කොළඹ LNW:සමාජවාදය කියන්නේ සරල ආර්ථික ක්‍රමයක්. ආර්ථික විද්‍යාත්මකව ඒකේ ඉගෙන ගන්න වැඩි දෙයක් නැති ගාණයි. ඒත් ධනවාදය ගැන මාක්ස්වාදී විදිහට ඉගෙන ගත්ත කෙනෙක් හිතන්නේ ධනවාදය ගැන එයා ධනවාදියෙකුටත් වඩා හොඳට දන්නවා, ඒ නිසා ධනවාදය වුණත් හරියට කරන්න එයා දන්නවා කියලා. ඉතිං ඒ දන්නකම තමයි ඔය අපූරුවට ප්‍රදර්ශනය කරමින් ඉන්නේ. දැන් ඉතිං ධනවාදය ඉගෙන ගනිමින් තමයි අණ්ඩුව කරගෙන යන්න වෙන්නේ. හැබැයි සෑහෙන තරමක පහසුවක් වේවි “ධනපතියන්ගේ ආර්ථික විද්‍යාව” වශයෙන් හෙලා දැකපු මාක්ස්වාදී නොවන (සාමාන්‍ය) ආර්ථික විද්‍යාවත් වගකීමෙන් හදාරලාම වැඩේ කර ගෙන ගියා නම්. එහෙම කළොත් ෆැන්ටසිමය සමාජවාදී සිහිනයෙන් මිදෙන්නවත් පුළුවන් වේවි අඩුම ගාණේ.
මාක්ස්වාදී ආර්ථික විද්‍යාව ජවිපෙ අධ්‍යාපන ක්‍රියාවලිය ඇතුළේ පැය විසි හතරකට වඩා අඩු පාඩමක්. ධනවාදයේ ස්වරූපය හෙවත් ප්‍රාග්ධනයේ කාර්‍යභාරය, ප්‍රාග්ධනයේ සංකේන්ද්‍රණ විසින් ඇතිකරන අර්බුදකාරී විපාකය, අර්බුදය මගින් සිදුවන ධනවාදයේ අනිවාර්ය විනාශය පිළිබඳ හිතලුවක් සහ විනාශයෙන් පස්සේ ගොඩ නගන සමාජවාදී ආර්ථික ක්‍රමයක් (එනම් පොදු දේපොළ ක්‍රමයක්) ගැන සරල දැනුමකට එහා දෙයක් ඒ පාඩම ඇතුලේ නෑ. සාර්ව ආර්ථිකයට අදාල කරුණු ප්‍රමාණයක් අතිරේක වශයෙන් කතා කළාට, ඒ කරුණුවල තියෙන්නේ ධනවාදී (වෙළඳපොල) මූලධර්ම ගැන මිසක් සමාජවාදීන්ට ආවේණික අමුතු මූලධර්ම ප්‍රමාණයක් නම් නෙවෙයි.
ඉතිං කොහොමද එහෙම පටු දැනුමකින් ධනවාදී ගෝලීය යථාර්ථය එක්ක ගැට ගැහුණු මේ ආර්ථික අර්බුදයේ තත්ත්වයන් සහ විසඳුම් විග්‍රහ කර ගෙන ක්‍රියාත්මක කරන්නේ? බැරි නෑ! අර සමන්ත විද්‍යාරත්න කිව්ව විදිහට, අපි උඹලගේ ණය ගෙවන්නෙත් නෑ. ආයේ උඹලගෙන් ණය ගන්නෙත් නෑ. ණය දෙනවා නම් උඹලගේ කොන්දේසි යටතේ නොවෙයි, අපේ කොන්දේසි යටතේ දීපල්ලා කියලා ඇත්තටම වැඩ කරන්න පුලුවන් නම් විතරක්.
ආර්ථික විද්‍යාව කියන්නේ ධනවාදයේ ස්වරූපය සහ ඒ ක්‍රමය සමග මිනිස්සු (සමාජය සහ රාජ්‍යය) හැසිරෙන විදිහ උගන්වන විද්‍යාවක්. ඒ පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් සාපෙළ අවසන් වෙනකොට දරුවන්ට ලබා දීම පුරවැසියන්ගේ දේශපාලන සාක්ෂරතාව දියුණු කරන්න හේතුවක් වෙනවා. ඒත් ඒ දැනුම ළමයිට දෙන්න ඕන ගිරව් වගේ කට පාඩම් කරවලා විභාගවලින් මතකය මැනලා ලකුණු දෙන්න බලාගෙන නොවෙයි, ආර්ථික ක්‍රියාවලියේ සැබෑව මෙන්න මේකයි කියන එක වටහා ගන්න පුලුවන් තරමේ දියුණුවක් ඇති පුරවැසියන් බිහි කිරීමේ අරමුණ පෙරදැරි කර ගෙන.
ඇත්ත වශයෙන්ම සාපෙළ දක්වා උගන්නන සෑම විෂයයක් අරඹයාම ප්‍රාථමික අධ්‍යාපනයේ පළමු අරමුණ වෙන්න ඕන රාජ්‍ය අරඹයා ප්‍රබුද්ධ පුරවැසියෙක් නිර්මාණය කිරීම.
එහෙම ප්‍රබුද්ධකමක් තියෙන පුරවැසියෙක් ඉස්සරහට, බඩු මිලයි, බදු බරයි ගැන අඳෝනා කතා කියාගෙන ඡන්දෙ ඉල්ල ගෙන එන්න කාටවත් බෑ. මොකද එහෙම ප්‍රබුද්ධකමක් තියෙන පුරවැසියා දන්නවා ඒ ප්‍රශ්නවල සැබෑ තත්ත්වය මොකක්ද කියලා. බඩු මිල කියන්නේ වෙළඳපොල කාරණාවක්. බදු කියන්නේ රාජ්‍යමය කාරණාවක්. මිනිස් සමාජය රාජ්‍යමය ආකාරයකට පරිවර්තනය වෙන්නේ බදු ක්‍රමයත් එක්කම බව බුදුන් වහන්සේ පවා ප්‍රකාශ කර තිබෙන බව “අග්ගඤ්ඤ සූත්‍රය” කියවලා තියෙන කෙනෙක් දන්නවා.
මේ ආර්ථික අර්බුදය ඇති වුණාම ඒක ඇති වුණේ කොහොමද කියලා, මුලු ආර්ථික විද්‍යාවම කට පාඩම් කරලා ඒ පිළිබඳ උපාධිය ගත්ත සමහරුන්ට පවා තේරුම් ගන්න බැරි වුණාට ඒ ගැන සමාජ ව්‍යවහාරය ඇතුලේ තමන්ගේ දේශපාලන සවිඥානය උරගාමින් හේතු හොයපු “අපේ නඩේ” එවුන්ට නම් පුලුවන් වුණා පහසුවෙන් තේරුම් ගන්න. ඒක පැරණි වමේ සමාජවාදීන් විසින් රෝපණය කරලා අලුත් වමේ සමාජවාදීන් විසින් සටන් කරමින් ආරක්ෂා කරපු ආර්ථික මොඩලයේ ප්‍රශ්නයක් මිසක් ජවිපෙ කියන විදිහට ධනවාදයේ ප්‍රශ්නයක් නම් නොවෙයි.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/358526435-1024x765.jpg)
“ධනේශ්වර ක්‍රමයේ අර්බුදය”
ඒ තමා ජනතා විමුක්ති පෙරමුණේ “පංති පහ” නමින් ප්‍රසිද්ධ දේශන මාලාවේ පළමුවෙනි දේශනය. (ඒ දේශන පහට මං සහභාගි වෙන කාලේ මතක හැටියට මගේ වයස අවුරුදු දොළහක් විතර ඇති) ඉතිං ලංකාවේ මේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය ඇති වුණේ කොහොමද කියන එක ජවිපෙ තේරුම් අරන් ඇත්තේ ඒ දේශනයෙන් විග්‍රහ කරන විදිහට ධනවාදයේම අර්බුදයක් විදිහට වෙන්න ඕන. ඒක එහෙම නම් ඒකට ජවිපෙ විසඳුම විය යුත්තේ සමාජවාදය වෙන්නත් ඕන. සමාජවාදීන්ට බලය ලබා ගැනීමට හැකි වෙන්නේ ධනවාදය අතිශයින්ම අර්බුදයට පත් වෙන මොහොතක බවත්, මේ ඇවිල්ලා එහෙම මොහොතක් බවත් ජවිපෙ විශ්වාස කරනවා වෙන්න පුළුවන් වුණත් මේක ඇවිල්ලා ලංකාවේ ආර්ථිකය මීට කාලෙකට ඉස්සෙල්ලා සමාජවාදයට ගොදුරු වීම නිසාම අත් වෙච්ච ඉරණමක් කියලා තේරුම් ගන්න දැන් ජවිපෙට වුණත් සිද්ධ වෙනවා. සියලු ප්‍රශ්නවලට විසඳුම සමාජවාදී ආර්ථික ක්‍රමයක් ඇති කරන එකයි කියල කිව්වට, ඇත්තටම බලයට ආවට පස්සේ ඒ වෙනුවෙන් කියලා අමුතුවෙන් කරන්න දෙයක් තිබ්බෙත් නෑනේ. කොහොමත් ආර්ථිකයෙන් වැඩි කොටසක් දැනටමත් සමාජවාදී වෙලානේ.
ආර්ථිකය මේ තරම් ප්‍රපාතයකට ඇද වැටුණේ රජයේ ආදායමට වඩා වියදම වැඩි කරපු විශාල රාජ්‍ය සේවයක් ණය මතින් ඇදගෙන ආපු ගමනක් ඇතුලේ කියන එක බොරුවක් නොවෙයි. ඒ කියන රාජ්‍ය සේවයට පාඩු ලබමින් පවත්වාගෙන යන වාණිජ ව්‍යාපාර ( බිස්නස්) ප්‍රමාණයකුත් තියෙන බව මෙතනදී කියන්නම වෙනවා. එව්වා පෞද්ගලීකරණය කරන්න හෝ රජය භාරයේ තියාගෙන ප්‍රතිව්‍යුහගත කරන්න ගියාම වාමාංශික ප්‍රාඥයින් ඒකට විරුද්ධ වෙච්ච හැටි අපිට මතක නැත්තේ නෑ. කිව්වම මොකද?දේශපාලන කිරිසප්පයෝ කාලේ අපිත් හිටියේ ඒ ප්‍රාඥයින්ගේ නඩේම තමා. ඉතිං අපි ගහ ගැන හොඳට දන්නවා. කොළ කඩා පාලා ඒ ගැන අමුතුවෙන් යමක් අපිට කියන්න මහන්සි වෙන්න දෙයක් නෑ ඒ නිසා කාටවත්.
ධනවාදය ගැන මාක්ස්වාදයෙන් ඉදිරිපත් කරන නිර්ණායකය සමග ලංකාවේ ආර්ථික ඉතිහාසය විග්‍රහ කිරිමක් “ධනේශ්වර ක්‍රමයේ අර්බුදය” කියන උක්ත දේශනය මගින් කෙරුවා කියලා කියන්න පුලුවන් කමක් නෑ. මොකද? ඒකෙන් ධනපති පක්ෂ දෙකක තට්ටුමාරු පාලනයක් තුළ ටිකෙන් ටික ජනතා ප්‍රශ්න උග්‍ර වූ ආකාරයක් ගැන නිසරු හෑල්ලක් මිසක් ධනවාදය ගැන සහ ඒක අර්බුදයට යන විදිහ ගැන මාක්ස්ගේ ශාස්ත්‍රීය විග්‍රහය ඉගැන්නුවේ නෑනේ. එක අතකට උගන්නලා වැඩකුත් නෑ. මොකද මාක්ස්ගේ ඒ ඉගැන්වීම අතිශයින්ම ඔහුට සමකාලීන යුරෝපයට පමණක්ම ආවේණික වෙච්ච නිසා. හැබැයි ඒ විග්‍රහය එතනදී පවා ෆේල් වුණා. මොකද මාක්ස් කීව විදිහේ අර්බුදයක් ඇති වෙලා යුරෝපයේ ධනවාදය අද වෙනකලුත් හමාර වුණේ නැති නිසා. ඉතිං දැන් කතා කරන්නේ ඒ ගැන ලෙනින් අලුතින් ඉදිරිපත් කරපු න්‍යායක් වුණාට ධනේශ්වර ක්‍රමයේ අර්බුදය කියන ඒ දේශනයෙන් ඒ ගැනවත් කතා කරන්නේ නෑ. ඒක හරි ගැඹුරු කාරණාවක් නිසා ආධුනිකයින්ට ඉස්සෙල්ලම ඒ ගැන කියලා දෙන එක සුදුසු නෑ කියලා හිතන්න ඇති. අනේ එහෙමටම කියලා ගැඹුරක් ඒකෙ තියෙනවා කියලා මට නම් අදටවත් හිතෙන්නේ නෑ.
ධනේශ්වර ක්‍රමයේ අර්බුදයක් ගැන ජවිපෙ කියන්නේ 1965 ජවිපෙ ආරම්භ කරපු අවස්ථාවේම ඉඳන් මිසක්, අද ඊයෙක ඉඳන් නොවෙයි. ඉතිං ඒ අර්බුදය සහ එයින් බිහි කරන කොතෙකුත් ආර්ථික ප්‍රශ්න සමාජවාදයෙන්ම මිසක් ධනවාදය තුළ රැඳෙමින් හුදු ප්‍රතිසංස්කරණ මගින් විසඳන්න පුලුවන් කියලා ජවිපෙ කවදාවත් විශ්වාස කළේ නෑ. ඉතිං එහෙනම් ජවිපෙ නායකත්වයෙන් ජා.ජ.බ. කියලා අලුත් පක්ෂයක් හදා ගෙන දැන් ආණ්ඩු බලයත් අරන් ජවිපෙ මොනවද මේ කරන්නේ? කරන්න හදන්නේ? තමන්ගේ නියම දෘෂ්ටියට (විප්ලවකාරී සමාජවාදය සමග) කිසිසේත් නොසරිලන දේශපාලන බලයක් එක්ක ජවිපෙ අන්ද-මන්ද වෙලා ඉන්න බවක් තමයි දැනට නම් අපිට පෙනෙන්න තියෙන්නේ. මේ ආර්ථික අර්බුදය වනාහි ධනවාදී ආර්ථිකයේ නොවැලැක්විය හැකි ඉරණමක් කියලා ජවිපෙ තව දුරටත් කියනවා නම්, ඉතා ශාස්ත්‍රීය වශයෙන් ඒ බව විග්‍රහ කරන්න ජවිපෙ දක්ෂ වෙන්න ඕන. ධනපතියන්ගේ දේශපාලන කඳවුරු දෙකක් මාරුවෙන් මාරුවට ආණ්ඩු බලය අත් හදා බලමින්, ඒ හැම වාරයකම ධනපති පංතියේ වුවමනාවන් පෙරදැරිව, පියවරෙන් පියවර ජනතා ප්‍රශ්න උග්‍ර කළා කියන එක නම් හොඳ ශාස්ත්‍රීය විග්‍රහයක් වෙන්නේ නෑ.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/images-1-3.jpeg)
තමන්ගේ පංතිවලදී ජවිපෙ තම සාමජිකයින්ට ආර්ථික අර්බුදය සහ ඊට ලබා දෙන විසඳුම් ගැන ඒ මොනවා ඉගැන්නුවත්, ජාජබ ප්‍රසිද්ධ වේදිකාවේදී පොදු ජනතාවට ඉතා විශාල වශයෙන් ඇඟෙව්වේ, මේ අර්බුදය මෙතෙක් ආණ්ඩු කරපු දූෂිත පාලකයින්ගේ අතිමහත් වංචනික ගසා කෑම් නිසාම ඇති වුණා කියලා. ඉතිං ඒ තත්ත්වය අහෝසි කරන තරමට ආර්ථිකය ඉතා ඉක්මනින් යථාවත් කරන්න පුලුවන් කියන විස්වාසයක් තමා ජනතාව තුළ ජා.ජ.බ. විසින් ඇති කළේ. සමාජවාදය පැත්තකින් තියලා, ජා.ජ.බ. ආණ්ඩුවට දැන් ඉතිං සිද්ධ වෙනවා ඒ වැඩේ කරලා පෙන්නන්න. ජා.ජ.බ. ආණ්ඩුවක් මගින් එකී අවම වැඩ පිළිවෙල සාක්ෂාත් කර ගැනීම මගින් ලබා ගන්නා ජනප්‍රසාදය ඔස්සේ, අවසානයේ සමාජවාදය දක්වා ගමනක් යන්න තමයි සද්භාවයෙන් ජවිපෙ අරමුණු කරගෙන ඉන්න ඇත්තේ. ඉතිං ඒක ලේසි වෙයිද? මොනවා කරන්නත් අවුරුදු පහයි තියෙන්නේ.
ගිය දේ ගියාවේ. මං කියන්නේ ඒ පරණ කියපු දේවල් නොකිව්ව ගාණට හිටියත් කමක් නෑ. ඒත් පුරාජේරු කතා තව තවත් ඇද බාන්නේ නැතිව, වහසිබස් තව තවත් දොඩවන්නේ නැතිව සහ පරණ පාලකයින්ගේ ඇද-කුද තව තවත් කියවන්නේ නැතිව, අර්බුදය පිළිබඳ කාරණාව ජනතාවට විද්‍යාත්මකව පැහැදිලි කරලා දීලා, IMF විසඳු රනිල්ටත් වැඩියෙන් හොඳට කරන එක තමා දැන් කරන්න තියෙන්නේ. යථාර්ථය අවංක විදිහට පිළිඅරගෙන ඒකට සරිලන විදිහට කටයුතු කළොත් මිසක් විරුද්ධවාදීන්ගෙන් එල්ල වෙන විවේචන ගැන කේන්තිය ප්‍රකාශ කරමින් සහ තව දුරටත් තර්ජනාත්මක ලෙස හැසිරීමෙන් නම්, ආණ්ඩුකරණය නම් වූ දේශපාලන භාවිතයට විශාල හානියක් මිසක්, කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නෑ.
මක් නිසාද යත්,
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ
ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ….
ගැමුණු කුසුම් දිසානායක
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/LNW-Newsroom-ad-at-the-bottom-Sin-15-1024x137-1-3-1.webp)