කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත ලදිමි. ඒ ගාමිණී ලොකුගේ නම් දේශපාලන ‘අයියාගේ’ය. ජේ ආර් ගේ තක්කඩි දේශපාලන තොටිල්ලෙන් මැර කමේ හෝඩිය කියූ ඔහු සිරිනාල් ද මෙල් සමගින් එක්ව ජාතික සේවක සංගමයේ නාමයෙන් කල කටයුතු ඉතිහාසගතය.
මහජන බැංකු මූලස්ථානයේ තෙවන මහලේ පිහිටි කැන්ටිම ආශ්‍රිතව ලොකුගේ-මෙල් කුට්ටම කල වීර ප්‍රයාණයන් අතර මහැදුරු සරත්චන්ද්‍රට පහර දීම විශේෂිතය. ඒ පහර දීමට ගිය මැරයන් අතර නිසාම් වැනි මැරයකුගේ නමක් එකල මහජන බැංකුව තුළ ප්‍රසිද්ධය.
එකල අප සිටි ජපුර සරසවියට එල්ල වුනු මැර ප්‍රහාර සියල්ලේම පිටුපස මේ කුට්ටම සිටියෝය. මහජන බැකුවේ පහළ ශ්‍රේණිවල සාමාජිකයන් සමහරක් මේ දෙදෙනාගේ අනුග්‍රහය මත ජාතික සේවක සංගම් බලය පතුරා අන් වෘත්තීය සමිති කිසිවකට හෝ නැගිටින්නට ඉඩනොදුන්නෝය.
වරෙක රොනී ද මෙල් විසින් මහජන බැංකුවේ සභාපති ලෙස පත්කරන ලද එස් ටී ජී ප්‍රනාන්දු හට මොවුන් විසින් කරන ලද බලපෑම් ඔහු විසින් මායිම් නොකිරීමේ අවසන් ප්‍රතිඵලය වූවේ ඔවුන්ගේ හෙංචයියෙකු විසින් බැංකු මූලස්ථානයේ මහල් සියල්ලේම අසූචි තවරා ලීමෙනි.
ලොකුගේ ගේ නම ඉදිරියෙන් ලියැවෙන දේශපාලන නරුමකම්හී ලැයිස්තුවද බොහෝ දිගය. ජේ ආර් විසින් මුවහත් කරන ලද විසි කැත්තක් බඳු ඔහු සුධා ධවල වතින් සැරසී චරිතයක් බවට පත්වුවද සිය පිලිවෙත් අතහැරියේ නැත. අවසන අතින් අත ගොස් මහින්ද අත පත්වූ පසුවද හතර අත වැනී අවසන ඔහු සිටියේ හිටගෙන බැරි වුවද ඉඳගෙන හෝ මන්ත්‍රීකම් කිරීමේ අභිලාෂයෙනි.
එහෙත් ඔහු තමන් දේශපාලනයෙන් පිලිකෙවු කෙරෙන ආකාරය දකින්නට ජීවත් වූවේය. මහානුභාව සම්පන්න පොරක් ලෙස සිට අවසන කඩමල්ලක්ව ගර්හාවට ලක්වන ආකාරය දකින්නට ජීවත් වන්නට ලැබීම මනරම්ය.
අවම තරමින් අවසන් හුස්ම හෙළූ පසු යලිත් මිනිත්තු තිහකට ජීවිතය ලබන්නට හැකිවුණි නම් ඔහුට තමන්ගේ දේශපාලන ශේෂපත්‍රයේ තරම දැකගන්නට තිබිණි. ඔහු අද ලබනා ප්‍රතිචාර මෙරට දේශපාලනයේ පහරා තවමත් ජීවතුන් අතර ඉන්නා අයට කදිම පාඩමක් සපයයි.
ලොකුගේ යනු ජේ ආර් ගේ ධර්මිෂ්ඨ සමාජ පට්ටලයෙන් තනන ලද ඉහළම ආම්පන්නයකි. අවසන ඉන් වැඩගත්තේ මහින්දය. අසූව දශකයේ භීෂකයාගේ භූමිකාවේ සිට ඉදිරියට සහ ආපස්සට ඔහුගේ චර්‍යාව මේ රටේ අනාගත පරම්පරාව දත යුතුය.
ලොකු ගෙයක ජීවත් වුවද ඔහුගේ ලෝකය පොඩිය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට මර්ධනය විශ්වාසකල හෙතෙම සිය ලොක්කන්ගේ විධාන එලෙසින්ම ඉටුකළ මුර බලු රාජකාරිය අකුරටම කලේය.
ඔහුගේ මරණින් පසු නාමල් රාජපක්ෂ ඔහු පිළිබඳ ඇගයුම් සටහනක් තබා ඇතිබව දුටිමි. ඔහු අනාගත දේශපාලන දිවියක් ගැන සිතන්නේ නම් ලොකුගේ ඇගයුමට ලක් කල යුත්තේ තමනට දේශපාලනයේදී නොකලයුතු දේ ගැන දකින්නට සිටි චරිතයක් ලෙසිනි.
ලොකුගේ මගේ ජීවිතයේ දුටු නරුම දේශපාලකයෙකි. අද අප රට පත්ව ඇති බියකරු පරිහාණියෙහි හේ ප්‍රමුඛ කොටස්කරුවෙකි.
මට ඔහු ගැන වෛරයක් නැති. එහෙත් ඔහු ගැන දැනෙනා පිලිකුල කියන්නට වචන නැති.
දේශපාලනයේ අනාගතයක් ගැන සිතන්නන් ඔහු ගැන හැදෑරිය යුතුය. ඒ ගොවියෙක් යෝධ නිදිකුම්බා උවදුර ගැන කරන්නාක් වැනි හැදෑරීමක් විය යුතුය.
අපේ තරුණවිය විනාශකිරීමේ එක් වගකිව යුත්තෙක් වන ලොකුගේට ලියන්නට ප්‍රශස්තියක් මට නැත. මළවුන් විවේචනය නොකළ යුතුයයි ඊනියා සදාචාරයක්ද මට නැත.
අවසනට කියමි, දේශපාලනය පුස්තකාලයක් නම් හේ කාවෙකි.
~ චූලානන්ද සමරනායක
