ඉසුරු පරාක්‍රම
සැප්තැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශුද්ධ වූ අතිඋතුම් දාහතරවන ලියෝ පාප්වහන්සේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ පෙළේ ක්‍රියාධරයන් පිරිසක් ඊයේ (01) දින හමුව ඇති බවට වාර්තා වේ.
විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් හට තම ආගමික භක්තිය මත කිතුණු දහම ඇදහීමට ඇති අයිතිය පිළිගනිමින් ඔවුන් ආදරයෙන් වැළඳ ගැනීමට කතෝලික සභාව කටයුතුකරන බවට උන්වහන්සේ ප්‍රකාශකළ බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කරයි.
මෙම හමුව සිදුව තිබෙන්නේ, විවිධ ලිංගික අනන්‍යතා ඇති කිතුණු භක්තිකයන් සඳහා වතිකානුවට ශුද්ධ වූ අවුරුදු වන්දනාවක් සැලසුම් කිරීමට දින කිහිපයකට මත්තෙන් වීම ද විශේෂත්වය කි.
තම පූර්වගාමියා වූ ශුද්ධ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විශ්වාසකළ දර්ශනය ඉදිරියට ගෙනයමින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් කතෝලික සභාව විසින් පිළිගැනීමට කටයුතුකරන බවට ශුද්ධ වූ අතිඋතුම් දාහතරවන ලියෝ පාප්වහන්සේ තමාට පැවසූ බව එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ සිටින කතෝලික සභාවේ විශාලතම නිකායවන ජිසූට් නිකායේ ලේඛකයකු සහ සංස්කාරකවරයකුවන පූජ්‍ය ජේම්ස් මාර්ටින් හිමිපාණන් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත සැලකර සිටිති.
විවිධ ලිංගික ප්‍රජාව ඇතුළු සියලු පුද්ගලයන් පිළිගැනීමට කතෝලික සභාව සූදානම් බවට වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ පණිවිඩය ම ලියෝ පාප්වහන්සේ ද රැගෙන එන බවත්, එය ඉතාම අනර්ඝ ක්‍රියාවක්වන අතර, ඉතාම සැනසිලිදායක, දිරිගන්වන සුළු සහ බොහෝ විනෝදජනක ප්‍රකාශයක් බව උන්වහන්සේ පැවසූහ.
මෙම හමුවීම පැය භාගයක පමණ කාලයක් සිදුව ඇති අතර, ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කිරීමට ද වතිකානුව කටයුතුකර ඇත. ඒ අනුව, විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් වෙනුවෙන් කතෝලික සභාවේ දොරටු තවමත් විවෘතබව මහජනතාවට දැනගැනීමට කතෝලික සභාව කටයුතුකර ඇති බව මින් පැහැදිලි ය.
ලියෝ පාප්වහන්සේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් දරන ස්ථාවරය පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබුණේ හේතු කිහිපයක් නිසා ය. ඉකුත් මැයි මාසයේ උන්වහන්සේ දාහතරවන ලියෝ පාප්වහන්සේ බවට තේරීපත්වන විට, 2012 වර්ෂයේ දී එවකට පූජ්‍ය රොබර්ට් ප්‍රෙවොස්ට් ලෙස උන්වහන්සේ විසින් පැවසූ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් යළි සමාජ මාධ්‍යවල සැරිසරන්නට විය. කතෝලික පූජකවරයකු ලෙස එවකට උන්වහන්සේ “සමලිංගික ජීවන රටාව” විවේචනයකර තිබූ අතර, “කිතුණු ධර්මයට පටහැනි සමලිංගික සබඳතා” පිළිගැනීම ප්‍රවර්ධනය කිරීමට ජනමාධ්‍ය කටයුතු කිරීම වැරදි බව ප්‍රකාශ කළහ. එමෙන්ම, දාහතරවන ලියෝ පාප්වහන්සේ බවට තේරීපත්වීමෙන් අනතුරුව ද, “පවුල් ඒකකය සමන්විය යුත්තේ කාන්තාවක හා පිරිමියකු අතර පමණක්” බවට උන්වහන්සේ ප්‍රකාශකර තිබීම ද දැඩි සංවාදයක් සමාජය තුළ ඇති කිරීමට සමත් විය.
කෙසේවෙතත්, උන්වහන්සේ 2023 වර්ෂයේ දී කාදිනල්වරයකු ලෙස තේරීපත්වීමෙන් අනතුරුව, වඩාත් ඇතුළත්භාවයකින් යුතුව කිතුණු භක්තිකයන් පිළිගැනීම සම්බන්ධයෙන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දැරි ස්ථාවරය තමා ද පිළිගන්නා බවත්, මිනිසුන් ජීවිතයේ ගනු ලබන තීරණ, ඔවුන්ගේ ජීවන විලාශ, රක්ෂාව, ඔවුන් අඳින පළඳින ආකාරය හෝ වෙනයම් කරුණක් මත ඔවුන් හලා දැමීම සිදුනොකළ යුතු බවට ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පැහැදිලිව ම ප්‍රකාශකළ බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
වර්තමානයවන විට තමා දැරි ස්ථාවරය වෙනස් කරමින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් පිළිගැනීමට ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ගේ අනුප්‍රාප්තිකයා ලෙස තමා ද සූදානම්බව දාහතරවන ලියෝ පාප්වහන්සේ ප්‍රකාශකර තිබීම විවිධ ලිංගික අනන්‍යතා ඇති කිතුණු භක්තිකයන්ට දැඩි සැනසීමක් හා ආරක්ෂාකාරී හැඟීමක් ඇතිකරවනු ඇත.
මීට ඉහත අවස්ථාවක දී, “වී ආර් චර්ච් ඉන්ටර්නැෂනල්” සංවිධානය ලියෝ පාප්වහන්සේ හමුවීමට ගිය පුවත අපි ඔබට වාර්තා කළෙමු. වී ආර් චර්ච් ඉන්ටර්නැෂනල් යනු විවිධ ලිංගික අනන්‍යතා ඇති පූජකවරුන් සහ කාන්තා පූජකවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයකි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාව අතර කතාබහකවත් නොමැති “සමලිංගික විවාහයක්” ගැන කෑ මොරදෙන, ලිංගික සංක්‍රාන්ති ක්‍රියාදාමය සඳහා වයස අවුරුදු 18 සම්පූර්ණකර තිබීම නීතියෙන් අනිවාර්යකර තිබිය දී “දරුවන් ලිංග විපර්යාසයන්ට ලක්කරන” බවට බොරු බිල්ලන් මවමින් මහජනතාව කුපිත කරමින් සිටින කාදිනල් රංජිත් හිමිපාණන්ට තමා නියෝජනය කරන වතිකානුවේ නායකත්වය දරන අතිඋතුම් දාහතරවන ලියෝ පාප්වහන්සේගෙන් උගනීමට පාඩම් රැසක් ඇති බව නැවතත් සිහිපත්කර දීමට අපි කැමැත්තෙමු.
සබැඳි පුවත්:
බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්! – LNW Sinhala
මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක් – LNW Sinhala

