තවත් හොඳ කළ හැකි ඉඩ ඇති ඉතා හොඳ වැඩක්

0
176

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 26, කොළඹ LNW:

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් මත, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන “ඔලිම්පික් මෙහෙයුම – MISSION OLYMPICS 2028 – JOURNEY TO THE RINGS” වැඩසටහන සැප්තැම්බර් 25 දා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එය වැදගත් පියවරක් ලෙස අපි දකිමු.අනාගතය වෙනුවෙන් වරින්වර ක්‍රීඩා අමාත්‍යවරු සහ ක්‍රීඩා අමාත්‍යංශය ගනු ලැබූ පියවර ඉතිහාසයේ අපි දැක ඇත්තෙමු.දක්ෂයන් ලෝකය ජයග්‍රහණය පිණිස සැකසිම වෙනුවෙන් මෙන්ම ක්‍රීඩාවන්හී ගමන් මඟ නිවැරදිව සකසා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් ගනු ලැබූ තීරණ අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වීමෙන් ඇති වූ තත්ත්වයක් මිස ඒවා ද වැරදි තීරණ සැළසුම් ලෙස දැකිය නොහැකිය.ඒ නිසා අඛණ්ඩතාවය සහ ක්‍රමෝපායන් සහ ඒ කෙරෙහි වන අවධානය සහ පසු විපරම මෙහි පැවත්මට අතිශයින් වැදගත් වනු ඇත.


දැනට මේ වැඩ සටහනේ වර්ගීකරණය සිඳු කරන ආකාරයේ පැහැදිළිතාවය සමාජයට ඉදිරිපත් කිරිම වටින්නේය.ඒ තවත් අයට ඒ තත්ත්වයට පත්වීම කෙරෙහි ඉලක්කයක් ඇති කර ගැනීම පිණිසය.එසේම දින 21 ට පෙර වීසා සඳහා යාමට අවශ්‍යය අවසරය ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍යංශයට ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් දෙන්නට සහ විවිධ වගකීම් පවරා ඇති පිරිස් එකඟතාවය පළ කළ කරුණුද යන්න විමසා බැලිය යුතුය.


බොහෝ විට තේරිම් සිඳු කිරීමේදී ක්‍රීඩකයා පුහුණුකරුවා විසින් උපරිමයට කැඳවා තබා ගැනීම දින 21 ට පෙර කරන අවස්ථා නැති ක්‍රීඩාද ඇත.මලල ක්‍රීඩාවේදී සහ තේරීම් කරනු ලබන්නේ කල් වැඩිව කියා මතු වූ විරෝධතා ගැන සහ ඊට වෙනත් රටවල ක්‍රියා කළාපයන් උදාහරණයට කළ චෝදනා සහ විවේචන ද,ඒවා තුළ තිබුණ සාධාරණ බව ගැන ද ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා හොඳින් දන්නා නිසා අඩුම තරමේ මලල ක්‍රීඩාවට අදාළ වන ප්‍රායෝගික කරුණු ගැන හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාද දැනුවත් කර එකඟතාවයක් ඇති කර ගන්නේනම් වැදගත්ය.මෙවැනි කාරණා නිසා ඇති වූ අර්බූද ඇතැම් විට අධිකරණය දක්වාම ගිය අවස්ථා ද දැකිය හැකිය.
ඒ නිසා මීට පෙර ද අප පවසා යෝජනා කර ඇති පරිදි වීසා සම්බන්ධයෙන් කටයුතු කරන්නට තානාපති කාර්යාල සහ විදේශ කටයුතු අමාත්‍යංශය සම්බන්ධ වන වෙනම ඒකකයක් විදේශ ඇමතිවරයාද එකඟ කරවාගෙන ක්‍රියාත්මක කිරීම වටින්නේය.ඇතැම් තරගාවලි සඳහා ඇරයුම් ලිපි වීසා ආකාරයෙන් භාවිතා කළ හැකි බවට ලැබුණත්,ඒ රටේ පොදු නීතිය අනුව එසේ වීසා නැතුව ඇතුළ විය නොහැකි අවස්ථා ඇත.ඒ පිළිබදව විමසා බලන්නට සහ අවබෝධයක් ඇති පිරිසක් මේ සම්බන්ධිකරණය පැවරෙන විට ඒ සඳහා යොමු කළ යුතුය.මේ සම්බන්ධයෙන් හොඳම උදාහරණය මැකාවා හී පැවති මැරතන් තරගයේ සිඳුවීමය.පුහුණුකරු සහ කළමණාකාරු ලෙස සහභාගි වූ සජිත් ජයලාල් ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා සහ ක්‍රීඩකයාත්,ක්‍රීඩිකාවත් ලංකාවට ගෙන ආවේ අපරාධකරුවන්ට සළකන ආකාරයේ කොන්දේසි සහිතවය.ඔවුන් ගුවන් තොටුපළෙන් ලංකාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර කට උත්තර ලබා ගැනීමක් ද සිඳු වී ඇත.මෙවැනි තත්ත්වයන්වලට රට මුහුණ දීම වැළක්වීමට දින වකවානු සටහන් කර බලපෑම් කිරීම නියෝග නිකුත් කිරිම පමණක් නොවන වැඩ පිළිවෙලකට යා යුතුව ඇත.


මේ සිඳුවිම අරභයා එම කාර්යය සංවිධානය කළ නිලධාරීන්ට දඬුවම් දී,දරණ ලද තනතුරුවලින් කණෙන් ඇද එලියට දැමීමට තරම් බලගතු වෙන්නට ඇමතිවරයාට හැකියාව තිබුණා කියා උපකල්පනය කරන්න.එහෙත් ඒ පුද්ගලයන් සම්බන්ධ දැඩි විනය ක්‍රියා මාර්ග ගැනිමෙන් රටට වන හානිය වැළක්විය හැකිද?මීට පෙර දින 15 ක් ලෙස මේ සම්බන්ධයෙන් නියෝගයක් තිබිණ.එය දැන් දින 21 ක් වී ඇත.සමහර විට මේ දින ගණන තුළ ද වැඩේ සිඳු නොවුණහොත් ඇමතිවරයා සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග තමන්ම පනවා ගන්නේ ද?


මෙහි ඇත්තේ කාර්යක්ෂම කිරීමට අවශ්‍ය සැළසුමක් සමග හොඳ සම්බන්ධිකරණයක් පවත්වා ගැනීමට නොහැකි බවය.විශ්වසනීයත්වය තහවුරු කර ගැනීමට හැකි ආකාරයේ තානාපති සබදතා ශක්තිමත්ව නඩත්තු කරන ඒකකයක් ක්‍රීඩා අමාත්‍යංශය සහ විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ඇති කර ගැනීමේ වැදගත්කම දැන්වත් තේරුම් ගැනීම වැදගත්ය.


මේ කාරණා පිළිබඳ අවධානය යොමු කිරිම හෝ නොකිරීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ වගකීමය.සාමාන්‍යයෙන් ඔහු වෙනත් අයගේ අදහස් දැක්වීම් තඹයකට ගණන් ගන්නා අයෙකු නොවේය.ඔහු විසින් සකස් කර ගන්නා පීඨිකාව ශක්තිමත්ම එක බව සිතන සහ එය තවත් ශක්තිමත්වීමට එකතු විය යුතු දේ ඇති බව නොසළකා හරිනු ලබන ආඩම්බරකාරයෙකුය.ඒ නිසාම ඔහු අසමත් බව කියූ මාධ්‍යවේදියෙකුට ඔහු සමත් බව කියන තෙක් මාධ්‍ය හමුවලට කැඳවන්නේ නැති බව කීමට තරම් ඔහු කරන කියන දේ සම්බන්ධයෙන් අසීමාන්තික විශ්වාසයකින් සිටන අයෙකුය.එහෙත් අප මේ තත්ත්වයන් මීට පෙර සිටම පෙන්වා දුන් දේ නිසා සටහන් කරන තබන අතර හිටපු සමහර ඇමතිවරු මේවාට හොඳින් අහුං කං දී නොකර සිටි අතර වත්මන් අමාත්‍යවරයා ඇහුං කං දිමටවත් කාලය වෙන් නොකර නොකර සිටිමේ ස්ථාවර තීරණයකින් සිටින බව පැහැදිළි කර ඇත්තෙකි.


මේ ඔලිම්පික් සංචිතය ඇතුළේ සිටිය යුතුම ක්‍රීඩකයෙකු වන උමයංග මිහිරාන් සිටිය බවක් අපි නොදුටුවෙමු.ඔහු බොක්සිං කවය තුළ මෑතකාලීනව කැපී පෙණුනම ක්‍රීඩකයා වන අතර පුහුණුකරුවන් සහ පරිපාලනය නිසා බොක්සිං හැර යන බව කියා බොක්සිං ක්‍රීඩාවෙන් නික්ම ගිය ද,ඇතැම් ක්‍රීඩා පාලකයන්ට ඇමතිතුමාගේ විශ්වාසයේ නාඩිය අල්ලාගත් විට කෙතරම් චෝදනා විවේචන ආවද නිරපද්‍රිතව රැඳි සිටිමට හැකියාව ඇත.එවැන්නන් උපදේශකත්වයේ සිටම නඩත්තු කරන බැවින් පුදුම විය යුතු දෙයක් නැත.එහෙත් ක්‍රීඩාව වෙනුවෙන් උමයංග මිහිරාන්ව නැවත බොක්සිං කවයට ගෙන ඒමට මැදිහත් වන ලෙස අපි ක්‍රීඩාව වෙනුවෙන් අමාත්‍යවරයාට මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයාට ද යෝජනා කරමු.
ඒ සියල්ල අස්සේ ක්‍රීඩකයින්ව දිරිමත් කරමින් ඉලක්ක ගත අරමුණු කරා යොමු කිරීමට ගනු ලබන මේ උත්සාහය අගය කරන්නට අපි මැලි නොවෙමු.හැකිනම් 2032 සහ 36 දක්වා දුර සිතා මතු අනාගත බලාපොරොත්තු සපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද ගොනු කරන වැඩක් දියත් කළ හැකිනම් අප එයද ඉහළින්ම අගය කරන්නෙමු.එවැනි ක්‍රීඩකයින් දිරි ගන්වා සහ එම පුහුණුකරුවන්ට ඉහළ දැණුමක් ලබා ගැනීමට හැකි මාර්ග විවර කර දීමට හැකිනම් විශාල බලාපොරොත්තු සහිතව අපට හෙට ගැන බලාපොරොත්තු නොනවත්වා ඇති කර ගැනීමට හැකි වනු ඇත.ඒ යෝජනා සමඟ අප අගය කරන වැඩ සටහනේ අමාත්‍යවරයා වෙනුවෙන් එම මාධ්‍ය ඒකකය එවන ලද මාධ්‍ය නිවේදනයේ පහත කොටස් ඒ ආකාරයෙන්ම මෙහි අමුණා තබන්නෙමු.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල, ආසියානු ක්‍රීඩා උළෙල, ආසියානු පැරා තරගාවලිය, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ආදී තරඟාවලි වලදී සුවිශේෂී දක්ෂතා දක්වා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඉදිරියේදී ඔලිම්පික් බලාපොරොත්තුව තැබිය හැකි ක්‍රීඩක ක්‍රීඩකාවන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය මූල්‍ය හා වෙනත් පහසුකම් ලබා දීම තුළින් “ඔලිම්පික් මෙහෙයුම (MISSION OLYMPICS 2028 – JOURNEY TO THE RINGS)” වැඩසටහන ඔස්සේ රැගෙන ගොස් පදක්කම් දිනා දීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, මෙලෙස වියදම් කරනු ලබන මුදල් කිසිවක් කාගේ හෝ පෞද්ගලික මුදලක් නොව එම සියලු ධනය ජනතා බදු මුදල් වන බවත්, එම මුදල් නිසි ලෙස කලමනාකරණය කර නැවත ජනතාවට ලැබීමට සැලැස්වීම පමණක් මහජන නියෝජිතයන් අතින් සිදුවන බවයි. මෙම දීමනාව ලෙස ඔබ අතට ලැබෙන ජනතා බදු මුදලට සාධාරණයක් ඉටු කිරීම ක්‍රීඩකයින්ගේ වගකීම බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

විදෙස් සංචාර සහ වීසා ලබා ගැනීම පිළිබඳව මේ දිනවල මතු වූ ගැටලුවකට ද පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, ඇතැම් ගැටලු අමාත්‍යංශයෙන් පරිබාහිරව තිබෙන බවත්, නිශ්චිතවම දවස් විසි එකකට අඩුවෙන් අමාත්‍යංශය වෙත එන වීසා සම්බන්ධ හෝ විදෙස් සංචාර පිළිබඳව එන අයදුම් පත්‍ර හෝ ක්‍රීඩකයින්ගේ ගැටලු වලට අවධානය නොදෙන බව තරයේ ප්‍රකාශ කර සිටින බවයි. ක්‍රීඩක ක්‍රීඩිකවන්ගේ ක්‍රීඩා ජීවිතවලට බලපෑම් වෙන ලෙස ක්‍රියා කරන මෙවැනි ක්‍රීඩා සංගම් වල පවතින අපිළිවෙල සහගත ක්‍රියාවලි නිවරදි කළ යුතු බව මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ ය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන්ට ලබා දෙන මෙම මාසික දීමනාව පිළිබඳ යෝජනාව කැබිනට් පත්‍රිකාවක් ලෙස ආණ්ඩුවේ අයවැයෙන් සම්මත කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

මෙහිදී කාණ්ඩ හතරක් ඔස්සේ මෙම දීමනාව ලබා දීම සිදු කරන අතර, පළමු කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට රු. 150,000 ක් ද, පුහුණුකරුවෙක් සඳහා රු. 100,000 ක දීමනාවක් ද , දෙවන කාණ්ඩය යටතේ ක්‍රීඩකයෙකුට රු. 100,000 ක් ද, පුහුණුකරුවෙකු සඳහා 65,000 ක් ද, තෙවන කාණ්ඩයෙහි ක්‍රීඩකයෙක් සඳහා 75,000 ක් ද, පුහුණුකරුවෙකු සඳහා 50,000 ක් ද, හතරවැනි කාණ්ඩය යටතේ ක්‍රීඩකයෙක් සඳහා 50,000 ක් සහ පුහුණුකරුවෙකු සඳහා 30,000 ක දීමනාවක් මෙන්ම, මෙම සියලුම ක්‍රීඩකයින් සඳහා රු. 60,000 ක පෝෂණ දීමනාවක් ද ලබා දෙයි.

මෙරට ක්‍රීඩාව නගා සිටුවීමට නම් වෘත්තීය ක්‍රීඩකයෙක් නිර්මාණය කළ යුතුයි. යන වත්මන් රජයේ අදහසට අනුව, ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන හරහා ජාත්‍යන්තර ජයග්‍රහණ අත්පත් කරගන්නා ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක් නිර්මාණය කළ හැකි’ යැයි අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට එක්වෙමින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පැවසුවේ, මෙම ලබාදෙන මාසික දීමනාව ජනතා බදු මුදල් වන අතර එම සියලු මුදල්වලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වග විය යුතු බවත්, කැපවීමෙන් තම ක්‍රීඩා කටයුතුවල නියැලිය යුතු බවත් ය. සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැපවීමෙන් තම ක්‍රීඩා කටයුතුවල නියැලෙති’ යි තමන් විශ්වාස කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

කාණ්ඩ හතරක් ඔස්සේ නිර්මාණය කර ඇති මෙම සංචිතය මාස හයකට පසු යාවත්කාලීන වන අතර එහිදී ප්‍රගති සමාලෝචනයක් සිදු කරන බවත්, පුහුණුකරුවන් සමග සංවාදයක් ඇති කර සැඟවුණු දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුලත් කර ගැනීමට අපේක්ෂා කරන බවත්, දක්ෂතා සහිත ‍ක්‍රීඩක ක්‍රීඩකාවන්ට සංචිතෙහි දිගටම රැඳී සිටීමට හැකි බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

එමෙන්ම තහනම් උත්තේජක පරීක්ෂාවට සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලක්විය යුතු බවත්, ක්‍රීඩාව ඉතා පිරිසිදු වන අතර, දක්ෂතාවය මත ජයග්‍රහණ ලැබීම රටකට කීර්තියක් අත් කර දෙනවා මෙන්ම, ජාත්‍යන්තර තරගයකදී තහනම් උත්තේජක භාවිත කළ බවට තහවුරු වීමක් වුවහොත් එය රටකට කලු පැල්ලමක් එක් කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

සියලු ක්‍රීඩාවන් සඳහා විදෙස් දැනුම ලබා ගැනීම, තාක්ෂණික උපකරණ ගෙන එමින් මෙරට ක්‍රීඩාව නගා සිටුවීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ලෙස ඉදිරියටත් කැපවෙන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ජාතික තේරීම් කමිටුවේ සභාපති ශ්‍රියානි කුලවංස, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ක්‍රීඩා) අයි.පී. විජේරත්න සහභාගී වූ අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවෝ ද සහභාගී වූහ.