නිශ්මං රණසිංහ අගෝස්තු 09, කොළඹ LNW:
චමෝද් යෝධසිංහගේ සාර්ථකත්වය මත වැටී ඇත්තේ යුපුන් අබේකෝන්ගේ සෙවනැල්ලය.මේ කාරණය විවාද සම්පන්නය.සවිඥාණික නොවන එහෙත් අවිඥාණිකව හෝ ඇත්ත එයය.
යුපුන් අබේකෝන් මීටර් 100 තත්පර 9.96 න් නිමා කළ පසු ඔහු දකුණු ආසියාවේ එවන් දස්කමක් කළ පළමුවැන්නා විය.ඉතිහාසයේ කිසිදිනක නොමැකෙන සේ දකුණු ආසියාවේ මීටර් 100 ක් තත්පර 10 ට අඩුවෙන් දිව ගිය පළමුවැන්නා සේ ඔහුගේ නම ඉතිහාසයට එකතු වන්නේය.මේ වන විට එය දකුනු ආසියාවටම අභියෝගයක් වී ඇත.සියල්ලම උත්සාහ කරමින් ඉන්නේ මීටර් 100 තත්පර 10 ට අඩුවෙන් දුවන දෙවැන්නා වීමටය.චමෝද්ට ඇති අභියෝගය ලංකාවේ පළමුවැනියා වීමනම් සහ ශ්‍රී ලංකා වාර්තාවට උත්සාහ කිරීමනම් ඔහු තත්පර 9.96 ට අඩුවෙන් දිවිය යුතුය.
හෙට හෝ අනිද්දා දවසක එකම පහසුකම් මත යුපුන් සහ යෝධසිංහ දිව ගියහොත් එය කවුරුන් ජය ගනීද කිව නොහැකි තරමට දැන් දෙදෙනා තරගකාරීය.වැදගත් දෙදෙනාවම රැකගෙන ඉසව්වේ තරගකාරීත්වය ඉහළ නැංවීමය.ඊට පහළින් සිටින ඉඳුවර වීරරත්න,මෙරොන් විජේසිංහ ලා තවමත් හිරිමල් යෞවනයෝය.එහෙත් දක්ෂයෝය.ඒ අයට මේ තරගය පසුපස තව වසර කිහිපයකදී ශ්‍රී ලංකාවේ මීටර් 100 වාර්තාව තවත් ඉදිරියට ගෙන යා හැකි වනු ඇත.
සුගත් තිලකරත්නගේ වාර්තාව තවම වෙනස් වී නැත.එහෙත් එය වෙනස් කළ හැකි බවට ඉඟි පළ කරන ධාවකයින් නිර්මාණය වෙමින් ඇත.එහෙත් සුගත් ඩබ්ලිව් විමලදාස තැබූ මීටර් 400 සඳහා වූ තත්පර 46.21 ක වාර්තාව බිඳ දමන විට එයට වසර 20 ක් පමණ ගත වී තිබිණ.සුගත් එම වාර්තාව වරින්වර ඉදිරියට ගෙන එමින් තත්පර 44.61 දක්වා ගෙන ආවේය.
සුගත්ගේ වාර්තාව අභිබවා යා නොහැකි වුව ද,සුගත්ගේ දස්කම නිසා එක පොකුරට ඔහුගේ කාලයේම විමලදාස පසුකර යා හැකි පොකුරක් තැණුනේය.රොහාන් පෙරේරා,ප්‍රසන්න අමරසේකර,රංග විමලවංශ,රෝහිත පුෂ්පතුමාර,අශෝක ජයසුන්දර ලෙස මේ නම් පෙළ තවත් දිගු කළ හැකිය.ඔුන් ඇතැමෙක් සුගත්ව දේශිය පිටියේදීම අභිබවා ගියේය.සහය දිවීමෙන් මේ අය එකතු වි ආසියාවම හෙල්ලුවේය.
දැන් නැවතත් එවැනි තත්ත්වයක් නිර්මාණය වෙමින් ඇත.45 – 46 සීමාවේ මීටර් 400 දුවන පිරිස පාසල් මට්ටමෙන්ද දැකිය හැකිය.ඊට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ මෑත කාලයේ නිර්මාණය වූ කාලිංග සහ අරුණ දර්ශන අතර තරගයය.ඒ අතරින් ඉතාම අවශ්‍යයම මොහොතේදී කාලිංගව අභිබවා යන්නට අරුණට ලැබුණු අවස්ථාව ඔහු ඔලිම්පියන් ලේබලය යටතේ විශේෂ කොට රඳවා ඇත..ඒ පිළිගැනීම සිවිල් තත්ත්වය වෙනස් කර ඉහළින් තබන තත්ත්වයක ප්‍රසන්න අමරසේකර වැන්නෙක්ද සිටින්නේ පහළින්ය.
සමහර අවස්ථාවක ඔලිම්පියන් වීමේ අවස්ථාව දිග හැරෙන්නේ වයිල්ඩ් කාඩ් පදනමෙන්ය.රටට වියදම් කළ හැකි මූල්‍යමය තත්ත්වයන්ට සාපේක්ෂවය. ඒ කෙසේ ගිය ද ඔලිම්පික් නියෝජනයේ ගෞරවය වැදගත්ය.ඊට සමාජය ද ගරු කළ යුතුය.එහෙත් ඒ මොහොත වන විට ඔලිම්පියන් සුදුසුකම ලැබීමට නොහැකි වූ හේතු ඇති සමහර විට ක්‍රීඩාව තුළ ඊට වඩා දස්කම් දක්වා ඇති කෙනෙකු ඔලිම්පියන් නොවන නිසා වෙනස් කර සළකන්නේනම් එයද කණගාටුදායක තත්ත්වයකි.ඒ නිසා නියෝජනයේ ගෞරවය නියෝජිතයින් සංවිධානය විමේ අයිතියට අමතරව දක්ෂතා මත සැළකීම ඇගයීම පිණිස වන ඉතිහාසයට අදාළ වැඩ සටහනක් ජාතික ම්ට්ටමෙන් තිබිය යුතුය.
සටහන ආරම්භයට පිවිසුණොත් යෝධසිංහ මත වැටී ඇති යුපුන්ගේ සෙවනැල්ල මෙන් මීට වසර ගණක පෙර මංජුල කුමාර මත වැටුණේ රංගන පිගේරාගේ සෙවනැල්ලය.රංගනව අභිබවා ගිය පළමු මොහොත් මංජුල පමණක් විය.පදක්කම් සහ ආසියාව ලෝකය සමඟ තරග කිරීමට දෙදෙනෙක් යන අදහසින් බැහැරව එකෙකු නඩත්තු කරන්නට විය.රංගන රටින්ම මුඑ ක්‍රීඩාවෙන්ම බැහැර විය.එසේ නොවුණානම් මංජුල පනින උස වුව මීට වඩා වැඩි වෙන්නට තිබිණ.
ඒ නිසා යෝධසිංහ මෙන්ම යුපුන්ගේ සහ යෝධයාගේ සෙවණැලි දෙකම පතිතව සිටින ඉඳුවර සහ මෙරොන් ගේ පරම්පරාව ද සුරැකීම පිණිස වැඩ සටහනක් ඇවැසි වන්නේය.චමෝද් කිසියම් ජාතික වැඩ පිළිවෙලක පලයක් නොවේය.ඔහු සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා පිටියෙන් මතු වූ දා සිට මේ දක්වා පැමිණි ගමන් මඟ ඇතුළේ කුමන ජාතික වැඩ පිළිවෙලක් යටතෙ ඔහුව මෙහෙයවා ඇද්ද?ඔහුට නැඟෙන්නට ජත්‍යන්තර පොළවක් සකසා දිී ඇද්ද?
චමෝද් ජයගත් පසු ඔහුට දැන් අවස්ථාව ලැබෙමින් පවතියි.එහෙත් ඔහු ජයගත හැකි අයෙකු ලෙස හදුණා ගත්තේ නැත.දක්ෂතාවල උපරිමයට ළඟාවීමට නොහැකි වන්නේ අපහසුවෙන් දක්ෂතා දක්වා දක්ෂයෙතු බව පෙන්වන තෙක් දියුණු කළ හැකි දක්ෂයෙකු ලෙස හඳුණා ගන්නට වැඩ පිළිවෙලක් සහ වර්ධනය වන්නට පහසුකම් පුළුල් කළ හැකි වැඩ පිළිවෙලක් නොමැතිකමෙන්ය.
ඒ නිසා ලංකාවේ මලල ක්‍රීඩාවේ දි සිදුවන්නේ දක්ෂයෙකු බව ඔප්පු වූ පසු ඔහුව රැක ගැනීමේ ඔහුගේ පුහුණුකරුගේ දැණුම වර්ධනය කිරීමේ ඔහුව මෙහෙයවීමේ වැඩ සටහන් වෙනුවට ප්‍රවීනයා ක්‍රීඩකයාව ඩැහැ ගැනීමය.ඉනික්බිති ක්‍රීඩකයාගේ හොඳම අවධියේ දි මුල් අවධියේ කළ කී දේ කිසිවක් නැත.ඇගයීම් එද්දී ජයග්‍රහණ එද්දී අවසාන මොහොතේ දුවපු කාලය නැත්නම් අවසාන අවස්ථාවේ වාර්තා කළ දුර සමග ඔහුගේ වර්ධන ප්‍රස්ථාරයක් සහ එහි පහළ නැඟීම්වල හිමිකරුවන් සඳහන් වන්නේ නැ.හරියට දාරකාගාරයෙන්ම රැඟෙන වර්ථමාන පුහුණුකරු හදා වඩා ගත් බවක් දිස්වෙන්නේය.
ක්‍රීඩාවේ අසළින්ම සිටි අය ද ක්‍රීඩකයන්ද අමතක කර දමන්නේය.ජනප්‍රියතලයේ තත්ත්වයන් සමඟ පෙළ ගැසෙන්නේය.ඉනික්බිති ඔවුන්ට අවශ්‍යය වන්නේ වර්ථමානයට පැමිණි ගමනේ දුෂ්කර සහ දුංඛිත කාල පරිච්ඡේද ගැන දන්නා අයගෙන් ඈත් වන්නටය.මේ තත්ත්වය සමහර පුහුණුකරුවන්ටද ඇති අතර පුහුණුකරුවන්ම සිය පුහුණුවීම්වලට අතීතය වළ දමා පැවතීම ද උගන්වන්නේය.
මේ බාධාවන් වෙනුවට දියුණු සංස්කෘතික ලක්ෂණ සමඟ දක්ෂතා ගැන වෙනත් දේ සළකා නොබලන එකිනෙකා කෙරෙහි ගෞරවය දක්වන වපසරියක හැදෙන්නට භාග්‍යය ලද යුපුන් ක්‍රියාත්මක වන වෘත්තීය මට්ටමේ සෙවණැල්ලත් යෝධසිංහට වැටිය යුතුය.තත්පර 9.96 හඹා යාමේ ගමනේ කූටප්‍රාප්තිය හැඳෙන්නේ එතැන් සිටය.යුපුන් තත්පර 10 සහ ඊට අඩු දුසිමක් පමණ ධාවන පථියේ දකින ගැටෙන කෙනෙකි.යෝධසිංහට මේ අවස්ථාව නැත.ජාත්‍යන්තර අවස්ථා ඊට අදාළ අනුග්‍රාහකත්වය වානිජ ව්‍යාපාරවලට ක්‍රීඩාව වෙළද පොළක්වීම වැනි කාරණාවන් හිස් තැන්ව පවතින පොළවක සෙබළ වැටුප සමඟ වෙනත් අනුග්‍රාහ දීමනා කිහිපයක්ද එකතු කරගෙන දුවන යෝධසිංහලා යෝධයෝ වන්නේම හැබැයි ඒ නිසාය.යෝධසිංහට නැති භෞතික පහුසකම් සමඟ මේ විදිහට නැඟෙන්නට හැකි මනසක් තිබීම සහ ඒ තත්ත්වයන්ගෙන් විතැන් ක්‍රීඩකයෙකුගේ මානසිකත්වය අතර පරතරය කියන්නේ ජයග්‍රහණයේ විශාලත්වය සහ කුඩාකම අතර පරතරයටයි. හැමෝටම යෝධ වැඩ කරන්න හැකි විදිහට මේ පරිසරය සැකසෙන දවසක් අවශ්‍යය වන්නේ ඒ නිසයි.දක්ෂයෝ හිඟ නැත රැක ගන්නට නංවා ගන්නට වැඩක් නැත.
