කොළඹ LNW: ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය එළඹෙන 14 සවස 7.00ට කොළඹ 07, ලයනල් වේන්ට් රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
“ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සව් ” ශ්‍රී ලාංකික නර්තන ශිල්පියෙකු වන විහඟ රුක්ෂාන්ගේ සංකල්පයක් මත ගොඩනැගුනු, භාරතයේ ජීවත්වූ ශ්‍රී ලාංකීය නර්තන පුරෝගාමියකු වන ‘පණ්ඩිත් ජිනදාස වික්‍රමසිංහ’ මහතා කථක් නර්තන උදෙසා ලබාදුන් විශිෂ්ට දායකත්වය සැමරීමේ උත්සවයකි.
“ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සව් ” යනු 2023 සිට එජ්වින් විහාන් නර්තන කේන්ද්‍රය මඟින් සංවිධානය කරන සම්ප්‍රදායික සහ නූතන කථක් නර්තන ප්‍රසංග මාලාවේ තෙවැනි වාරයයි.

මෙවර ප්‍රසංගය, සම්ප්‍රදායික විනය හා නවීන දැක්මක් අතර නව්‍ය සංයෝජනයක් සඳහා ලෝකප්‍රසිද්ධ කථක් නර්තන ශිල්පිනියක් වන ශ්‍රීමති අදිති මංගල්දාස්ගේ ශාස්ත්‍රීය නර්තනයන් සමඟින් ආරම්භ වේ.ප්‍රසංගයේ දෙවැනි කොටස තුළ, විහඟ රුක්ෂාන් සහ ඔහුගේ නර්තන කණ්ඩායම — අම්රිතා විද්‍යාපති සහ රුංජුන් සිං සමඟ එක්ව ශාස්ත්‍රීය කථක් නර්තනයක් ඉදිරිපත් කරයි.
“නෘත්‍ය සම්රාට් සම්මානය”
භාරතීය නර්තන ශිල්පීන්ට ශ්‍රී ලංකාවෙන් ලබාදෙන එකම ගෞරව සම්මානය වන ”නෘත්‍ය සම්රට් සම්මානය” ද මෙම උත්සවයේ ප්‍රධාන අංගයකි.
ශ්‍රී ලංකාවේ උඩරට නර්තන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නර්තන ශිල්පිනියක් වන ආචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ හා භාරතයේ කථක් නර්තන ශිල්පනි ශ්‍රීමති අදිති මංගල්දාස් මහත්මියට මෙම සම්මානය මෙම වසරේ පුදනු ලබයි. පසුගිය වසරේදී එය ඉන්දියාවේ ශ්‍රීමති සන්ජුක්තා සින්හා හා ශ්‍රී ලංකාවේ ගුරු උපේකා චිත්‍රසේන මහත්මියට ප්‍රදානය කෙරිණි.
ශිල්පීන් පිළිබඳව
පණ්ඩිත් ජිනදාස වික්‍රමසිංහ
ලඛ්නව් ඝරානාවේ විශිෂ්ට ආචාර්යවරයකු වූ ‘පණ්ඩිත් අච්චන් මහාරාජ් ජී ගේ’ විශිෂ්ට සිසුවෙකු වන “පණ්ඩිත් වික්‍රමසිංහ” මහතා, කථක් සම්ප්‍රදායය වර්ධනය සඳහා තම ජීවිතය කැප කළ පුරෝගාමියෙකි. ඔහුගේ උරුමය, ලෝකප්‍රකට පණ්ඩිත් බිර්ජු මහාරාජ්ගේ ගුරු ලෙසින්ද, ‘භාත්ඛන්ඩේ විශ්වවිද්‍යාලය’ සඳහා පළමු කථක් විෂය නිර්දේශය සකස් කළ මුල්ම මහාචාර්යවරයා ලෙසින්ද ඉතිහාසයේ උතුම් ස්ථානයක් හිමි කරගනී. 1971-72 වසරේදී ඉන්දියාවෙන් පිරිනමන ‘සංගීත් නාටක් ඇකඩමි සම්මානය’ ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ගෞරවයට පාත්‍ර වේ. “ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සව්” මෙම උත්සවය ඔහුගේ ජාත්‍යන්තර කීර්තියට දැක්වෙන එකම ගෝලීය ගෞරවයයි.
ශ්‍රීමති අදිති මංගල්දාස්:ලෝකයේ දැවැන්තම කථක් නර්තන ශිල්පින් අතරින් එක්ව සිටින ශ්‍රීමති අදිති මංගල්දාස් මහත්මිය, සම්ප්‍රදායික විනය හා නවීන නර්තන දැක්ම සමඟ ශිල්පමය නිවැරදිභාවයෙන් යුතු නව ප්‍රභවයක් ප්‍රකාශ කරයි.
ආචර්‍ය වෛද්‍යවතී රාජපක්ෂ:අමුණුගම පරම්පරාවෙන් පැමිණෙන ශ්‍රී ලංකාවේම ප්‍රබල උඩරට නර්තන ශිල්පිනියක් වන ආචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ මහත්මිය, සම්ප්‍රදායික උරුමය ජීවමානව නිරූපණය කරන ඒකාන්තික නර්තනයක් ඉදිරිපත් කරයි. ඇයගේ වේදිකා පරිශ්‍රය, අපගේ සංස්කෘතික උරුමයේ සත්‍ය ආත්මය දිගහැරීමක් ලෙස වේ.
විහඟ රුක්ෂාන්:මෙම ප්‍රසංගයේ කලාත්මක සහ එජ්වින් විහාන් නර්තන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ වන විහඟ රුක්ෂාන්, තමන්ගේ ඒකාන්තික නර්තනයක් මඟින් කථක් උරුමය තවදුරටත් ශක්තිමත් කරයි. ඔහු මේ මොහොතේ පණ්ඩිත් වික්‍රමසිංහ මහතාගේ 1984 දී රචිත “කථක් නෘත්‍ය මාලා” නම් කෘතිය සිංහලට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක්ද සිදුකරමින් සිටී. මෙම කෘතිය, ශ්‍රී ලාංකීය අනාගත පරපුර සඳහා ලබාදෙන දායාදයකි. මෙම උත්සවයට අමතරව අධ්‍යාපනික වශයෙන් විශේෂත්වයක් වන ශ්‍රීමති අදිති මංගල්දාස්ගේ සම්ප්‍රදායික කථක් නර්තන වැඩමුළුව සැප්තැම්බර් 13 සවස 5.00ට බම්බලපිටිය ද ඩාන්ස් ලැබ්හිදී පැවැත්වෙයි.
මෙම ප්‍රසංගය සඳහා එජ්වින් විහාන් කේන්ද්‍රය සමඟ සිද්ධිවිනායක සිනෙ ආර්ට්ස් සහ සහන්යා පදනම යන ආයතන එක්වී සංවිධානය කරයි.



