*
Monday, April 28, 2025
spot_img

Latest Posts

ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය (දෙවන කොටස)

පෙර ලිපියෙන් අපි නික්සන් කම්පනයෙන් පසු එළැඹුණු ෆියට් මුදල් යුගය තුළ ජාත්‍යන්තර වෙළඳාම වැඩි දියුණු වූ ආකාරය ගැන කතා කතා කළා. පහත පළ කරන 1970-2023 ලෝක බැංකු දත්ත අනුව නික්සන් කම්පනය සිදු වන විට ජාත්‍යන්තර වෙළඳාම ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් 26%ක් පමණයි. 2008 මහා ආර්ථික පසුබෑම සිදු වන විට මෙම පරිමාව 61% දක්වා ඉහළ ගිහින්. ඒ කියන්නේ ලෝක දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වූ වේගය මෙන් දෙගුණයකටත් වඩා වැඩි වේගයකින් ජාත්‍යන්තර වෙළඳ පරිමාව ඉහළ ගිහින්.

මේ විදිහට ජාත්‍යන්තර වෙළඳ පරිමාව ඉහළ යාමේ වාසිය ලැබුණේ කාටද?

ඔය කාලයේ ඇමරිකාවේ ඒක පුද්ගල ආදායමේ වර්ධන වේගය දිහා බැලුවොත් පෙනෙන පරිදි (මේ සමඟ පළ කරන ප්‍රස්ථාරය දෙස බලන්න), ඔය කාලයේදී සිදු වී තිබෙන්නේ එම වර්ධන වේගය ක්‍රමයෙන් අඩු වීගෙන යන එකයි. අනෙක් අතට, ජාත්‍යන්තර වෙළඳාම තව දුරටත් වර්ධනය නොවුණු පසුගිය වසර 15ක කාලය තුළ ඇමරිකාවේ ඒක පුද්ගල ආදායමේ වර්ධන වේගය ස්ථාවරව තිබෙනවා.

පොදුවේ ඉහළ ආදායම් ලබන රටවල් දිහා බැලුවත් දැකිය හැක්කේ ඔය තත්ත්වයමයි. අඩු ආදායම් රටවල ඒක පුද්ගල ආදායමේ වර්ධන වේගයේ ලොකු වෙනසක් සිදු වෙලත් නැහැ. ජාත්‍යන්තර වෙළඳාම නිසා වැඩිම වාසියක් වී තිබෙන්නේ මැදි ආදායම් රටවලටයි. 2008න් පසුව එම වාසිය නැති වී මැදි ආදායම් රටවල වර්ධන වේගය පහත වැටෙමින් තිබෙනවා.

ඇමරිකාව වගේ රටක ආර්ථිකය වර්ධනය වෙන්නේ නවෝත්පාදන නිසා සිදු වන ඵලදායීතා වර්ධනය නිසා මිසක් අනෙකුත් රටවල් සමඟ කරන වෙළඳාමේ උදවුවෙන් නෙමෙයි. ජාත්‍යන්තර වෙළඳාම හරහා සිදු වෙන්නේ ඇමරිකාව වගේ දියුණු රටක ආර්ථිකය වර්ධනය වීමට හේතු වූ සාධක අනෙකුත් රටවලට මහන්සියක් නැතිවම ලබාගත හැකි තත්ත්වයක් ඇති වීමයි. ලෝකයට විවෘතව සිටින මැදි ආදායම් රටක් රෝදය මුල සිටම හොයා ගන්න අවශ්‍ය නැහැ. කලින් රෝදය හදපු රටවල් දිහා බලලා රෝදය හදාගන්න පුළුවන්. හැබැයි ඒ විදිහට දියුණු රටවල් දිහා බලලා ඉගෙන ගන්න පුළුවන් වෙන්නෙත් ආර්ථිකයක් කිසියම් සීමාවකින් එහාට වර්ධනය වූ පසුවයි. අඩු ආදායම්ලාභී රටවල් වේගයෙන් වර්ධනය වී නැත්තේ ඒ නිසා.

ආර්ථික වර්ධනයේ හිණි පෙත්තේ නොසිටින රටවලට ජාත්‍යන්තර වෙළඳාම හරහා ලබා ගත හැකි වාසි ඉතාම පැහැදිලියි. එම රටවල නිෂ්පාදන ක්‍රමවේදයන් වඩා කාර්යක්ෂම කර ගත හැක්කේ ලෝකයට නිරාවරණය වෙන්න ඉඩ දෙන තරමටයි. නමුත් ආර්ථික වර්ධනයේ හිණි පෙත්තේ සිටින රට වලට මෙයින් ලැබෙන වාසිය කුමක්ද?

මෙහිදී අදාළ වන ආර්ථික විද්‍යා මූලධර්මය සංසන්දනාත්මක වාසියයි. ජාත්‍යන්තර වෙළඳාමේ යෙදෙන ඕනෑම රටකට සංසන්දනාත්මක වාසිය හේතුවෙන් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්.

ඇඩම් ස්මිත් විසින් මුලින්ම ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කළේ පරිපූර්ණ වාසිය කියන සංකල්පය මත පදනම්වයි. ඒ අනුව, ඕනෑම රටකට අනෙක් රටවල් වලට වඩා කාර්යක්ෂම ලෙස මොනවා හෝ දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන්නම් වෙළඳාම මගින් වාසියක් ලබා ගන්න පුළුවන්.

සංසන්දනාත්මක වාසිය පිළිබඳ අදහස පසුව ඉදිරිපත් කළේ ඩේවිඩ් රිකාඩෝ විසින්. අදටත් පිළිගැනෙන එම අදහස අනුව, කිසිම භාණ්ඩයක් හා අදාළව පරිපූර්ණ වාසියක් නැති රටකට වුනත් වෙළඳාම මගින් වාසියක් ලබා ගන්න පුළුවන්. ඊට හේතුව ඕනෑම රටකට කවර හෝ භාණ්ඩ හා අදාළව සංසන්දනාත්මක වාසියක් තිබීමයි. ඒ නිසා, කිසිදු භාණ්ඩයකට පරිපූර්ණ වාසියක් නැති වීම ප්‍රශ්නයක් නෙමෙයි.

පරිපූර්ණ වාසිය සරලව මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ඇමරිකාවට ලංකාවට වඩා කාර්යක්ෂම ලෙස ඇඟලුම් නිපදවන්න පුළුවන්. ඒ වගේම ලංකාවට වඩා කාර්යක්ෂම ලෙස පරිගණක නිපදවන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔය දෙකේදීම පරිපූර්ණ වාසිය තියෙන්නේ ඇමරිකාවට. ලංකාවට දෙකෙන් එකක් හා අදාළව හෝ පරිපූර්ණ වාසියක් නැහැ. එසේ තිබියදී වුවද, ඇමරිකාවට ලංකාවේ නිපදවන ඇඟලුම් ආනයනය කිරීම වාසිදායකයි. ඊට හේතුව ලංකාවට ඇඟලුම් හා අදාළව සංසන්දනාත්මක වාසියක් තිබීමයි.

ඇමරිකාව ලංකාවෙන් ඇඟලුම් ආනයනය කරන නිසා ඒ වෙනුවෙන් වැය කළ යුතු ශ්‍රමය ඇමරිකාවේ ඉතිරි වෙනවා. එසේ ඉතිරි වන ශ්‍රමය යොදවා පරිගණක සාදා ලංකාවට අපනයනය කර ලැබෙන ආදායමෙන් වඩා වැඩි ඇඟලුම් ප්‍රමාණයක් ආනයනය කරන්න පුළුවන්. සරල අදහස ඕකයි.

රිකාඩෝ විසින් සංසන්දනාත්මක වාසිය පිළිබඳ අදහස ඉදිරිපත් කරන කාලයේ අද අර්ථයෙන් ආර්ථික විද්‍යාවක් තිබුණේ නැහැ. ඒ යුගයේදී භාණ්ඩයක වටිනාකම ඒ වෙනුවෙන් යොදවන මිනිස් ශ්‍රමයට සමාන සේ සැලකුණා. ඒ අනුව, රිකාඩෝ විසින් සංසන්දනාත්මක වාසිය පිළිබඳ අදහස ඉදිරිපත් කරද්දී භාණ්ඩයක් නිපදවීමේ පිරිවැය ලෙස සැලකුවේ ඒ සඳහා යෙදවිය යුතු ශ්‍රම කාලයයි. මේ වෙද්දී මෙම මෙම ශ්‍රම කාලය මත පදනම් වූ පිරිවැය වෙනුවට ශ්‍රමයේ වෙළඳපොළ මිල මත පදනම් වූ පිරිවැය ආදේශ වී තිබෙනවා.

සංසන්දනාත්මක වාසිය යන කාරණයේදී ශ්‍රම කාලය මත පදනම් වූ පිරිවැය වෙනුවට ශ්‍රමයේ වෙළඳපොළ මිල මත පදනම් වූ පිරිවැය ආදේශ වීමෙන් පසුව මූලික සංකල්පයේද යම් වෙනසක් සිදු වී සාපේක්ෂ පිරිවැය පිළිබඳ අර්ථකතන වෙනස් වී තිබෙනවා. උදාහරණයක් ලෙස දිනක් ඇතුළත ඇමරිකාවේ ශ්‍රමිකයෙකුට ඇඟලුම් 100ක් හැදිය හැකි නමුත් ලංකාවේ ශ්‍රමිකයෙකුට හැදිය හැක්කේ ඇඟලුම් 50ක් පමණක්නම් රිකාඩෝගේ මුල් ආකෘතිය අනුව ඇමරිකාවේ ශ්‍රමිකයා වඩා කාර්යක්ෂමයි. නමුත් ඇමරිකාවේ ශ්‍රමිකයෙකුට දිනකට ඩොලර් 100ක් ගෙවද්දී ලංකාවේ ශ්‍රමිකයෙකුට ගෙවිය යුත්තේ ඩොලර් 5ක් පමණක්නම්, ශ්‍රමයේ වෙළඳපොළ මිල අනුව, ලංකාවේ ශ්‍රමිකයා වඩා කාර්යක්ෂමයි.

ලෝකයේ රටවල් අතර ආදායම් පරතරය ඉහළ යද්දී ශ්‍රම කාලය මත පදනම් වූ පිරිවැය සහ ශ්‍රමයේ වෙළඳපොළ මිල මත පදනම් වූ පිරිවැය අතර වෙනසද වැඩි වෙනවා. එසේ වීම නිසා වැඩි ආදායම් රටකට තරඟකාරී වීම එන්න එන්නම අමාරු වෙනවා.

වසර කිහිපයකට පෙර අධිකරණයක් මගින් නීති විරෝධී ලෙස තීන්දු කර ඇතත්, චීනයේ 996 ලෙස හඳුන්වන වැඩ කිරීමේ සංස්කෘතියක් තිබෙනවා. එයින් අදහස් වන්නේ උදේ නවයේ සිට රෑ නවය දක්වා දිනකට පැය දොළහක්, සතියේ දින හයකදීම වැඩ කරනවා කියන එකයි. සතියකට පැය 72ක්. ඇමරිකාවේ හෝ යුරෝපයේ ශ්‍රමිකයන් සතියකට එපමණ පැය ගණනක් වැඩ කරන්නේ නැහැ. නමුත් ඇමරිකාවේ මම දන්නා බොහෝ දෙනෙක් තමන් වැඩ කරන කාලය තුළ මහන්සි වී වැඩ කරනවා. ශ්‍රම කාලය මත පදනම් වූ පිරිවැය සැලකුවහොත් ඇමරිකාවේ ශ්‍රමිකයෙක් සහ ලංකාවේ ශ්‍රමිකයෙක් අතර විශාල වෙනසක් තිබෙනවා කියා මා හිතන්නේ නැහැ. පිරිවැය වෙනසක් තිබෙන්නේ ශ්‍රමයේ වෙළඳපොළ මිල සැලකූ විටයි.

මෙහි යම් ආකාරයක උභතෝකෝටිකයක් දැකිය හැකියි. කිසියම් රටක ශ්‍රමිකයින් ශ්‍රම කාලය පදනම මත වඩා කාර්යක්ෂම වන විට (අනෙක් සියලු තත්ත්වයන් නොවෙනස්ව ඇත්නම්) ඒක පුද්ගල ආදායම ඉහළ යනවා. එවිට ශ්‍රමයේ මිල ඉහළ ගොස් ශ්‍රමයේ පිරිවැයත් ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රමයේ වෙළඳපොළ මිල මත කාර්යක්ෂමතාවය නැති වෙනවා.

රටවල් දෙකක් අතර ආදායම් පරතරය ගොඩක් වැඩිනම්, භෞතික කාර්යක්ෂමතාවය වැඩි කිරීම මගින් ඒ පරතරය පියවා ගන්න අමාරුයි. ඒ නිසා, වැඩි ආදායම් රටවල සිට ශ්‍රම මූලික නිෂ්පාදන කාර්යයන් අඩු ආදායම් රටවලට විතැන් වීම අනිවාර්යයෙන් සිදු විය යුතු දෙයක්. නමුත් මෙවැනි ඕනෑම ස්වභාවික ක්‍රියාවලියක් පාලනය වන කවර හෝ යාන්ත්‍රනද තිබිය යුතුයි.

නිෂ්පාදනයේදී යොදා ගැනෙන්නේ ශ්‍රමය පමණක් නෙමෙයි. ඒ සඳහා ප්‍රාග්ධනයද අවශ්‍ය වෙනවා. අවසාන වශයෙන් පිරිවැය තීරණය වෙන්නේ යෙදවූ ශ්‍රමයේ වෙළඳපොළ මිලට යෙදවූ ප්‍රාග්ධනයේ වෙළඳපොළ මිලත් එකතු වෙලා. රටක ආදායම් මට්ටම ඉහළ යද්දී ප්‍රාග්ධනයේ ආන්තික පිරිවැය පහළ යනවා. මේ හරහා ශ්‍රමයේ පිරිවැය ඉහළ යාමේ අවාසිය අඩු වැඩි වශයෙන් තුලනය කර ගන්න පුළුවන්. ඒ වගේම, යම් සීමාවන්ට යටත්ව ශ්‍රමය වෙනුවට ප්‍රාග්ධනය ආදේශ කරන්න පුළුවන්.

ඇමරිකාව විසින් දිගටම කෘෂිකාර්මික අංශයේ තරඟකාරීත්වය තියා ගත්තේ මේ විදිහටයි. කෘෂිකර්මය ක්‍රමයෙන් කාර්මීකරණය වෙද්දී නිෂ්පාදනයේදී යෙදිය යුතු ශ්‍රම ඒකක ප්‍රමාණය පහළ ගියා. ඒ නිසා, ශ්‍රම ඒකකයක් වෙනුවෙන් ගෙවිය යුතු මිල බොහෝ වැඩි වුනත්, සමස්ත පිරිවැය තරඟකාරී මට්ටමක තිබුණා. අඩු ආදායම් රටවලට මේ පිම්ම පනින්න අවශ්‍ය ප්‍රාග්ධනය නැති නිසා, නිෂ්පාදනයේදී තව දුරටත් වැඩි ශ්‍රම ඒකක ප්‍රමාණයක් අවශ්‍ය වුනා. ඒ නිසා, ශ්‍රමයේ මිල අඩු වීමේ වාසිය ලොකු වාසියක් වුනේ නැහැ.

කෘෂිකාර්මික නිෂ්පාදනය දේශ සීමා වලින් ඔබ්බට විතැන් කළ හැකි වීනම් මේ වැඩේ මේ විදිහට සිදු වෙන්නේ නැහැ. නමුත්, බොහොමයක් අඩු ආදායම්ලාභී රටවල වගා කළ හැකි අතිරික්ත ඉඩම් නොමැති වීම නිසා එවැන්නක් සිදු වීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඉංග්‍රීසින් විසින් ලංකාවට තේ වගාව හඳුන්වා දුන් කාලයේදීනම් මෙවැනි ශක්‍යතාවයක් තිබුණා.

කෘෂිකාර්මික නිෂ්පාදන හා අදාළව පැවති ඉහත බාධාව කාර්මික නිෂ්පාදන සඳහා අදාළ වූයේ නැහැ. ඒ නිසා, කාර්මික නිෂ්පාදිතය අඩු මිල ශ්‍රමය ඇති තැන් කරා ටිකෙන් ටික විතැන් වුනා. එයින් අදහස් වුනේ ඒ තැන් භෞතික පදනමකින් වඩා කාර්යක්ෂම වූ බව නෙමෙයි. එය එසේ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. කාර්යක්ෂමතා වෙනසට හේතු වුනේ ශ්‍රමයේ මිල වෙනසයි. ශ්‍රමයේ මිල වෙනසට හේතු වුනේ රටවල් අතර ආදායම් වෙනසයි.

මේ ආකාරයෙන් නිෂ්පාදනය වැඩි ආදායම් රටවල සිට අඩු ආදායම් රටවල් දක්වා විතැන් වෙද්දී වැඩි ආදායම් රටවල ශ්‍රමය නිදහස් වෙනවා. එසේ නිදහස් වන ශ්‍රමය උකහා ගත හැකි වෙනත් යාන්ත්‍රණයක් නැත්නම්, ශ්‍රම සැපයුම ඉහළ ගොස් ශ්‍රමයේ මිල අඩු වී නිෂ්පාදනය විතැන් වීම සීමා වෙනවා. නමුත් ඇමරිකාව වැනි රටවල මේ ආකාරයෙන් නිදහස් වන ශ්‍රමය සේවා අංශ විසින් උකහා ගත්තා. නිෂ්පාදනය සහ පරිභෝජනය එක වර සිදු වන නිසා සේවා ආනයනය කිරීමේ තාක්ෂණික හැකියාවක් මුල් කාලයේදී තිබුණේ නැහැ. දැන්නම් ඒ තත්ත්වය වෙනස් වෙලා සහ තව දුරටත් වෙනස් වෙමින් තිබෙනවා.

අඩු හා වැඩි ආදායම් රටවල සේවා නිෂ්පාදන සඳහා යොදවන ශ්‍රමයේ විශාල මිල වෙනසක් තිබුණත් කෘෂිකාර්මික හා කාර්මික භාණ්ඩ වලට මෙන් සේවා නිෂ්පාදන වලට බාහිර තරඟය විශාල තර්ජනයක් වුනේ නැහැ. තාක්ෂණයේ දියුණුව නිසා දැන් මේ තත්ත්වය වෙනස් වී තිබුණත්, දැනට වුනත් සේවා අංශ වලට තිබෙන ලොකුම තර්ජනය බාහිර තරඟය නෙමෙයි. කෘතීම බුද්ධියේ දියුණුව වැනි හේතු නිසා සංවෘත පද්ධතිය ඇතුළේම ප්‍රශ්නයක් පිළිසිඳ ගෙන වැඩෙමින් තිබෙනවා.

බටහිර රටවල අවම වැටුප් නීති, අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීම වැනි ප්‍රතිපත්ති නිසාත් කාර්මික නිෂ්පාදන අඩු ආදායම් රටවලට විතැන් වීම ප්‍රවර්ධනය වුනා. මේ එක්ක අඩු ආදායම්ලාභී රටවලට ප්‍රාග්ධනය ගලා යාමද ප්‍රවර්ධනය වුනා. මෙසේ නිෂ්පාදන විතැන් වීම සහ ප්‍රාග්ධනය වැඩි ප්‍රතිලාභ ඇති තැන් වලට ගලා යාම ආර්ථික විද්‍යා අර්ථයකින් බැලුවොත් පැහැදිලි ලෙසම කාර්යක්ෂමයි. ආර්ථික විද්‍යාවේදී කාර්යක්ෂමතාවය අර්ථ දක්වන විට දේශ සීමා බෙදීම් සැලකිල්ලට ගැනෙන්නේ නැහැ. ඒ වගේම, ආර්ථික කාර්යක්ෂමතාවය ඉහළ යාම රටක නිරපේක්ෂ වර්ධනයට මිස සාපේක්ෂ වර්ධනයට හේතු වීම අනිවාර්ය කරුණක් නෙමෙයි.

නමුත් බොහෝ විට රටක ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී සාපේක්ෂ වර්ධනය කෙරෙහි අවධානය යොමු කෙරෙනවා. ඊට හේතුව බොහෝ දෙනෙකු විසින් රටක දියුණුව සේ සලකන්නේ අනෙක් රටවලට සාපේක්ෂව තමන්ගේ රටේ ස්ථානය වීමයි.

මතු සම්බන්ධයි.

~ ඉකොනොමැට්ටා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan