිය අසමාන බවත්, ඉකුත් වසරවල වෛරසයෙන් පීඩා විදි දුප්පත් රටවලට ඔවුන්ගේ ජනතාවට එන්නත් ලබා ගත නොහැකි වීමත්, ඔවුන් වීදිවල තිරිසනුන් මෙන් දුක් විඳි ආකාරය ද හුවා දක්වමින්, නවීන ධනවාදය ගැන පණිවිඩයක් දීමට මෙම කතා මාලාවෙන් ඔහු ගත් උත්සාහය පිළිබඳව ද මෙසේ පැවසීය.
ඔහු 2009 දී මෙම කතාවට ආරම්භයක් ගත්තා වූ නමුත්, Netflix 2019 දී පමණ මෙම නිර්මාණයට යම් දායකත්වයක් ලබා දෙන තෙක්ම එම අදහසට අරමුදල් සැපයීමට කිසිදු නිෂ්පාදන සමාගමක් සොයා ගැනීමට Hwang හට නොහැකි විය.
Squid Game හි පළමු කතා මාලාව 2021 සැප්තැම්බර් 17 වන දින ලොව පුරා විචාරක පැසසුමට සහ ජාත්‍යන්තර අවධානයට ලක් වූයේ හරි අහම්බයෙනි. එය Netflix හි වැඩිපුරම නැරඹුම් සංඛ්‍යාතයක් ලද කතා මාලාව බවට පත් වූ අතර ප්‍රයිම් ටයිම් එමී සම්මාන හයක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් ඇතුළුව බොහෝ ඇගයීම් රැසකට නම් ලද අග්රගන්යයේ නිර්මාණයක් විය.
එහි දෙවන කතා මාලාව ප්‍රේක්ෂකයන්ගේ නොඉවසිලිමත්භාවය නෙරපාලමින් 2023 ජූලි මස සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කළ අතර, එය 2024 දෙසැම්බර් 26 වන දින නිකුත් කරන ලදී.
වෙස්මුහුණු පැළඳ සිටි මුරකරුවන් රෝස පැහැති ජම්ප් සූට් හැඳ සිටින අතර තරඟකරුවන්ට ගැලපෙන කොළ පැහැති ට්‍රැක් සූට් ලබා දී ඇත. ඔවුහු සියල්ලෝම සාම්ප්‍රදායික කොරියානු ළමා ක්‍රීඩා කරමින් මූල්‍යමය ජීවිතය වෙනුවෙන් ජීවිත අරගලයක නියැලෙති. හරියට අපි නොදැනීම කරන්නෙත් අපේ පන්තිය මේන්ටේන් කරන්න ගහන ගේම් එකක කොටස්කරුවකු ව එය ප්ලේ කිරීමකි. මෙහි පැරදෙන අයවලුන් මරා දමන අතර, රියැලිටියේ මරණය වෙනුවට මැරි මැරී ජීවිත් වීමම නිදසුනට ගත හැක.
මෙවර කතා මාලාව Lee Jung-jae, Lee Byung-hun, Im Si-wan, Kang Ha-neul, Wi Ha-joon, Park Gyu-young, Lee Jin-wook, Park Sung-hoon, Yang Dong-geun, Kang Ae-shim, සහ Jo Yu-ri යන අයවලුන්ගේ රංඟන දායකත්වයෙන් නිර්මාණය වී තිබේ.
එක්සත් ජනපදයට යාම අත්හැර දමා නැවත මෙම අහිරහස් ක්‍රීඩා වෙත පිවිසීමේ අරමුණින් මෙය එළැඹෙන්නේ Seong Gi-hun “Squid Game” ක්‍රීඩාව ජයග්‍රහණය කර වසර තුනකට පසුවය.
ඔහු නැවත වරක් අභිරහස් දිවි ගලවා ගැනීමේ ක්‍රීඩාවට හවුල් වෙමින්, ₩ බිලියන 45.6 ත්‍යාගය දිනා ගැනීම සඳහා එක්රැස් වූ නව සහභාගිවන්නන් සමඟ ජීවිතය හා මරණය අතර දෝලනය වන ක්‍රීඩාව ආරම්භ කරයි.
මුලදී, ඔහු Squid Game ඉවත් කිරීමට රහස් පරීක්ෂක Jun-Ho සමඟ එකතු වන විට ඔහුට සැලසුමක් ඇති බව පෙනේ.
සැලසුමට අනුව Gi-hun ගේ මුඛයේ දතක් තුළ තැන්පත් කර ඇති ට්‍රැකර් හරහා මොවුන් සම්බන්ධ වී සිටිනු ඇත. Gi-hun නැවත පිටියට ගියත්, GPS සංඥාව Jun-ho ට පෙන්වන්නේ වෙනත් ස්ථානයක වන අතර ට්‍රැකර් එක දැනටමත් ඉවත් කර ඇති බව එහිදී හෙළිදරව් වෙයි, ක්‍රීඩාව තුළ සිට සෑම දෙයකටම තනිවම මුහුණ දීමට Gi-hun ට සිදු වෙයි.
Jang Geum-ja සාමාන්‍ය මවක් මෙන් තම පුතාට බැණ වැදුණු අවස්ථා මෙහි මුහුණුවලට සිනහවක් ගෙන එන්නට සමත් විය. නමුත් චිත්තවේගය උපදවමින් Yong-Sik ක්‍රීඩාවේ රැඳී සිටීමට සැරසීම ඔහු තම මවට හෙළි කරන්නේ ඔහුගේ ණය ඇය දැන සිටියාට වඩා වැඩි බවකි.
Kang No-Eul, ආරම්භයේ සිටම සොයමින් සිටි ඇගේ අලුත උපන් දියණිය හැර යද්දී ඇගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා මරා දමා දකුණු කොරියාවට පලා ගියාය. ඇය සහභාගිවන්නියක් ලෙස ක්‍රීඩා වලට සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කළද, ඇය ඒ වෙනුවට සොල්දාදුවෙකු බවට පත් ව, ඇයගේ චරිතය වඩාත් අද්භූත බවට පෙරළීය.
සික්ස්-ලෙග්ඩ් පෙන්ටත්ලෝන් යනු කොරියානු ක්‍රීඩාවක් වන අතර එහිදී තරඟකරුවන් එක්වී විවිධ අභියෝග පහකට නියමිත වේලාවක් තුළ මුහුණ දෙමින් සම්පූර්ණ කරයි. එයද මෙම දෙවන කතා මාලාව තුළ පුදුමයක් උපදවයි.
කැප්ටන් පාර්ක් යනු ඔහුගේ පසුබිම තවමත් නොදන්නා තවත් චරිතයකි.
මෙවැනි බොහෝ අයගේ සිදුවීම් සහ ජීවිත සටනට Squid Game සම්බන්ධ වීමත් ඒවාහි විවිධාකාර පැතිකඩවල් සමාජයට පෙන්වා දීමට Squid Game 2 හි ඔවුන්ගේ උත්සාහය මනාව පෙනේ.
නිකුත් වී පළමු දින තුන තුළ, “Squid Game” දෙවන කතා මාලාව මිලියන 68ක් නරඹා ඇති අතර, එහි මංගල සතිය තුළදී මිලියන 50.1ක් එය නරඹා ඇතැයි සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි. Netflix ට අනුව, මෙවර කතා මාලාව රටවල් 92 ක ප්‍රමුඛස්ථානයට පත්ව ඇත.
“Squid Game has no solutions for the fictional bleak and sadistic world it presents, nor for the real world it reflects; only a reminder that the house always wins at the expense of the players”