ශ්‍රී ලංකාවේ අති දැවැන්තම ඖෂධ නිෂ්පාදනාගාරය සිනර්ජි ෆාමසියුටිකල්ස් වෙතින් !

0
547

සියයට සියයක්ම ශ්‍රී ලංකාවට අයත් ඖෂධ නිෂ්පාදන සමාගමක් වන සිනර්ජි ෆාමසියුටිකල්ස් සමාගම ජාත්‍යන්තර තත්ව ප්‍රමිතීන් සමග මෙරට සෞඛ්‍ය හා කර්මාන්ත ක්ෂේත්‍රයේ විප්ලවීය පරිවර්තනයකට මුලපුරා තිබේ.

ඒ, අති නවීන තාක්ෂණයෙන් යුතුව ශ්‍රී ලංකාවේ දැවැන්තම ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව ඉදිකරමිනි.

ඇමරිකානු ඩොලර් මිලියන 120ක දැවැන්ත ආයෝජනයකින් මෙම අති නවීන ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව ඉදිකෙරෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ආයෝජන කලාපයේ ය.

හෙක්ටයාර 4.23ක විශාල භූමි භාගයක් පුරා විසිරී ඇති මෙම ජාත්‍යන්තර මට්ටමේ ඖෂධ නිෂ්පාදනාගාරයෙහි ඖෂධ පෙති, කරල්, එන්නත්, හෝමෝන සංයෝග සහ ප්‍රබල පිළිකා ඖෂධ ඇතුළු පුළුල් පරාසයක ඖෂධ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

මෙම කර්මාන්තශාලාව 2025 වසර අවසන් වනවිට පරීක්ෂණ නිෂ්පාදන ආරම්භ කර 2026 මැද භාගය වනවිට පූර්ණ පරිමාණ වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

100% ක් දේශීය ආයෝජනයක් වශයෙන් මෙම දැවැන්ත කාර්යයට අතගසා සිටින සිනර්ජි ෆාමසියුටිකල්ස් සමාගමේ සභාපතිවරයා වන්නේ ප්‍රකට ව්‍යාපාරික රවී විජේරත්න මහතා ය. එහි කළමනාකාර අධ්‍යක්ෂ ධුරය රොහාන් විජේසුන්දර මහතා විසින් දරණු ලබයි.

ශ්‍රී ලංකාවේ ඖෂධ ස්වයංපෝෂිතභාවය කරා යන ගමනේ උපායමාර්ගික හවුල්කරුවකු ලෙස, අපනයන වෙළඳපොල මත දැඩි ලෙස පදනම්ව තිබෙන රටක සිට ස්වයංපෝෂිත මෙන්ම අපනයන සඳහා ද සූදානම් කර්මාන්තයක් බවට මෙරට ඖෂධ කර්මාන්තය පත්කිරීමේ අභියෝගය භාරගැනීමට තමන් සූදානම් බවයි සිනර්ජි ෆාමසියුටිකල්ස් සමාගම සඳහන් කරන්නේ.

පළමු අදියර සහ දෙවැනි අදියර වශයෙන් මෙම කර්මාන්තශාලාව එහි සම්පූර්ණ ධාරිතාවට ළඟා වූ පසුව ශ්‍රී ලංකාවේ දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් අවම වශයෙන් 20% ක් මෙහි නිෂ්පාදනය කිරීමට හැකිවනු ඇති බවත් එම සමාගම පවසයි.

ඔවුන්ගේ මීළඟ පියවර වශයෙන් සැලසුම් කර ඇත්තේ ඉන්දියාව සහ අප්‍රිකාව වැනි කලාපවලට ඖෂධ අපනයනය කිරීම පහසු කිරීම සඳහා එක්සත් ජනපද ආහාර හා ඖෂධ අධිකාරිය (FDA) සහ යුරෝපීය ඖෂධ නියෝජිතායතනය (EMA) වැනි ආයතන වෙතින් අනුමැතීන් ලබාගෙන ගෝලීය වෙළඳපොලට පිවිසීමට අඩිතාලම දැමීමටයි.

ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් හා මානව සම්පත් ප්‍රතිලාභ උපයෝගී කරගැනීම සම්බන්ධයෙන් තමන් ආඩම්බර වන අතර රටේ භූගත ජලයේ උසස් ගුණාත්මකභාවයත් ශ්‍රම බලකායේ ඉහළ බුද්ධිමය ධාරිතාවයත් අවධාරණය කරන බවත් සිනර්ජි ෆාමසියුටිකල්ස් සමාගම සඳහන් කරයි.

සිනර්ජි ෆාමසියුටිකල්ස් සමාගමේ මෙම නව කර්මාන්තශාලා පරිශ්‍රයෙන් සෘජු රැකියා 2500 ක් පමණ නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අතර එමඟින් මෙම ක්ෂේත්‍රය තුළ දේශීය රැකියා උත්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ දැමීම තුළින් බුද්ධි ගලනය අඩුකිරීමට දායකත්වය සපයයි. එමෙන්ම මෙය හුදෙක් ඖෂධ නිෂ්පාදනාගාරයක් පමණක් නොව දකුණු ආසියාවේ ඖෂධ නිෂාදනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාව ඉස්මතු වීමට අවශ්‍ය අඩිතාලම ද මේ හරහා සකස් කෙරෙනු ඇත. මේ සියල්ල, මෙම දැවැන්ත ව්‍යාපෘතිය හරහා රටේ ආර්ථිකයට ලැබෙන සෘජු දායකත්වයට අමතරව ය.

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී එයින් ගොඩ එමින් සිටින ශ්‍රී ලංකාවට අද දවසේ සිටින්නේ වැඩි වැඩියෙන් නව ආයෝජන, නව කර්මාන්ත, නව රැකියා අවස්ථා අත්‍යාවශ්‍ය වී තිබෙන මොහොතක ය. එවන් මොහොතක රවී විජේරත්න මහතාගේ සහ රොහාන් විජේසුන්දර මහතාගේ ශක්තිමත් නායකත්වය යටතේ සිනර්ජි ෆාමසියුටිකල්ස් සමාගම උරදී සිටින්නේ හුදු ව්‍යාපාරයකින් ඔබ්බට ගිය ජාතික මෙහෙවරකට බව කිව හැකිය.