නොකියනු මැන හැකර කතා !

Date:

උපාලි කොළඹගේ

කොළඹ LNW:කට හැකරකම මෝඩයන්ට මිස විදග්ධ හෝ පරිණත වූවන්ට අයත් සන්නිවේදන කාර්යයක් නොවේ. එනමුදු වර්තමාන ආණ්ඩුවේ දෙවෙනි පෙළ නායකයන් පිරිසක් දිගින් දිගටම මේ තකතිරු අභ්‍යාසයේ යෙදී සිටිනු දක්නට ලැබෙයි.

ඒ දූෂණය,නාස්තිය හා හොරකම පිටු දැකීමේ මේ ආණ්ඩුවේ සත්කාර්ය පිළිබඳව අංජනම් එළි බැලීම පිළිබඳවය. කොටින්ම කිවහොත් අත්අඩංගුවට ගැනීම් ගැන කලින් දින වකවානු හා ගණන් හිලව් ප්‍රකාශයට පත් කිරීමෙනි.

මේ ආණ්ඩුව බලයට පත් වූ පසු දැනට නිවැරදිව කරගෙන යන ප්‍රධාන කර්තව්‍ය හොරු ඇල්ලීමය. එය සිතුවාටත් වඩා පාරදෘශ්‍ය භාවයෙන් යුතුව සිදු කරගෙන යනු දක්නට ලැබෙයි. නමුත් නියෝජ්‍ය මට්ටමේ දේශපාලනඥයන් කිහිප දෙනකු “තව 40 ක් ළඟදීම අත්අඩංගුවට ගන්වා”,ජම්පර් ඇඳීමට ලෑස්ති පිට ඉන්න වැනි වාචාල කතා ප්‍රසිද්ධියේ කීමෙන් මෙහි බරසාර බව හීන කරවනවා මෙන්ම මෙම වැඩපිළිවෙළ කෙරේ මහජන විශ්වාසය පලුදු වන ආකාරයෙන් කටයුුතු කරනු දක්නට ඇත. ඇතැම් වොයිස් කට් දේශපාලනඥයන් විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරනු ලබන මෙම අමනෝඥ ප්‍රකාශ නිසා අසීරුවට පත්වන්නේ තමන්ගේම ආණ්ඩුව බව ඔවුනට නොතේරීම කණගාටුවට කරුණකි. මේ නිසාවෙන් වරද කිහිපයක් සිදුවේ.

කලින් ඉඟි කිරීමෙන් හොර නඩයට සාක්කි වසන් කිරීම ආදී කටයුුතු කිරීමට අවස්ථාව ලැබෙන අතර ඊට මුහුුණ දීමට ප්‍රමාණවත් කාල පරාසයක් ද ලැබේ. එමෙන්ම හොරු ඇල්ලීම දේශපාලන පලිගැනීම් බවට වූ චොදනාවට කිසියම් අනිසි වටිනා කමක්ද ලැබේ. වාචාලකමට අමතරව මෙහිදී ඔවුන්ගේ ආධුනික කමද මෙහිදී බලපානවා විය හැක.⁣ කෙසේ වතුදු මාලිමා නායකයන් විසින්ම මැදිහත්ව මෙම තත්ත්වය වෙනස් කළ යුතුය. රහස් පොලීසියේ පරීක්ෂණ එම මට්ටමින්ම සිදුවීම ඉඩහරිනවා මිස අංජනම් බලා වහසි බස් තෙපලීම සම්පූර්ණයෙන්ම නතර කළ යුතුය.

මෙම තත්ත්වය නීති පද්ධතිය ට මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවටද හොඳ නැත. එම ආයතන පිළිබඳව පවත්නා මහජන විශ්වාසය පළුදු වීමටද හේතුවේ.

අත්අඩංගුවට ගන්නා තුරු රහස්‍යභාවය සුරැකිය යුතුයැයි මම තරයේ විශ්වාස කරමි. එමෙන්ම ඉන්තේරුවටම මෙම තත්ත්වයට එම ආයතනවල ඉහළ ස්ථරය වග කිවයුතු නැතැයි උද්යෝගිමත් පහළ ශ්‍රේණිවල⁣ ඇතැම් නොනිල ප්‍රකාශකයන්ගේ වෘත්තීය කයිවාරු නිසා මෙවැනි තත්ත්වයන් ඇතිවීමට බොහෝ සෙයින් ඉඩ ඇත. කෙසේ වුවත් අංජනම් මගින් අත්අඩංගුවට ගැනීම් ප්‍රකාශයට පත්වීම් වැළැක්වීමට තවමත් පරක්කු නැත.

කෙසේ වුවත් හොරු ඇල්ලීමේ සත් ක්‍රියාව අප රැක ගතයුතුය. රට ප්‍රපාතයට වැටීමේ එකම හේතුව හොරකම හා නාස්තිය නූනත් එයද එක් ප්‍රධාන කාරණයක් බව අවිවාදිතය. මෙම වැඩපිළිවෙළ වර්තමානයට පමණක් නොව අනාගතයටද හොඳ ආයෝජනයකි. කලින් හිටපු පාලකයන්ට මෙන්ම දැන් සිටින පාලකයන්ට ද රතු සංඥාවකි.

ඒ මන්දැයි කිවහොත් දැන් සිටින අයගෙන් කිහිපදෙනකු හෝ මෙවැනි අවකල් ක්‍රියාවලට ඇදීගියහොත් එහි පුදුමයක් නැත. අපි සියල්ලෝ පෘතග්වෙජනයෝ වෙති.

ජවිපෙ හා මාලිමා කණ්ඩායම අඟහරු ලොවින් ආ පිරිසක් නොවේ. අපි මෙන් දරිද්‍රතාාවයේ බෙදුම් රේඛාව ළඟ සිටින පිරිසකි. එහෙත් මෙහි කණගාටුදායක කරුණ නම් ජනාධිපති අනුර කුමාර දිසානායක පවා තම කණ්ඩායම කෙරේ තබා ඇති අචල විශ්වාසය නිවැරදි ද යන්නය. ඒ බලය නැතිව සිටියදී තම කණ්ඩායම දැක්වූ අවංකත්වය අනාගතයටත් එලෙසේම පවතීද යන්න ය.

ඊට එකම පිළිතුර ආයතන පද්ධතිය ශක්තිමත් කර කාටත් එක හැන්දෙන් බෙදීමේ ක්‍රමවේදයකට යෑමය. එසේ කළ හොත් අනාගතය ආණ්ඩුවට මෙන්ම අපටත් සුබදායකය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...