කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව එම පුද්ගලයා දැනුම්වත් කළයුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත නිකුත් කර තිබේ.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් එය නිකුත් කර තිබෙනබව නීතිපතිවරයා ඊයේ (3) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.
බලශක්ති විශේෂඥයෙකු වන විදුර රැළපනාව මහතා විසින් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබේ.
මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී පෙත්සම්කරු කියා සිටින්නේ තමන් විසින් සමාජ මාධ්‍යයේ පළකළ අදහසක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයේ නිලධාරියෙකු විසින් දුරකථන මාර්ගයෙන් දැනුම් බවය.
පසුව තමාට එරෙහිව තිබෙන පැමිණිල්ල කුමක්ද? සහ එහි අන්තර්ගත කරුණු මොනවාදැයි තමන් අදාළ පොලිස් නිලධාරියාගෙන් විමසා සිටි බවත්, ඊට පිළිතුරු ලබාදීම වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සම්කරු චෝදනා කර තිබේ.
එසේ තොරතුරු ලබානොදීම තුළින් වගඋත්තරකාර පොලිස් නිලධාරින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබුණේ මීට පෙර අධිකරණය හමුවේ පෙනී සිට ලබා දුන් ප්‍රතිඥාවකට අනුව අදාළ චක්‍රලේඛය සකස්කර දිවයිනේ පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට කටයුතු කර තිබෙන බවයි.
ඒ අනුව මෙම දැනුම්දීම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවත් ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කළ හැකි බවත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් අතර ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
