මේ වසර තුළ පොලිස් නිලධාරීන් 350 කගේ වැඩ තහනම් කර තිබෙනවා – ඇමති ආනන්ද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ විවිධ අනීතික ක්‍රියාවන්ට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් 350 කට ආසන්න පිරිසකගේ වැඩ තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

“ඔබ දන්නවා මේ පොලිස් සේවාවට අතීතයේදී ලැබිලා තිබුණු ලේබලය එතරම් හොඳ එකක් නෙවෙයි. බහුතරයක් පොලිස් නිලධාරීන් පොලිස් සේවාවේ අභිවෘද්ධියට කටයුතු කරන අතරම සුළු පිරිසක් විසින් කරන ක්‍රියාවන් නිසා තමයි පොලීසිය එහෙම අපකීර්තියට පත්වුණේ. ඒ එක පැත්තක්. අනිත් පැත්තෙන් ඔබ දන්නවා දේශපාලනීකරණය වූ පොලිස් සේවාවක් තමා අපට ලැබිලා තිබුණෙ. අපි බලයට පත්වෙනකොට පොලිස් සේවාව අතිශයින්ම දේශපාලනීකරණය වෙලා තිබුණා. අපේ පළමු අරමුණ වුණේ මේ දේශපාලනීකරණය වූ පොලිස් සේවාව ස්වාධීන කිරීම. මේ මාස 10 ඇතුළත අපි ඒ සඳහා පියවර රාශියක් ගත්තා. අපට දැනට හැකියාව ලැබිලා තියෙනවා මේ පොලිස් සේවාව දේශපාලනීකරණයෙන් මුදවා ගන්න. අපි හැමවිටම පොලිස් සේවාවේ උන්නතිය වෙනුවෙන් ඇපකැප වෙනවා. ඒ සඳහා අපිට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට රවී සෙනවිරත්න මහතා විශේෂ දායකත්වයක්, මඟපෙන්වීමක්, උපදේශකත්වයක් ලබාදෙනවා.

මමත් මේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ උපපොලිස් පරීක්ෂකවරයකු හැටියට මාස හයක පුහුණු කාලයක් ලබලා පිටවී ගිය නිලධාරියෙක් හැටියට එදා ඒ පිටවී ගිය අවස්ථාව මට මේ වෙලාවේ සිහියට නැගෙනවා. විශේෂයෙන්ම පොලිස් සේවාව මුහුණ දෙන අභියෝග අතර මේ සංවිධානත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ගැටලුව බරපතළ තත්වයක් නිර්මාණය කර තිබෙනවා. මේ වෙනකොට රටේ අනාගත පරපුර බරපතළ ව්‍යසනයකට ඇද දාන ගැටලුවක් විදියට මේ මත්ද්‍රව්‍ය උවදුර රටපුරාම ව්‍යාප්ත වෙලා තිබෙනවා. මෑතකදී අපෙ පොලිස් නිලධාරීන් ඉතාම දක්ෂ අයුරින් ඉන්දුනීසියාවට ගිහිල්ලා සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙක් නීතියේ රැහැනට කොටු කරගන්න දායක වුණා. ඒ හරහා පොලීසියට ඉහළ අභිමානයක් ලබාදීලා තියෙනවා. ඒක ජනමාධ්‍යවල අතිශය පැසසුමට ලක්වුණා.

මේ වෙනකොට පොලිස් සේවාවේ අර අතළොස්සක් පිරිස අතරින් මේ වසර තුළ 350 කට ආසන්න ප්‍රමාණයක් වැඩතහනම් ලබලා තිබෙනවා. එහෙම වෙලා තියෙන්නෙ අල්ලස, දූෂණය, වංචාව වගේ අනීතික කටයුතුවලට යොමුවීම හේතුවෙන්. අපි ඒ සඳහා කිසිදු ඉඩකඩක් අනාගතයේ තියන්නේ නැහැ. එය අද ඔබ සිතේ තබාගත යුතු වෙනවා. ඔබ නීතිවිරෝධී ක්‍රියාවක් කරනවා නම් ඒක ඔබ මේ ලබාගත් පොලිස් තනතුර අහිමි වීමට හේතුවක්. ඒ සඳහා තීන්දු තීරණ ගන්න අපි කිසිසේත්ම පසුබට වෙන්නෙ නෑ”

ආනන්ද විජේපාල අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය කෙහෙළියට සහ පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩුවක් කැඳවීමට දින!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

කථානායකට එරෙහිවත් විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක්. හැරෙන තැපෑලෙන් ඇමති බිමල්ගෙන් සැර ප්‍රතිචාරයක්!

කොළඹ LNW:විපක්ෂයේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිවාසිකම් සුරැකීමට කටයුතු නොකරන්නේ නම් කථානායකවරයාට...

අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන කථානායක මතය දැනුම් දෙයි. පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්!

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර...

මෙරට සහ නේපාලයේ කත්මණ්ඩු නුවර අතර සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කටුනායක...