අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියකු හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය නව නගරය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ජේ.ඒ. අසංක ඉඳුනිල් නැමැති අයෙකි.
ඔහුව පසුගිය 30 වනදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට යොමුකර ඇත්තේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම රැදවියා අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නවක රැදවියන් රදවනු ලබන වාට්ටුවක රදවා සිටි බවත් එහිදි ඔහුගේ කලහකාරී හැසිරිම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ අනුව බන්ධනාගාර රෝහලේ වාට්ටුවකට ඇතුළත් කර පසුව තනිව රැදවීමට කටයුතු කළ බවත් ය. ඔහු මෙසේ රදවා සිටි අවස්ථාවේදී වාට්ටුවේ බිම ඇදවැටී සිටින බව දැක කඩිනමින් බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වෛද්‍යවරයාගේ නිර්දේශයට අනුව අගුණුකොළපැලැස්ස මූලික රෝහල වෙත ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කළ බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කර තිබේ.
හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම රැදවියා මියගොස් ඇති අතර, අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදි ඇති වාර්තාවට අනුව මෙම මරණය සම්බන්ධයෙන් යම් පහරදීමක් කර ඇති බවට සදහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් ආයතන මටට්ටමින් I පෙළ ජේලර්වරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, වැඩිදුර විමර්ශනය සදහා වීරවිල බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා යොදවා ඇති බවද කොමසාරිස්වරයා සඳහන් කර ඇත.
තවද, අගුණුකොළපැලැස්ස පොලීසිය මගින්ද විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් අගුණුකොළපැලැස්ස වැඩබලන මහෙස්ත්‍රාත්තුමිය විසින් ස්ථානීය පරීක්ෂණයක්ද සිදුකළ බවත් එහි සඳහන්.
න්ධනාගර රෝහලේ රදවා සිටියදී මියගිය රැදවියගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර දීමකට ලක්ව ඇති බවට සැකකරන අතර ඒ ඔස්සේ ද විමර්ශන කටයුතු වැඩිදුරටත් සිදුකෙරෙන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ.
තහවුරු නොකළ ආරංචිමාර්ග සඳහන් මෙම පුද්ගලයා වෙනත් අයෙකුට ඇප ලබාදීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියදී ඔහුගේ ජංගම දුරකථනය නාදවීම නිසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ලක්ව දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරී ඇති බවකි.
