බන්ධනාගාරයෙන් ඇසෙන කතා..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW:

වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රැඳවියන් පිරිස තවත් අඩු කිරීමට වෛද්‍යවරුන්ගේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වේ.

එහිදී, දියවැඩියාව රෝගයෙන් පෙළෙන රැඳවියන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඔවුන්ට අදාල එන්නත් ලබාදීම මෙතෙක් සිදු වූ ක්‍රමවේදය වූ අතර, ඒ අනුව ඉදිරියේදී දියවැඩියාව පාලනය කිරීම සඳහා ඉන්සියුලින් එන්නත ලබා ගන්නා රැඳවියන් එම රෝහලට ඇතුළත් නොකිරීමට අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙතෙක් කල් සිදු වූයේ, එලෙස රෝහල්ගත වන රැඳවියන්ට දින කිහිපයක් නේවාසිකව රෝහලේ රැඳී සිටීමට අවස්ථාව හිමි වන අතර, එම රෝහල් ආරංචිමාර්ග පැවසුවේ, එම රෝග තත්ත්වයෙන් පසුවන රැඳවියන් 24 දෙනෙකු මේ වන විටත් වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටින බවයි .

මින් ඉදිරියට දියවැඩියාව පාලනය කිරීම සඳහා, රැඳවියන්ට ඔවුන් රඳවා සිටින බන්ධනාගාරය වෙත ගොස් ඉන්සියුලින් එන්නත ලබාදීමට තීරණය කර තිබෙන අතර, බන්ධනාගාර ආරංචිමාර්ග පැවසුවේ, එහි නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 08 දෙනෙකුට ඉන්සියුලින් එන්නත, එම බන්ධනාගාරයටම ගොස් ලබාදීමට වැලිකඩ බන්ධනාගාර රෝහල විසින් ආරම්භ කර ඇති බවයි.

වැඩිදුරටත් වාර්තා වුණේ, ඉදිරියේදී කොළඹ බන්ධනාගාරවලද එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවයි.