වවුනියාවෙන් හමුවූ ගිනි අවි හා පතුරම්!

රෂිකා හෙන්නායක ජුනි 08, කොළඹ LNW :

වවුනියාව, රම්බකුලම ප්‍රදේශයේ නිවෙසක ගෙවත්තේ, වලක් හාරමින් සිටියදී ටී 56 ගිනි අවි දෙකක් හා එම උණ්ඩ 450 ක තොගයක් හමුව තිබේ. අද (08) දහවල් මේවා හමුව ඇති බව වවුනියාව පොලිසිය පවසයි.

අදාළ ගිනි අවි හා පතුරම් තොගය, ඉදිකිරීමක් වෙනුවෙන් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් වලක් කපන අවස්ථාවේ හමුවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ගෙහිමියා වවුනියාව පොලිසිය දැනුවත් කොට ඇති අතර, වවුනියාව පොලිසිය අදාළ ස්ථානය පරීක්ෂා කොට දිරාගිය ගිනි අවි දෙක හා පතුරම් තොගය පොලිසිය භාරයට ගෙන ඇත.

මේවා පැවති යුද සමයේ කිසියම් අයෙක් හෝ පිරිසක් විසින් වල දමන්නට ඇති බවයි පොලිසිය සැක කරන අතර, ගිනි අවි දෙක හා පතුරම් තොගය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත‍යි. 

වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව වාර්තා වේ.