සටහන – රුවන් නෙළුගොල්ල
මෙරටට ආනයනය කර ඇති BYD විදුලි වාහන සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් සිදු කෙරෙන බවත් එහිදී තීරුබදු ගෙවීමේ යම් අඩුපාඩුවක් සිදුව ඇතැයි සැකයක් පවතින බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
“BYD වාහන සම්බන්ධයෙන් රේගු විමර්ශනයක් කරගෙන යනවා මේ අවස්ථාව වනවිට. යම්කිසි සැකයක් තියෙනවා සමහරවිට මේ තීරුබදු ගෙවීමේ අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙන්න පුළුවන් කියන එක ගැන. විමර්ශනයෙන් පස්සේ තමයි ඒ ගැන හරියට කියන්න පුළුවන් වෙන්නේ”
ප්‍රශ්නය – යම් වැරැද්දක් මේ තුළ සිදුවෙලා තියෙනවා නම් නැවත ප්‍රති අපනයනය කිරීමේ අයිතිය රේගුව සතුයිද ?
“ඒක බලන්න ඕනෙ මොකක්ද සිදුවෙලා තියෙන වැරැද්ද කියලා. යම් යම් වරදවල් තියෙනවා, ඒ වරදවල්වලට සිදුවිය යුත්තේ ඒ වාහන නැවත ප්‍රති අපනයනය කිරීම. නමුත් වෙනත් වැරදි තියෙනවා රේගු ආඥාපනත යටතේ වෙනවෙන දඬුවම් ලැබිය යුතු. මෙතනදී වරදක් වෙලා තියෙනවා නම්, රේගු ආඥා පනත යටතේ අපි තීරණ ගන්නවා”
“බදු අයකිරීම අපි සියලු දෙනාටම එක හා සමානව කරන්නෙ. අසමානව අයකිරීමේ කිසිදු හැකියාවක් අපට නීතිය තුළ නෑ. වංචනික ලෙස වැරදි තොරතුරු දීලා බදු අඩුවෙන් ගෙවීමට, එහෙම නැත්නම් වෙනත් පවතින නීති උල්ලංඝනය කරන්නට යම්කිසි කෙනෙක් උත්සාහ කළොත් රේගු නීතිය යටතේ අදාළ භාණ්ඩ රාජසන්තක කරන්න පුළුවන්. ඒ වගේම ඒවාවල වටිනාකම වගේ තුන් ගුණයක දඩයකට ඒ පුද්ගලයා හෝ සමාගම යටත් කරන්න පුළුවන්. ඒක තීරණ වෙන්නේ විමර්ශනයකින් පස්සේ”
ප්‍රශ්නය – රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් ගෙනාපු වාහන ප්‍රති අපනයනය කරනවා කියලා රජයෙනුත් කියලා තියෙනවා. මේ වගේ ප්‍රති අපනයනය වුණාද ?
“පාවිච්චි කරපු වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී යම් යම් ලේඛන ඒ වාහන අපනයනය කරන රටේ බැංකුව හරහා ආ යුතුයි, ඒ වගේම ඒ බැංකුවේ මුද්‍රාව තබා ආ යුතුයි කියන නීතිය නිසා යම් යම් වාහනවලට ප්‍රශ්න ඇතිවුණා රේගුවෙන් නිදහස් කිරීමට නොහැකි තත්වයක් ඇතිවුණා. ඒ ආනයන පාලන පනතේ තියෙනවා එවැනි වරදක් සිදුවුණොත් කළ යුත්තේ ඒවා ප්‍රති අපනයනය කිරීම කියලා. දැනට වාහන එකයි ඒ විදියට ප්‍රති අපනයනය කරලා තියෙන්නෙ. අදාළ තවත් වාහන තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම ප්‍රති අපනයනය කළ යුතුයි”
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.
BYD වාහන මෙරටට ආනයනය කරනු ලබන්නේ ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගම විසිනි.
