නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදුදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට අදාළව අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු තිදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට පෙර අදාළ නඩු ගොනුව නීතිපතිවරයා වෙත යොමුකළේ ඇයිදැයි ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය ප්‍රශ්නකර තිබේ.
ඒ, එම නඩුව පෙරේදා (22) කැඳවූ අවස්ථාවේදී ය.
ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය කළ නියෝගයකට අනුව අමාත්‍ය වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ යන තිදෙනා පසුගියදා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට පැමිණ ප්‍රකාශ ලබාදී තිබුණු අතර එම වාර්තා එදින අධිකරණයට ඉදිරිපත් කරන ලදී..
එහිදි මෙම නඩුවට අදාළව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ අමාත්‍ය වසන්ත සමරසිංහ යන අයගෙන් ප්‍රකාශ ලබාගැනීමට පෙර නඩුවේ විමර්ශන ගොනුව නීතිපතිවරයා වෙත යොමුකළේ ඇයිදැයි මහෙස්ත්‍රාත්වරිය කොළඹ වංචා විමර්ශන කාර්යාංශයෙන් ප්‍රශ්න කළාය.
නිලධාරීන් ඊට සෘජුවම පිළිතුරක් ලබාදී නොතිබුණු අතර නැෂනල් වර්කස් කොන්ග්‍රස් වෘත්තීය සමිතියේ පැවති මහ සභා රැස්වීමේදි විධායක කමිටු නිලධාරීන්ගේ තීරණය මත බදුදීමනාකරුවෙකු වශයෙන් තමන් පෙනීසිටි බවට අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශයක් ලබාදුන් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශ නිලධාරීන් පවසා ඇත.
මේ අතර අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයේදී පැවසුවේ, අදාළ නඩුව ගොනු කිරීමෙන් පසු අවස්ථා දෙකකදි සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කර තිබියදී එම නියෝග ක්‍රියාත්මක නොකර අධිකරණය නොමග යවමින්, නඩු කටයුත්ත ප්‍රමාද කිරීම සඳහා පොලීසිය නීතිපති උපදෙස් අවශ්‍ය යැයි පවසා ඇති බවය.
මෙම නඩුව එළැඹෙන සැප්තැම්බර් 26 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මියට වෙනත් අධිකරණයකට ස්ථාන මාරුවක් ලබාදී ඇති නිසා සැප්තැම්බර් 26 වනදා අලුත් විනිසුරුවරයකු ඉදිරියේදී මෙම නඩුව කැඳවෙනු ඇත.
තමන්ට ස්ථාන මාරුවීම ලබාදී ඇත්තේ අධිකරණ සේවා කොමිසම විසින් බවත් මෙම නඩුවේදී තමන්ට කිසිදු පාර්ශ්වයකින් බලපෑමක් එල්ල නොවූ බවත් චතුරිකා ද සිල්වා මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර තිබිණි.
