කොළඹ LNW:පැවති රජයන් යුද්ධය අපේක්ෂාවෙන් වැඩ කළද, වත්මන් රජය කටයුතු කරන්නේ නැවත මේ රටේ කිසිදු ආකාරයේ යුද්ධයක් ඇති නොවන අන්දමින්,රට තුළ සාමය සහ සමගිය ගොඩනැගීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.
පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ සඳහා පවරා ගත් උතුරේ නිදහස් කළ හැකි සෑම ඉඩමක්ම යළි ජනතාව වෙනුවෙන් නිදහස් කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (01) යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
රට වටා ඇති මහ මුහුද,දූපත් මෙන්ම ගොඩබිමද ජනතාව වෙනුවෙන් ආරක්ෂා කර දීමට රජය කැප වී සිටින බවත්, ඊට කිසිදු ආකාරයේ බලපැමක් එල්ල වීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කරන ලදී.
“විශේෂයෙන්ම අපේ ධීවර ජනතාවට වැදගත් තැනක් තමා කච්චතිව් දූපත. අද විශාල සංවාදයක් කච්චතිව් දූපත කේන්ද්‍ර කරගෙන ගොඩ නැගී තිබෙනවා. මම හවසට එතැනට ගිහින් ඒ ධීවරයින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ භූමිය දුපතක් ද ? මහ මුහුද ද? අහස ද? ගොඩබිමද? ආරක්ෂා කිරීම මතු පරපුරට ආරක්ෂා කර ලබාදීම අපේ වගකීම. එය ඉටු කිරීමට අපි බැඳී සිටිනවා. අපේ මුහුද අපේ ජනතාව වෙනුවෙන්, අපේ ගොඩබිම අපේ ජනතාව වෙනුවෙන්, අපේ අහස අපේ ජනතාව වෙනුවෙන් කිසිදු බලපෑමකට යටත් නොවෙන බව ඔබට කියන්න කැමතියි.”
රට තුළ බෙදී සිටිය ජනතාව එකතු කිරීමට උතුරේ ජනතාව පසුගිය මහ මැතිවරණයේ දී තීරණාත්මක සාධකයක් වූ අතර එම එකතුවීම අනාගතයේ තවදුරටත් ශක්තිමත් කළ යුතු බව කියාසිටි ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ දරුවන් කිසිදාක නොබෙදී සිටිය යුතු බවයි.
උතුර, දකුණ, නැගෙනහිර ලෙස බෙදීමකින් තොරව රට තුළ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවක් ලෙස තමා විශාල වෙහෙසක් දරන බවද එහිදී ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම උතුරේ ජනතාව මුහුණදෙන ආර්ථික ගැටලු විසඳීම පිළිබඳ වැඩි අවදානයක් යොමු කර ඇතැයි හෙතෙම පවසන ලදී.
“යුද්ධයක් එයි කියලා විනාශකාරී හැඟීමකින් අපි ඒ ඉඩම් තබා ගත යුතු නෑ. අපේ ආණ්ඩුව වැඩකරන්නේ යුද්ධය එන එක නවත්වන්න. සමහර ආණ්ඩු සැලසුම් කළේ යුද්ධය එනවා කියලා හිතලා ඉඩම් තියාගෙන ඉන්න. ඒ නිසා නිදහස් කළ හැකි සෑම පාරක්ම, නිදහස් කළ හැකි සෑම ඉඩමක්ම අපි ජනතාවට ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම උතුරේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය තමා ධීවර රස්සාව . ඒ ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීමක්. ඒ අනුව තමා මේ ධීවර වරායේ තුන්වන අදියර සංවර්ධනය කිරීමට අපි සැලසුම් කළේ. ඒ ජනතාව අවශ්‍ය ආම්පන්න සහනාධාර මිලකට ලබාදෙන්න කටයුතු කරනවා. ධීවර ජනතාව මුහුණදී සිටින ආක්‍රමණිකයින්ගෙන් මුදවා ගන්නත් අවධානය යොමු කරනවා.”
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර සංකේතාත්මකව අද ආරම්භ කරන ලද අතර
මේ යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහාද ජලය, විදුලිය, ඉන්ධන ආදී අත්‍යවශ්‍ය පහසුකම්, ශීතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම්ද සලසා දීමට සැලසුම් කර තිබේ. මේ සඳහා රජය මේ වසරේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 298කි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන් මහතා, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම්, උතුරු පළාත් රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ආශිකා බ්‍රාහ්මණ
