රජයේ දැඩි නියාමනයකට යටත්ව අපනයනය සඳහා කංසා වගාකිරීමට ආයෝජකයින්ට අවසර ලබාදෙන බවත් 2024 අප්‍රේල් මාසයේදී පසුගිය රජය විසින් අනුමැතිය ලබාදුන් මෙම ව්‍යාපෘතිය මේ වනවිට අඩුපාඩු සකස් කරමින් ඉදිරියට ගෙනයමින් පවතින බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසයි.
”මේ සඳහා අනුමැතිය ලබාදෙන්නේ 2024 අප්‍රේල් මාසයේදී, එවකට දේශීය වෛද්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කළ සිසිර ජයකොඩි අමාත්‍යවරයාගේ කාලයේදී. මේ සඳහා වන රෙගුලාසි සකස් කරලා තියෙනවා. ඒ අනුව ආයෝජන මණ්ඩලය සම්බන්ධ කරගෙන මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න පුළුවන්. නමුත් පහුගිය කාලයේදී මෙවැනි ආයෝජකයින් 7 දෙනෙක් පැමිණියත් මේ සඳහා වෙච්ච ක්‍රමවේදයේ තිබුණු අඩුපාඩුකම් නිසා කාලයක් ගතවෙලා තිබුණා. මේකට ආයෝජන දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගත යුතුයි. තවත් ආයතන කිහිපයක් තිබෙනවා පරිසර අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය වගේ. එතකොට අපි ඒ අඩුපාඩුකම් සාකච්ඡා කරලා – මොකද මේක ආයෝජනයක් හැටියට ලංකාවට එන්නෙ, අනිත් පැත්තෙන් අවසරය ලැබෙන්නේ ඉතාම දැඩි ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ මේ වගාවේ සියලුම කොටස් අපනයනය සඳහා තමයි. මේක පළවෙනි වතාවට මේ ආකාරයට කටයුතු සිදුවෙන්නේ මේ විදියට. ඒ කියන්නෙ රජයේ නියාමනයට යටත්ව අපනයනය සඳහා ආයෝජකයින්ට අවස්ථාව ලබාදෙන්නෙ. මේ ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩලය සහ ආයෝජන දෙපාර්තමේන්තුව එකතුව ක්‍රියාත්මක කරමින් පවතිනවා”
ප්‍රශ්නය – ඒ ප්‍රවෘත්තියේ තියෙනවා මීරිගම අක්කර 62ක් එක සමාගමකට දීලා තියෙනවා කියලා. අපි සාම්ප්‍රදායිකව මේකට ප්‍රසිද්ධ පළාතක් තියෙනවානෙ ගංජා වගාව සඳහා. රජයේ ඉඩම්ම තමයි පාවිච්චි කරන්නෙ ඔය තණමල්විල පැත්තෙ හොර රහසින්. එතකොට මේ ආයෝජන සඳහා මේ වෙනකොට ඉඩම් හඳුනාගැනීමක් කරලා තියෙනවාද ? මීරිගම දීලා තියෙනවා නම් ඒ ඇයි ?
”ආයෝජන කලාපවල පමණයි මේක සිදුකරන්නෙ. එහෙම කළොත් තමයි අපට ආයෝජකයින්ට යම් සහනයක් සහ නියාමනයක් සිදුකළ හැකිවන්නේ. ඒ වගේම මේක ඉතාම නියාමන, පාලිත තත්වයන් යටතේ සිදුකළ යුතුයි කියලා ඔබ දන්නවා. නැතිව කොහෙන් වුණත් මේක වවන්න අවසරයක් ලබාදෙන්නෙ නෑ. ඒ නිසා තමයි මේක ආයෝජන කලාපයට සීමා කරලා තිබෙන්නෙ. තවත් එතනින් එහාට කරන්නෙ කොහෙද කියන එක ගැන තවම සාකච්ඡාවක් නැහැ”
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී නැඟුණු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.
