අපි මොකටද හැංගිලා, අපිත් ඉන්නෙ ෂැංගිලා : රටේ තියෙන්නේ පොලිස් ආණ්ඩුවක්ද ??

Date:

අප්‍රේල් 19 වෙනිදා රඹුක්කන ප්‍රදේශයේ මහජන විරෝධතාවකට වෙඩිතියලා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊට අණ දීපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාත් කොස්තාපල්වරුන් තිදෙනෙකුත් අත් අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාරගත කළාය කියපුවාම මිනිස්සු පොඩ්ඩක් සන්සුන් වුණා. මොකද, රටපුරා විරෝධතා ඇවිළෙන කාලයක, එහෙම විරෝධතාවකට වෙඩිතියලා මිනිහෙක්ව මරපු පොලිස් නිලධාරීන්ට වෙනදා වගේම මිනීමැරුමෙන් ගැළවිලා, සිද්ධිය යටගහලා නිකම් දෙන්න බෑ කියන හැඟීම මිනිස්සු අතර තදටම තිබුණු නිසා එහෙම රිමාන්ඩ් කළාය කියපුවාම ඔවුන් හිතුවා මේ පාර නම් යුක්තිය ඉටුවෙයි කියලා.

නමුත් ටිකක් හොයලා බලපුවාම පෙනෙන දෙයක් තමයි මේ පොලිස් නිලධාරීන් හතරදෙනා අත් අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාරගත කළාය කියන එක සිද්ධවෙලා තියෙන්නෙ තාක්ෂණිකව පමණක්ය කියන එක. ඒ කියන්නෙ සරලව කිව්වොත් ඔවුන්ව රිමාන්ඩ් කරලා තියෙන්නෙ කඩදාසිවලින් විතරයි. ඔවුන් තමන්ගෙම දෙපාර්තමේන්තුවට අයිති රෝහල් දෙකකට වෙලා හොඳ සැපට ඉන්නවා …

මේ පොලිස් නිලධාරීන් හතර දෙනාත් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවමත් නීතියට ලොකු වංගුවක් ගැහුවා අනීතික නොවෙන්න. ඒ කියන්නෙ ඔවුන්ව අත් අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් වෙන්න ළංවෙද්දීම එතෙක් හොඳට හිටපු, මිනිස්සු පස්සෙන් පන්නාගෙන ගිහින් වෙඩිතියන්න තරම් ඉතාම හොඳ සෞඛ්‍ය තත්වයෙන් හිටපු ඔවුන් ගිහින් තමන්ට අසනීපයි කියලා රෝහල්ගත වුණා. ඒ කොහෙද ? තමන්ගෙම පොලිසියට අයිති නාරාහේන්පිට පොලිස් රෝහලෙයි, කුණ්ඩසාලේ පොලිස් රෝහලෙයි. මේවා ඔවුන්ට තමන්ගෙ රාජකාරි ස්ථාන වගේම තමයි.

SSP කියන්නෙ පොලිසියේ ඉහළම නිලයක්. එහෙම කෙනෙකුට නාරාහේන්පිට පොලිස් රෝහලේ ලැබෙන්න පුළුවන් ඉහළම සැලකුම් ලැබෙනවා. එතකොට කොස්තාපල්ලාට වුණත් කුණ්ඩසාලේ පොලිස් රෝහලේදී සාමාන්‍ය රජයේ රෝහලට වඩා ගොඩක් විශේෂ සැලකිල්ලක් තියෙනවා. ලෙඩක් නැතත් ඉන්න කියාපු තැන්. මොකද මේ අය ගෙවල්වල හිටියා නම් අඩුම ගාණේ කරලා ආපු වැඩේ ගැන බිරින්දෑවරුන්ගෙන් හරි බැණුම් අහන්න වෙනවා, මෙතන ඒකත් නෑ. සැපේ ඉන්නයි තියෙන්නෙ.

මේ වර්ගයේම තවත් කට්ටියක් හිටියා මෙතෙක් කල් දිගටම මේ විදියටම නීතියට වංගු දාපු. ඒ තමයි රට පාලනය කරන දේශපාලනඥයෝ. එයාලාට මොකක් හරි සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්වීමේ අවදානමක් මතුවුණා නම් එහෙම වෙච්චි ගමන් ගිහින් සුපිරි පෞද්ගලික රෝහලක නතර වෙනවා. එතන ඉඳන් එක්කෝ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් දාලා තමන්ව අත් අඩංගුවට ගැනීමෙන් වළක්වාලන නියෝගයක් ගන්නවා. එහෙම නැතුව අත් අඩංගුවට පත්වෙන්නම වුණොත් ඒ සුපිරි රෝහල් කාමරේම එයාලා ඉන්නවා, දොර ගාවට පොලිස් නිලධාරියෙක් දානවා අත් අඩංගුවට ගත්තාය කියන්න. රිමාන්ඩ් කළොත් අර දොරගාව ඉන්න පොලිස් නිලධාරියා වෙනුවට බන්ධනාගාර නිලධාරියෙක් ඉන්නවා. ඉතින් දේශපාලකයො ඔය අස්සෙ කොහොමහරි උසාවියෙන් ඇප අරගෙන කිසිම ලෙඩක් නැතුව හිටියාටත් වඩා සනීපෙන් ගෙදර යනවා.

හැබැයි ඔය සෙල්ලම් පෙන්නම් ඉඳපු දේශපාලකයෝ බහුතරයක් අද මේ මොහොත වෙනකොට ඉන්නේ ගෙවල්වලින් එළියට බහින්න විදියක් නැතුව. මොකද මිනිස්සු මේ දේශපාලකයින් කෙරෙහි තිබුණු විශ්වාසය බිංදුවට බැහැලා, මිනිස්සු ඔවුන්ට විරුද්ධව පාරට බැහැලා ඉන්නෙ. මිනිස්සු ඔවුන්ගෙ ගෙවල් වටළනවා ඔවුන්ට එළියට බහින්නවත් බැරිවෙන විදියට. ඔය ඔක්කොම සෙල්ලම් පෙන්නලා එයාලා අන්තිමට උපයා ගත්තෙ ඕක. එයාලාත් කවදාවත් හිතුවෙ නෑ මිනිස්සු මෙහෙම එයාලාට විරුද්ධව නැගිටලා එයි කියලා …

දැන් ආයෙත් මාතෘකාවට ආවොත් රඹුක්කන සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් හතරදෙනාත් අපට පෙන්නලා දෙන්නෙ එයාලාත් මේ රට පාලනය කරන කට්ටියගේම තවත් කොටසක් ය, එහෙම නැත්නම් එයාලාත් දේශපාලනඥයින් හා සමානය, නීතියට ඉහළින් ඉන්න එයාලාටත් වරප්‍රසාදයක් තියෙනවා, මිනිස්සුන්ට දැනෙන්නෙ මොකක්ද කියන එක තඹයකට නොතකා එයාලා ඒ වරප්‍රසාදය භුක්ති විඳිනවා කියන එකයි.

මේකෙන් ඊළඟට වෙන්න පුළුවන් දේ මිනිස්සුන්ට දේශපාලනඥයින් ගැන තිබුණු විශ්වාසය බිඳ වැටුණා වගේම රටේ නීතිය ගැනත් නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය සහ අධිකරණය ගැනත් විශ්වාසය බිඳවැටෙන එකයි. එතනින් එහාට වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ නේ …. ??

ප්‍රසිද්ධ කියමනක් තියෙනවා නීතිය ක්‍රියාත්මක වුණාට විතරක් මදි, නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා පෙනෙන්න ඕනෙ කියලා. මෙතනදී වෙන්නෙ නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා පොලිසියයි අධිකරණයයි කිව්වත් මිනිස්සුන්ට ඒක පෙනෙන්නෙ නැති එක. මිනිහෙක්ව අමු අමුවේ මරලා තියෙනවා. තවත් කීපදෙනෙකුට බරපතළ තුවාල කරලා තියෙනවා, ඒ අතර අවුරුදු 15ක පාසල් දරුවෙක් පවා ඉන්නවා. ඒත් ඒ මිනීමැරුම කරපු යුනිෆෝම් අපරාධකරුවන් තමන්ගෙම ආයතනයට අයිති රෝහල් දෙකකට වෙලා ජනතාවට පශ්චාත් භාගයෙන් හිනාවෙවී සුපිරි සැපට ඉන්නවා ….

එතකොට දැන් මේ රටේ තියෙන්නෙ පොලිස් ආණ්ඩුවක්ද ? මෙහෙම මිනිස්සුන්ට පස්ස පෙන්නාගෙන කොච්චර දුරක් යන්න පුළුවන් වෙයිද ??

  • දර්ශන වීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...