සැවොම අවධානය යොමු කළයුතු ඓතිහාසික නඩු තීන්දුවක් ….

0
935

පහුගිය අප්‍රේල් මාසෙ අග දිනයක ඇඹිලිපිටිය අධිකරණයෙදි මිත්‍රයෙකු වෙනුවෙන් ඇප තැන්පත් කරන්න ආව අසංක ඉඳුනිල් කියන 46 හැවිරිදි පුද්ගලයගෙ දුරකතනය අධිකරණයෙදි නාද වෙනවා. ඔහුව පරීක්ෂා කරපු පොලිස් නිලධාරියා සාක්කුවෙ තිබිලා, බීඩි දෙකක් සහ ලයිටරයක් සොයා ගන්නවා. මෙයා යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරන්න ආවා කියන සැකයක් තියනව කියලා පොලිස් නිලධාරියා අධිකරණයෙන් ඉල්ලනවා වැඩි දුර විමර්ශන අවශ්‍ය නිසා රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා. රක්ෂිත බන්ධනාගාරගත කරපු අසංක ඉඳුනිල් එහිදී වුණ පහරකෑමක් නිසා මරුමුවට පත් වෙනවා.

මිත්‍රයෙකු වෙනුවෙන් ඇප තැන්පත් කරන්න ගිය සාමාන්‍ය පුරවැසියෙකු දවස් දෙක තුනකින් පෙට්ටියකින් ගෙදරට එනවා.

අධිකරණයකදී අපරාධ යුක්තිය අනුව රක්ෂිත බන්ධනාගාරගත කරන්න ඕන සීමිත අවස්ථාවලදී පමණක් කියන එක සාමාන්‍ය දෙයක්. ඒත් බොහෝ අවස්ථාවල දකින්න ලැබෙන්නෙ, අධිකරණය විසින් පොලිසියේ ඉල්ලීම අනුව සැකකරුවන් එකපැහැර රිමාන්ඩ් කිරීම. අධිකරණ තීන්දු කතා නොකළ යුතු ටැබූ සබ්ජෙක්ට් එකක් මට්ටමට පත්ව තිබෙන නිසා අපට ඒ ගැන කතා කරද්දි දෙපාරක් හිතන්න වෙනවා. අසංක ඉඳුනිල් වගේ දෙපයින් ඇවිදන් ගිහින් පෙට්ටියකින් ගෙදර එන්න වීමේ සම්භාවිතාවක් ඇති නිසා.

කොහොම වුණත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන්න තීන්දුවක මේ ගැන සෑහෙන වැදගත් කරුණු ප්‍රමාණයක් සඳහන් වෙන එක නෛතික ක්‍රියාවලිය සහ යුක්තිය ගැන සෑහෙන තරම් ආලෝකයක් දල්වනවා.

ඒ ගැන කෙටි විස්තරයක් කිව්වොත් මෙහෙමයි,

2018 වර්ෂයේ මැයි මාසෙ 6 දා වන අලි ගම්වැදීම වැළැක්වීමට බලධාරීන්ගේ මැදිහත්වීමේ දියාරුකමට විරෝධය පළ කළ ගොවීන් පිරිසක් අරලගංවිල කලුකැලේ මංසන්ධියෙදි විරෝධතාවක් සිදු කරනවා. මෙහිදී පොළොන්නරුව – මහියංගණ මාර්ගයේ ගමනාගමනයට බාධා වෙන බව දන්වලා පොලිසිය අධිකරණ නියෝගයක් ගන්නවා, විරෝධයට විරුද්ධව.

එහිදී අත්අඩංගුවට ගන්න ගොවීන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා කරන පොලිසියෙ ඉල්ලීමට ඉඩදීලා පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන් දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කරනවා.

මේ ගොවීන් දෙදෙනා, මේ හේතුවෙන් තමන්ගෙ මූලික අයිතවාසිකම් කඩවුණු බවට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනවා.

එහිදී ඉතාම වැදගත් කරුණු සහිතව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනවා. මෙකී අත්අඩංගුවට ගැනීම මගින් ගොවීන් දෙදෙනාගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා කියලා තීන්දු කරන ශ්‍රේෂ්ඨාධිකරණය අරලගංවිල හිටපු පොලිස් ස්ථානාධිපතිගෙ පෞද්ගලික මුදලින් එම දෙදෙනාට රුපියල් 30000 බැගින් ගෙවන්න කියලා නියෝග කරනවා.

මේ තීන්දුවෙ වැදගත්ම කොටස තමයි, ඇප ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස.

එහි සඳහන් වෙනවා, පොලිසිය ඉල්ලීමක් කළ පමණින් යමෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොකළ යුතු බව. යමෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ යුත්තේ සීමිත අවස්ථාවලදී පමණක් බව සහ මහේස්ත්‍රාත්වරයෙකු අපරාධ යුක්තිය මූලධර්මය අනුව කටයුතු කළ යුතු බව.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම නොතකා, පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන්ව දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෘත්තීය ගරුත්වයට පවා නොගැලපෙන බව නඩු තීන්දුවේ සඳහන් වෙනවා. මෙවැනි ක්‍රියා දිගටම සිදු නොවන්නට මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීමට විනිසුරු පුහුණු ආයතන අධ්‍යක්ෂවරයාටත් තීන්දුව මගින් නියෝග කරනවා.

සමකාලීනව ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අතර සෑහෙන කතාබහට ලක් විය යුතු තීන්දුවක් විදිහට මේක සලකන්න පුළුවන්. පෙත්සම වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ චතුර වෙත්තසිංහ සහ නුවන් බෝපගේ යන අයටත් කෘතඥතාව පළ කරන්න ඕන. ඒ වගේ ම මේ තීන්දුව ගැන හොඳ සංවාදයක් ඇති කරගන්න පුළුවන් නම් වටිනවා !

~ සඳුන් ප්‍රියංකර විතානගේ